ගයන්තිකා ලක්මව රනින් බබළවයි ජානකටත් ලෝකඩ පදක්කමක් | දිනමිණ

ගයන්තිකා ලක්මව රනින් බබළවයි ජානකටත් ලෝකඩ පදක්කමක්

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැති 8 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දීමට මීටර් 1500 ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සමත් වූවාය.

ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ පෙරේදා එම ඉසව්වේ අවසන් තරගයට එක්වූ ගයන්තිකාට රන් පදක්කම දිනා ගැනීම සඳහා ගතවූයේ විනාඩි 4යි තත්පර 26.83ක කාලයකි. එහි රිදී පදක්කම විනාඩි 4:28.20කින් තරගය නිමකළ කසකස්ථානයේ ටටියානා නෙරොස්නැක් සතුවෙද්දී, වියට්නාමයේ තායි ඕවෑන්ගුයෑන් විනාඩි 4:28.87කින් තරගය නිමකර ලෝකඩ පදක්කමත් දිනා ගත්තාය.

මේ අතර තරගාවලියේ අවසන් දිනයේදී දුර පැනීමේ පිරිමි ඉසව්වට එකවූ ජානක ප්‍රසාද් විමලසිරි එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ මේ තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමිවූ සිවුවැනි පදක්කම හිමිකර දෙමිනි. එහිදී ඔහු මීටර් 7.67ක දක්ෂතාවක් දැක්වූ අතර මීටර් 8.16ක දක්ෂතාවක් සමගින් චීනයේ ෂි යුඅාෙවා් එහි රන් පදක්කමද, මීටර් 7.72ක දක්ෂතාවක් වාර්තා කළ චීන තායිපේ ක්‍රීඩක ලී හුන්ග් ලෝකඩ පදක්කමද දිනා ගත්හ.

ජානක දුර පැනීම ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලැබුවේ මූලික වටයේදී මීටර් 7.55 දක්ෂතාවක් සමගිනි.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු පදක්කම මීටර් 800 ඉසව්වෙන් දිනා දීමට නිමාලි ලියනාරච්චි සමත්වූයේ තරගාවලියේ පළමු දිනයේදීය. එම ඉසව්වෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ගයන්තිකා අබේරත්න එහි සිවුවැනි ස්ථානයට පත්වූවාය.

තරගාවලියේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකාවට දෙවැනි පදක්කම දිනාදීමට උපමාලිකා රත්නකුමාරි සමත්වූයේ මීටර් 400 කාන්තා ඉසව්වෙන් තත්පර 54.90කින් නිම කරමිනි.

රටවල් 13ක් එක්වූ මේ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් 4ත් සමග 7වැනි ස්ථානය හිමිවිය. වියට්නාමයද රන් 1ක් හා ලෝකඩ 3ක් දිනාගනිමින් ශ්‍රී ලංකාව සමග 7වැනි ස්ථානයේ පසුවෙයි. ක්‍රීඩා උළෙලේ පළමු ස්ථානය රන් 7ක්, රිදී 4ක් හා ලෝකඩ පදක්කමක් සමගින් පදක්කම් 12ක් දිනාගත් කසකස්ථානයට හිමිවූ අතර සත්කාරක ඉරානය දෙවැනි ස්ථානයට පත්වූයේ රන් 5, රිදී 9 හා ලෝකඩ 10ක් සමගිනි.

- ප්‍රියංකර

නව අදහස දක්වන්න