යොවුන් ලෝක ක්‍රිකට් කිරුළ ඉන්දියාවට | දිනමිණ

යොවුන් ලෝක ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ සිවුවැනි වරටත් දිනා ගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ සමත් වුහ.

මේ සමග යොවුන් ලෝක ක්‍රිකට් කිරුළ වැඩිම වාර ගණනක් දිනාගත් රට ලෙස ඉන්දියාව ඉතිහාසයට එක්විය.

නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලු 8ක පරාජයක් විද ගැනීමට ඔස්ට්‍රේලියාවට සිදුවිය.

19න් පහළ ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ඉන්දියාව හමුවේ ඔස්ට්‍රේලියාව පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය විය. මින් පෙර 2012 වසරේ දී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දියාවට හැකිවිය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ඕවර 47.2කදී ලකුණු 216කට සීමාකළ ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ ජයග්‍රාහී ඉලක්කය පන්දු 67ක් ඉතිරිව තිබියදී පසුකළේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.

තරගයේ වීරයා වෙමින් ඉන්දීය පිල ජයග්‍රහණය කරාගෙන ගිය ආරම්භක පිතිකරු මන්ජෝත් කල්රා නොදැවී ලකුණු 101ක් රැස්කළේ පන්දු 102ක් පමණක් වැය කරමිනි. හතරේ පහර ඔහු, තෙවැනි කඩුල්ලට හර්වික් දේසායි සමග ලකුණු 89ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගූ අතර ඉන් පෙර නායක ප්‍රීතිව් ෂෝ (29) සමග පළමු කඩුල්ලට ලකුණු 71ක් හා ශබ්නාම් ගිල් සමග දෙවැනි කඩුල්ලට ලකුණු 60ක් එක් කළහ.

ජොනතන් මර්ලෝ පන්දු 102කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 76ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

තරගාවලියේ වීරයා සම්මානය ශබ්නාම් ගිල්ට හිමිවිය.

නව අදහස දක්වන්න