අත්තිඩිය කුරුලු අභය භූමිය වැන­‍සෙන දිනය අත ළඟ | දිනමිණ

අත්තිඩිය කුරුලු අභය භූමිය වැන­‍සෙන දිනය අත ළඟ

ගොඩ කරමින් ව්‍යාපාරික ස්ථාන හදන්න පටන් අරන්

බෙල්ලන්විල රක්ෂිතයේ අත්තිඩිය කුරුලු අභය භූමිය රක්ෂිතය ඇතැම් පුද්ගලයන්ගේ වැරැදි ක්‍රියාකාරකම් නිසා අහිමි වී යෑමේ අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම කුරුලු අභය භූමිය පිහිටා ඇති ප්‍රදේශයේ සමහර ස්ථානවල මාර්ගවලට මුහුණලා ඇතැම් පුද්ගලයන් ව්‍යාපාරික ස්ථාන ආරම්භ කොට ඒ පිටුපස ක්‍රම ක්‍රමයෙන් ගොඩකර ගොඩනැගිලි ඉදිකොට පසුව ඒවා නිවාස බවට පරිවර්තනය කරමින් ටිකෙන් ටික රක්ෂිතය ආක්‍රමණය කරමින් සිටින බවද ප්‍රදේශවාසීහු කියති.

මීට වසර ගණනාවකට පෙර බෙල්ලන්විල වතුරු බිම් සංරක්ෂණයටද පෙර සිටම විශාල කැලෑ ප්‍රදේශයක් හා ගොවීහු යල මහ දෙකම අස්වද්දා හොඳ වී අස්වැන්නක් ලබාගත් සශ්‍රීක කුඹුරු යායවල් පිහිටා තිබූ බව පවසන එම ප්‍රදේශවාසීහු පසුකාලීනව රක්ෂිතය ටික එළි පෙහෙලි කරමින් ඉඩම් කොල්ලකමින් වගුරු බිම් අත්පත් කරගැනීම නිසා කුරුලු අභය භූමියේ සිටි විවිධ පක්ෂීන්ට සිය වාසස්ථාන අහිමි වූ බවද කියා සිටිති. මේ නිසා කුරුලු අභය භූමියට එදා පැමිණි විදේශීය දැකුම්කලු කුරුලු වර්ග අද දක්නට නොලැබෙන බවද ඔවුහු කියති.

මෑත භාගයේ බෙල්ලන්විල රක්ෂිතයේ කුරුලු අභය භූමිය ආසන්නයේ තිබූ සශ්‍රික කුඹුරුයායවල් හාරා බැමි ඉදිකර ඒ බැමි වටා ඇවිදින මංතීරු තනා ප්‍රදේශය අලංකාර කිරීම ජනතාවගේ පැත්තෙන් හොඳ දෙයක් වුවත් සතුන්ගේ පැත්තෙන් සතුන් අතරමං වන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ඔව්හු පෙන්වා දෙති.

එනිසා බෙල්ලන්විල රක්ෂිතයේත් කුරුලු අභය භූමියෙත් සුරක්ෂිත බව තහවුරු කර එය අනාගත පරපුරට ආරක්ෂා කර දෙන ලෙසට ප්‍රදේශවාසීහු අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

සටහන හා ඡායාරූප
කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර 

නව අදහස දක්වන්න