‘එකම දැයකට’ මඟ කී දසක සතක නිදහසේ අබිමන.. | දිනමිණ

‘එකම දැයකට’ මඟ කී දසක සතක නිදහසේ අබිමන..

ජයසිරි මුණසිංහ

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකේය ජාතියේ ජීව ගුණය රැකගනිමි න් නව ලොව ජයගන්නට සමත් සුරු විරුකම් අප සතුව ඇති බවට ලොවට මහත් අභිමානයෙන් කියා පෑ 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවනීය දෙස් විදෙස් රාජකීය ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් ඊයේ (04) උදේ කොළඹ ගාලුමුවදොර පිටියේදී ගාම්භීර අයුරින් විචිත්‍ර, මනරම් රූ රටා මවමින් පැවැත්විණි.

ජාතික නිදහස් දින උළෙල සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිතයකු ලෙස එතුමියගේ පුත් එඩ්ව‍ඩ් කුමරු සහ සොෆී රිස් ජෝන්ස් ආර්යාව, ජපානයේ හා මහජන චීන සමූහාණ්ඩුවේ විශේෂ නියෝජිතයෝ ප්‍රධාන විදේශීය රාජ්‍යයන්වල නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ. යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක, ජාතික ශිෂ්‍ය භට බලමුළුවල වීරත්වය, අධිෂ්ඨානශීලීත්වය, මහා විනය හා කැපවීම සහ යහගුණයන් විදහා දැක්වූ මේ මහෝත්සවය වඩාත් හැඩගන්වමින් අහස් කුස ‍සහ මහ සයුර සිට අභිමන් පෑමට රණවිරුවෝ සමත්වූහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද නිදහස් උළෙලට සහභාගි වී සිටියාය.

එකම දැයක්! තේමාව යට‍තේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල සංවිධානය කොට තිබූ අතර, උළෙල සිරි අසිරිය දැක බලාගැනීමට දස දෙසින් ගාලුමුවදොර පිටියට ජනතාව පැමිණ සිටියහ.

නිදහස් දින සැමැරුම ආරම්භය සනිටුහන් කරමින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා හා පුණ්‍යා ජයසුන්දර මහත්මිය පැමිණියහ. අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ආරක්ෂක ලේකම් නීතිඥ කපිල වෛද්‍යරත්න, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු පැමිණියහ.

බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුරු දේවප්‍රිය‍ පෙරේරා, අර්ජුනා කොළඹගේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කේ. සී. ලෝගේෂ්වරන් හා සකුන්තලා දේවි ලෝගේෂ්වරන් මහත්ම මහත්මීන් උත්සවයට එක්වූයේ ඉන්පසුවය.

ඉන් අනතුරුව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, අග්‍රවිනිශ්චයකාර ඩබ්ලිව්. පී. ජී. ඩෙප්, මල්කාන්ති ඩෙප් මහත්මිය, කතානායක දේශබන්දු කරු ජයසූරිය හා වෛද්‍ය වසන්තා ජයසූරිය එක්වූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය උළෙල‍ට එක්වූයේ ශ්‍රී ලංකා පොලිසියේ රථ හා යතුරුපැදි බළඇණිය පෙරටුකොට‍ෙගනය.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජයන්ති සිරිසේන මහත්මිය පොලිස් අශ්වාරෝහකයන්, යතුරුපැදි හා මෝටර් රථ පෙරටු කොට උළෙලට එක්වූහ.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රධාන පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වජිර අබේවර්ධන යන මහත්ම මහත්මීන් විසිනි.

අනතුරුව විශේෂ පීඨිකාව වෙත ජනාධිපතිවරයා කැඳවාගෙන ගිය අතර එතුමාගේ සම්ප්‍රාප්තිය සැළකරමින් හොරණෑ වාදනය කළහ. මඟුල් බෙර වාදනය හා ජය සක් හඬ මධ්‍යයේ ජනාධිපතිතුමා ජාතික ධජය එසවීම සිදුකළහ.

පාසල් සිසු සිසුවියෝ 110 දෙනෙක් ජාතික ගීය ගායනා කළහ. ජයමංගල ගාථා හා දේවෝ වස්සතු කාලේන ගායනා කළේ ඉන් අනතුරුවය.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයින් අනුස්මරණය කොට විනාඩි 2 ක නිශ්ශබ්දතාවක් පැවැත්විණි.

ඉන්පසුව ජනාධිපතිවරයා වෙත උත්තමාචාරය පුදකිරීමේ ආචාර වෙඩිමුර 25 ක් පැවැත්විණි. ජාතිය ඇමතූ ජනාධිපතිවරයා, රටේ සංවර්ධනයත්, සෞභාග්‍යයත් උදාකර ගැනීමේ අභියෝගයත්, ඒවා ජයගන්නා අයුරු මනාව පැහැදිලි කළහ.

ශ්‍රී ලංකා යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක, ජාතික ශිෂ්‍ය භට බළකායන්හි රණවිරුවෝ 7104 දෙනෙකු සහභාගි වූ අභිමානවත් ආචාර පෙළපාලිය ඉන්පසුව පැවැත්විණි.

ඊට සමගාමීව සියලු පළාත් හා ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් සංස්කෘතික සංදර්ශනයක් පැවැත්විණි.

මේ ආචාර පෙළපාලියේ හා සංස්කෘතික පෙළපාලියේ අංග එකට එකක් නොදෙවෙනි පරිද්දෙන් මනා ලෙසත්, දර්ශනීය ලෙසත් සංවිධානය කොට තිබිණි. මේ උළෙල නැරඹීමට ආ කිසිවකුගේ දෙනෙත් ඉදිරිපත් කළ නැටුම්, ගැයුම්, වැයුම් වෙතට නතුවන තරමට මේවා අලංකෘත පරිදි පැවැත්වූහ.

ගුවන් හමුදාවේ කෆීර් යානා, බෙල් යානා, මිග් ප්‍රහාරක යානා ඇතුළු ගුවන් හමුදාවේ ශක්තිය පෙන්වන යානා පෙළ ඉදිරිපත් කළ සුරු විරුකම් ගැන සැමදෙනා කතා කළහ. ඊට නොදෙවෙනි ලෙස රණවිරුවෝ ඉදිරිපත් කළ පැරිෂුට් සංදර්ශනය ක‍ාගෙත් සිත් ගත්තේය. 

 

නව අදහස දක්වන්න