අගමැති ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහය අගය කළ යුතුයි | දිනමිණ

අගමැති ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහය අගය කළ යුතුයි

එඩ්වඩ් කුමරු කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහය අගය කළ යුතු බව එක්සත් රාජධානියේ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු ප්‍රකාශ කරයි.

එඩ්වඩ් කුමරු එසේ ප්‍රකාශ කළේ ඊයේ (04) අරලියගහ මන්දිරයේ පැවැති එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්‍රදානෝත්සවය-2017 සහභාගි වෙමිණි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, යෞවන තිළිණ ප්‍රධාන අංශය එක්ව මෙම සම්මාන ප්‍රධානෝත්සවය සංවිධානය කෙරිණ.

තාරුණ්‍යයේ ශක්තිය සංහිඳියාව කරා යොමු කරන ලෙසද එඩ්වඩ් කුමරු මෙහිදී ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එඩ්වඩ් කුමරු-

මෙම තිළණ ප්‍රදානෝත්සවයට සහභාගි වන සියලු දෙනාට මම පළමුව සුබ පතනවා. ඔබ සියලු දෙනා ඉතා සැහැල්ලුවෙන් මෙම වැඩසටහනට මේ වන විට සහභාගි වනවා. මෙම සම්මානය ලබා ගන්න සෑම දෙනාම ඒ සඳහා දුෂ්කර ගමනක් ගියා. හැබැයි එය ප්‍රීතිමත් අත්දැකීමක් වෙන්න ඇති කියාත් මම සිතනවා. මේ සම්මානය ලබා ගත් ඔබලාට දැන් සතුටක් දැනෙනවා ඇති. අප ස්වර්ණ තිළිණ ලබා දුන්නා. ඊළඟට සම්මාන ලබා ගන්න ලෝකඩ සහ රජත තිළිණලාභීන් මෙහි පැමිණෙනවා. ස්වර්ණ තිලිණ සම්මානලාභීන්ට මෙන්ම මොවුන්ටත් මම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔවුන්ටද රන් සම්මානය කරා යාමට ශක්තිය, ධෛර්යය ඇතිවේවා කියා මම කියනවා.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම, ජාතික තරුණ සේවා සභාව තාරුණ්‍යයට ලබා දෙන්නා වූ ශක්තිය, ජවය, මඟ පෙන්වීම පිළිබඳව මා ඒ සියලු දෙනාට ස්තුතිය පුදකරනවා. මෙම වැඩසටහන වසර 37ක් පුරා ආ ගමන් මඟ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමට විශාල සතුටක් දැනෙනවා ඇති. මෙම වැඩසටහන යටතේ මේ වන විට හතලිස් දහසකට වඩා සම්මාන ලබාදී තිබෙනවා. මෙම සම්මාන ලබා ගන්න හැකිවුණේ සම්මාන ලබන්නන්ගේ හැකියා මත. ඒ වගේම එම කටයුත්ත සඳහා සහයෝගය ලබා දුන් දෙමාපියන්, ගුරුවරුන්ටද අප ස්තුතිය පිරිනැමිය යුතුයි. ඔවුන්ටද තම දරුවන් සම්මමානය ලබාගන්නා ආකාරය දැක සතුටු වෙන්න පුළුවන්.

මෙම තිළිණ ප්‍රදානෝත්සවය දිගටම කරගෙන යන්න. ඒ වගේම තාරුණ්‍යයේ ශක්තිය සංහිඳියාව කරා යොමු කරන්න. සමාජයේ විශේෂ අවශ්‍යතා ඇති අය සඳහාත් තාරුණ්‍යයේ ශක්තිය යොදවන්න කියා මා ඉල්ලා සිටිනවා. පාසල් පන්දහසකට පමණ මේ ක්‍රියාවලිය ගෙන යන්න වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර තිබෙන බව දැන ගන්න ලැබුණා. මෙම තිළිණ ප්‍රධානෝත්සවය නිසා තරුණ, තරුණියන්ට අත්දැකීම් ලැබෙන්න ඇති. ශක්තීන් ලැබෙන්න ඇති. ඒ හරහා සමාජයේ වෙනස්කම් කරන්න ශක්තීන් ලැබෙයි කියා මා විශ්වාස කරනවා. මෙම සම්මානය ලබා ගත් සියලු දෙනාටම විශාල අභිමානයක් ඇති බව මා දන්නවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

අද දින වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා. ජාත්‍යන්තර සම්මාන ලබා දෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ එඩින්බරෝ ආදාපාදතුමාට අප ස්තුතිවන්ත විය යුතුයි. එතුමා දුරදිග බලා මේ සම්මාන ක්‍රමය ආරම්භ කළා. ලෝකයේ ඕනෑම තැනක සිටින යෞවන යෞවනියන්ට අභියෝගවලට මුහුණ දී අභියෝග ජය ගන්න හැකි ශක්තියක් මෙතන තිබෙනවා. ජීවිතයක් සාර්ථකව ගෙන යාමේදී අභියෝගවලට මුහුණ දීමට සිදුවෙනවා.

මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට කැපවූ නැසීගිය යුද්ධ හමුදාපතිවරයකු වූ මේජර් ජෙනරාල් ඇන්ටන් මුතුකුමාරණ මැතිතුමාට සහ මෙම අවස්ථාවට සහභාගි වන එකල තරුණ සේවා සභාවේ සභාපති චරිත රත්වත්ත මැතිතුමාටත් අපේ ස්තුතිය පිරිනමනවා. මේ තිළිණ ප්‍රදානෝත්සවය සඳහා යෞවන තිළිණ ප්‍රධාන අංශය කැපවී ක්‍රියා කරනවා. මේ රටේ තරුණ පිරිසට ඉදිරි දශක කීපයේ නායකත්වය ලබා දෙන්න මෙවැනි වැඩ සටහන් උපකාරී වේවි.

දිස්ත්‍රික්ක 08ක වයස අවුරුදු 14-24 වයස් කාණ්ඩයේ පසුවන සිංහල හා දමිළ මාධ්‍ය පාසල්, ළමා ගම්මාන, බන්ධනාගාර පාසල්, ජාත්‍යන්තර පාසල්, විද්‍යා පීඨ සහ යෞවන සමාජ තරුණ තරුණියන් වෙනුවෙන් පැවැත්වෙන මෙම යෞවන තිළිණ වැඩසටහනේදී තරුණ තරුණියන්ගේ සේවා, ගවේෂණ, කුසලතා, ක්‍රීඩා හා විනෝදාංශ අංශ හතරක් යටතේ ලෝකඩ, රජත හා ස්වර්ණ සම්මාන ප්‍රදානය කෙරේ. මෙම සම්මාන උළෙලේදී ලෝකඩ තිළිණ 409ක්ද,රජත තිළිණ 128ක්ද, ස්වර්ණ තිළිණ 63ක්ද ආදී වශයෙන් තිළිණ හයසියයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරු, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, මැති ඇමැතිවරු, මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා, යුද්ධ හමුදා ප්‍රධානීහු, පොලිස්පතිවරයා, රාජ්‍ය නිළධාරීහු ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

උපාලි කරුණාරත්න සහ වැලිගම සමූහ

ඡායාරූප
මාලන් කරුණාරත්න 


නව අදහස දක්වන්න

Or log in with...