ජනතාව නැවත මකර කටට යවන්න ඉඩ තබන්නේ නෑ | දිනමිණ

ජනතාව නැවත මකර කටට යවන්න ඉඩ තබන්නේ නෑ

ඇමැති මංගල මාතරදී කියයි

ජනතාව නැවත මකර කටට යවන්න ඉඩ නොතබන බවත් මහින්දගේ කණ්ඩායමට ජනතා මුදල් සූරාකන්නට ඉඩ නොතබන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ මාතර පර්ල් ක්ලිපට් හෝටලයේදී 01 දින රාත්‍රී පැවති ව්‍යාපාරික හමුවේදීය. එහිදී වැඩිදුරටත් අමාත්‍ය වරයා මෙසේ ද කීවේය.

රටට අහිතකර, ලෝකයේ රටවල් අප රටෙන් ඉවත් කළ පවුල් පාලනයේ පැවති ක්‍රමයේ වෙනසක් සිදු කළේ මේ රටේ ජනතාව. ජනතාවගේ කැමැත්ත නිසයි ඒකාධිපති වියරුවෙන් රට මිදුණේ. තවමත් මහින්ද රාජපක්ෂලා වියරු වැටිලා. ඒත් අපි රට දිනාගෙන , ජාත්‍යන්තරය දිනාගෙන , ආර්ථිකය දිනාගනිමින් යන්නෙ. ඕක බලාගෙන ඉන්න බැරිව මහින්දලා ආණ්ඩුවක් හදන්න කෑගහනවා. පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියල බලන්න එපාලු. පොහොට්ටුවට ජන්දෙ දෙන්නලු. අපේක්ෂකයින් පෙන්වන්න බය ඇයි. පරණ හොරුන් ටික පොලිස් කරල දාල තියෙන්නෙ. අපිට හංගන්න දෙයක් නැ. අපේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ආඩම්බරයෙන් අපි පෙන්වනවා.

එදා අපේ රටට සම්බාධක පනවා යුධ අපරාධ චෝදනා නැගුවා. යුරොපයේ මළු වෙළදපොළ අපේ ධිවරයන්ට අහිමිව තිබුණා. අපි ඒ සියල්ල වෙනස් කළා. සර් ජෝන් කොතලාවල මහත්මයගෙි කාලෙන් පස්සෙ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් කවදාවත් තිබිල නැහැ. නමුත් අපි දැන් ඒ තත්වය ඇති කරගෙන යන වෙලාවක් මේක.

ඉතා කෙටි කාලයකින් අපි රටේ තිබූ අයහපත් තත්වය හොද පැත්තට හරවා ගත්තා. ධීවර තහනම මාත් අගමැති තුමාත් ගිහින් කතාකර යළි වතාවක් ඒ තහනම ඉවත් කර ගත්තා. දැන් ලංකාවෙන් යුරෝපයට මාළු යවන ප්‍රමාණය සියයට හතලිහකටත් වැඩි බව ධීවර ඇමති මහින්ද අමරවීර මහතා මා සමග කීවා.

ජී. එස්. පී. සහනය අපි පසුගිය අවුරුදද වන විට ලබාගත්තා. ලංකාවේ වැඩියෙන්ම අපනයනය තිබුණු අවුරුද්ද තමයි ගිය අවුරුද්ද. දැන් එම තත්වය අවුරුද්දෙන් අවුරුද්ද එය වැඩිවෙනවා. සෘජු විදේශීය අයෝජනය වැඩියෙන්ම ලැබුණු අවුරුද්ද 2017 අවුරුද්දයි. එය මේ වසරේ ඊටත් වඩා වැඩිවෙනවා.

ණය කන්දකින් කැඩී පොඩිවී ගිය ආර්ථිකයක් අපිට භාරදුන්නා. 2018 කියන්නේ මුදල් ඇමතිවරයා වශයෙන් ලංකාවෙන් වැඩියෙන්ම ණය ගෙවන්න තියෙන අවුරුද්ද. නිදහසින් පසු වැඩිම ණය ගෙවන වසර මෙයයි. එය රුපියල් ට්‍රිලියන එකයි දශම හතක්.

අපි මේ සියල්ල දිනනවා. ඊට සැලසුම් සකසා තිබෙනවා.මේ මැතිවරණයෙන් ජනාධිපතිවරු, ඇගමැතිවරු, අමතිවරු වෙනස් වෙන්නේ නෑ. ආණ්ඩු වෙනස් වෙන්නේ නෑ. මේ මැතිවරණයෙන් සිදුවන්නේ ගම හදන්න, නගරය හදන්න හොද හොර බොරු නැති පිරිසක් පත් කර ගැනීමයි. ආණ්ඩුවට ලොකු ශක්තියක් තිබෙනවා. ඒ ශක්තියෙන් වැඩක් ගන්න.

ගම , නගරය හදන ජන වරම සමහරු තීරණාත්මක එකක් කියල හිතනවා. නමුත් අපි ඉල්ලන්නෙ මීට වඩා වේගවත්ව ගම නගරය හදන ජන වරමක්. මෙවර ඔබට පුළුවන් තමන්ගෙම කියල මන්ත්‍රීවරයෙක් පත් කර ගන්න. තමන්ගෙ ගමට , නගරයට වෙන්වන මුදල්ටික තමන්ගෙ ගමේ නගරයේ සංවර්ධනයට යොදාගන්න පුළුවන් වෙන්නෙ එවිටයි.

දිස්ත්‍රක්කයේ නගර වල ප්‍රාදේශීය ප්‍රදේශවල ග්‍රාමීය, සෞඛ්‍ය, මාර්ග වශයෙන් සංවර්ධනය කර ඇතැම් නගර ප්‍රධාන පෙලේ සංචාරක කලාපයක් බවට පත් කිරීමත් පහසුකම් ශීඝ්‍ර යෙන් වර්ධනය කර නොසිතූ සංවර්ධනයක් ඇති කිරීම අපේ අරමුණයි. කුණු කසළ ව්‍යාපෘති සදහා පළාත් පාලන අමාත්‍යාංශයට මේ වන විට බිලියන 04 ක් වෙන් කරල තිබෙනවා.

මාතර මහ නගර සභා අපේක්ෂක උපුල් නිශාන්ත මහතා - මාතර කියන්නේ බුද්ධිමතුන්ගේ තක්ෂලාව රැකගන්න අපි ක්‍රියා කරනවා. අපි බොහෝ වෙහෙසවී මහන්සිවී ගොඩ නැගූ නගරය අද බිමට ඇද දමා තිබෙනවා. අපිට භාරගන්න සිදුවී තිබෙන්නේ අපි ගොඩ නැගූ නගරය වෙනුවට ලංකාවේ හොදම මහ නගර සභාව ලෙස සම්මාන ලැබූ නගරය වෙනුවට බිමට ඇදදැමූ මහ නගර සභාවක්.

එන වසර හතර තුළ මාතර ස්මාර්ට් නගරයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සදහා අපිට ස්මාර්ට ඇමතිවරයකු සිටිනවා. මාතර අදුරු වලාවේ ඇදි රිදී රේඛාවක් අද මාතරට ඇදී තිබෙනවා. මුදල් ඇමතිකම මාතරට වැඩ කරපු නායකයාට ලැබී තිබෙනවා.

මහාචාර්ය උපුල් අබේරත්න මහතා ද කතා කළ අතර ප්‍රාදේශීය දේශපාලනඥයින් ව්‍යාපාරික ප්‍රජාව හාපක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

ගන්දර සමූහ


නව අදහස දක්වන්න