එඩ්වඩ් කුමරු ඇතුළු විදේශ නියෝජිතයෝ ජනපති හමුවෙති | දිනමිණ

එඩ්වඩ් කුමරු ඇතුළු විදේශ නියෝජිතයෝ ජනපති හමුවෙති

70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය ඇතුළු නියෝජිත පිරිස ඊයේ (04) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මෙම හමුව සිදුවූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම මහත්මිය විසින් මෙහිදි එඩ්වඩ් කුමරු සහ එම කුමරිය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

බ්‍රිතාන්‍ය රජ පවුල වෙත කරන ලද ආරාධනය පිළිගෙන නිදහස් දින සැමරුම් උළෙලට සහභාගීවීම පිළිබඳ මෙහිදී එඩ්වඩ් කුමරු වෙත සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා 1954 වසරේ සිදුවූ බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ශ්‍රී ලංකා සංචාරය සහ චාර්ල්ස් කුමරු ඇතුළු බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් මීට පෙර ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාර පිළිබඳව ද සිහිපත් කළේය.

නිදහසින් පසු බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ඉතා හොඳින් වර්ධනය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් ඉදිකරන ලද මෙරට විදුලි බල උත්පාදනයෙහි ඉතා සුවිශේෂි හැරවුමක් වන වික්ටෝරියා ජලාශය අද ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට විශේෂී දායකත්වයක් සපයන බව කියා සිටියේය.

2015 වසරේ සිදුකළ තම බ්‍රිතාන්‍ය සංචාරයේදී දෙවන එළිසබෙත් මහ රැජිණ හමුවූ අවස්ථාව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එහිදි ලැබුණු සුහද සහ හෘදයාංගම පිළිගැනීම කෘතවේදීව සිහිපත් කළේය.

මෙහිදී අදහස් දැක්වූ එඩ්වර්ඩ් කුමරු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ලැබීම සහ විශේෂයෙන් 70 වැනි නිදහස් දින සැමරුමට සහභාගීවීමට ලැබීම පිළිබඳ තමා බෙහෙවින් සතුටු වන බවයි.

නිදහස් දින සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද කතාව ද අගය කළ එඩ්වඩ් කුමරු ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩිවූ රටක බවත් ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාව, අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම් අදට ඔබින ආකාරයට සකස් කරන බවටත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සිහිපත් කරමින් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශේෂ සම්බන්ධතාවක් පවතින බව කියා සිටියේය.

මෙම වසරේදී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවේදී නැවත හමුවීමට ද මෙහිදි එකඟතාව පළ කෙරිණි. පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන සෑම රටකම අගනුවර පරිසර හිතකාමී ඇවිදන මංතීරු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරයේ ද එම මංතීරු ව්‍යාපෘතිය ඉදිකිරීමට අදාළ සංකේතය මෙහිදී එඩ්වඩ් කුමරු ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මේ අතර 70 වැනි නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගීවීමට දිවයිනට පැමිණි ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත එරට ඉදිකිරීම් කටයුතු අමාත්‍ය ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති Wataru Tokeshita මහතා ද ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවිය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය මෙහිදී සිහිපත් කෙරුණු අතර, ඉදිරියේදී තවදුරටත් එම සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළහ.

මේ අතර නිදහස් දින සැමරුම් උළෙලට සහභාගීවීමට දිවයිනට පැමිණි චීන මහජන දේශපාලන උපදේශන සභාවේ උප සභාපති Wang Qiumin මහතා ද ඊයේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිවරයා හමු වී සුහද කතා බහක නිරත විය. 


නව අදහස දක්වන්න