කෑමපතට රසගෙන එන බත්තලංගුණ්ඩුව ධීවරයන්ගේ නීරස කතාව | දිනමිණ

කෑමපතට රසගෙන එන බත්තලංගුණ්ඩුව ධීවරයන්ගේ නීරස කතාව

කල්පිටිය අර්ධද්වීපය කියු සැනින් කාගෙත් මතකය දිව යන්නේ බත්තලංගුණ්ඩුව දූපත වෙතය. මන්ද එහි පෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමක් කැටුව ඇති ස්භාවික දූපතක් නිසාවෙනි. එහි සුන්දරත්වය විදහාලමින් තිබෙනුයේ දූපත් වලල්ලේ ඇති විශාලතම දූපත බවට ලක්ව තිබීම නිසාවෙනි.

කල්පිටිය අර්ධද්වීපයට සීමා මායිම්ව පිහිටා ඇති බත්තලංගුණ්ඩුව දූපතේ ජීවත් වන ධීවර ජනතාවටගේ ප්‍රධාන ජීවනෝපය වී ඇත්තේ මුහුදෙන් හා කළපුවෙන් නෙළා ගන්නා මත්ස්‍ය අස්වැන්න කරවල කර අලෙවි කිරීමයි.

කොතරම් අලංකාර වුවද කොතරම් සුන්දර වුවද එහි ජීවත් වන ජනතාව අමිහිරි කටුක ජීවිතයක් ගත කරනවා යන්න සදහන් කළොත් එය නිවැරදි කරුණකි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන්ට ගමනා ගමන පහසුකම් සදහා සෑම අවස්ථාවකම කල්පිටිය ජැටියේ සිට නාවික සැතපුම් 32ක් බෝට්ටු මඟින් ගමන් කිරීමට සිදුව තිබීම නිසාවෙනි. පානිය ජලය, රෝහලක්, පාසලක් නොමැතිව ජීවත් වන මොවුන්ගෙන් බහුතරයක් ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයන් 1500ට ආසන්න ප්‍රමාණයක් සිටින අතර මෙම දූපතේ ධීවර පවුල් ප්‍රමාණය 1700ක් පමණ පදිංචිව සිටිති.

මොවුන් සිය වෘත්තිය ලෙස වැඩි වශයෙන් කරවල වේලීමේ කටයුත්තේ යෙදෙමින් දිවිසරුකර ගන්නා ආකාරය එහි ගිය අපට දක්නට ලැබිණි. මොවුන් සවස 5.00ට පමණ බෝට්ටු යාත්‍රා මඟින් දියඹට ගොස් මසුන් මරා පසුදා උදෑසන ආපසු නිවෙස් බලා පැමිණෙන තුරු ඔවුන්ගේ බිරින්දෑවරු දියඹ දෙස බලා සිටින්නේ හොද අස්වැන්නක් ලබා ගැනීමට බව කිව යුතුය.

නමුත් මේ වන විට දූපතේ මත්ස්‍ය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ වැටී ඇති බව ඔවුන් පවසන්නේ මේ ආකාරයෙනි. එයට හේතුව වී ඇත්තේ දැනට භාවිතා කරන තහනම් දැල් ආම්පන්න හා ඩයිනා වැනි ක්‍රමවේදයන් භාවිතා කරන සංචාරක ධීවරයන් නිසාවෙන් මෙසේ මත්ස්‍ය සම්පත පහළ වැටී ඇති බවයි.

එවැනි ප්‍රශ්න රැසකට සිරීවී නොබියව රක්ෂාවට මුහුණ දෙන මෙම ධීවරයන්ට සමහර දිනවල දී මත්ස්‍යයන් නොලෙබෙන අවස්ථාද එමටය. එම ගැටලු මධ්‍යයේ මොවුන් වේලන කරවල අද ලංකාවේ බහුලව කොයි කවුරුත් ආහාරයට ගන්නා බව සදහන් කළ යුතුමය.

මත්ස්‍යයන් මැරීමට දියඹට යන ධීවරයන් බෝට්ටු යාත්‍රාවලට යොදා ගන්නා ඉන්ධන සඳහා දිනකට විශාල මුදලක් වැය කළද එයට සරිලන අස්වැන්නක් මොවුන්ට නොලැබෙන බවටයි මොවුන් මැසිවිලි නගමින් සදහන් කරන්නේ.

එවැනි කටුක අත්දැකීම් කැටිකරගත් මොවුන්ගේ දෑතින් වේලා ගන්නා කරවල වලට මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල වලින් වැඩි ඉල්ලුමක් ගෙන දෙන බව ඔවුන් සදහන් කළද, එයින් වැඩි ලාභ හිමිකර ගනු ලබන්නේ අතරමැදි තැරව්කරුවන් බව ඔවුහු පෙන්වා දෙති.

මේ වන විට ලංකාවටම කරවල සපයන බත්තලංගුණ්ඩුව ධීවර ප්‍රජාව දැවෙන ප්‍රශ්න වලට තිරසාර විසදුම් ලබා දීමට අපොහොසත් බලධාරිනි ඔබගේ ප්‍රමාදය ඔවුන්ගේ පරිහානියට අතවැනීමක් නොවේද?

 

සටහන සහ ඡායාරූප
වනාතවිල්ලුව සමූහ-කේ. ප්‍රියංකර


නව අදහස දක්වන්න

Or log in with...