සංවර්ධනයට බාධාවක් වන ඇතැම් ආඥා පනත් වගන්ති රෙගුලාසි වෙනස් කරනවා | දිනමිණ

සංවර්ධනයට බාධාවක් වන ඇතැම් ආඥා පනත් වගන්ති රෙගුලාසි වෙනස් කරනවා

ජයසිරි මුණසිංහ

විනයක් ඇති පරිපාලනයක් රටේ බිහි කළ යුතු බව ජනපති 70 වැනි නිදහස් සැමරුමේදී කියයි

සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් ලෙස පවතින මීට අවුරුදු සියයකට එහා පැරණි ඇතැම් ආඥා පනත්, වගන්ති, රෙගුලාසි කඩිනමින් සංශෝධනය කැර වේගවත් සංවර්ධනයක් සහ විනයක් ඇති පරිපාලනයක් රටේ බිහි කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

70 වැනි ජාතික නිදහස් දින සැමරුම් මහෝත්සවය ඊයේ (04) උදේ කොළඹ ගාලුමුවදොර පිටියේ අභිමානවත් අයුරින් පැවති අවස්ථාවේ ජනාධිපතිවරයා ජාතිය අමතා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් වශයෙන් අප මහා බ්‍රිතාන්‍යයට කරන ලද ආරාධනය ඒ වගේම ගෞවරණීය රජ පවුලට කරන ලද ආරාධනය අනුව අපට සුබ පතමින් මෙහි පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ගෞරවණීය නියෝජිතයාණෙනි, අපේ ආරාධනය පරිදි පැමිණි සියලුම විදේශීය රටවල ගෞරවණීය නියෝජිතවරුනි, ගරු අගමැතිතුමෙනි, ගෞරවනීය විනිශ්චයකාරතුමෙනි, නීතිපතිතුමනි, ගෞරවණීය මැති ඇමැතිවරුනි, ශ්‍රී ලංකාව නියෝජනය කරන විදේශීය තානාපතිවරුනි, සියලුම ආරාධිත අමුත්තනි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මියනි, මාගේ ආදරණීය දෙමවුපියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි,

අප අද ඉතාමත් ගෞරවයෙන් මෙන්ම අභිමානයෙන් සිහිපත් කරන්නේ අපේ රට යටත් විජිත යුගයෙන් නිදහස ලැබී වසර 70 ක් සපිරීමයි. මේ ගෙවී ගිය වසර 70 වක අත්දැකීම් අපේ රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම සඳහා අනාගත ප්‍රගමනය සඳහා ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම 1948 නිදහස ලැබීමෙන් පසු අපට තිබූණු අභියෝග ගණනාවක් අප ජය ගනු ලැබුවා. ඒ සඳහා එදා සිට මෙදා දක්වා බලයට පත් වූ සෑම රජයක්ම, රාජ්‍ය නායකත්වයක්ම, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ රටේ පොදු මහජනතාව ඒ සියල්ල සිය වගකීම් සහ යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව මම විශ්වාස කරනවා.

බලාපොරොත්තු නොවූ ආකාරයට අපේ රට බෙදීමට, වෙන් කිරීමට මිලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ව්‍යාපාරය කටයුතු නිසා ඔවුන් පරාජයට පත් කිරීමට අපට වසර 26 ක දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදීමට සිදු වුණා. එය අපේ ආර්ථික පසුබෑමක් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ජාතියේ ප්‍රගමනය සඳහා ගෙන ගිය ප්‍රබුද්ධ වූ වැඩපිළිවෙළවල් තුළ පසුගාමී තත්ත්වයන් ඇතිවීමට හේතු වුණා. එහෙත් අපේ ඉතිහාසයේ වසර ගණනක ශ්‍රේෂ්ඨත්වය, අභිමානය, පෙර දවස මහා අභිමානවත් ශ්‍රේෂ්ඨ වූ ඒ මහා කතාවෙන් අපට තිබෙන අත්දැකීම් ජාතියට ඇති වී තිබෙන ජීව ගුණය ඒ සියල්ල සමඟ අපට අපේ අනාගතය සඳහා අප ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීමට අපේ රට තුළ සිටින උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන් පඩිවරුන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සමඟ රටේ පොදු මහජනතාව ඒ සිය යුග මෙහෙවර ඉටු කරමින් සිටිනවා.

අද අප මුහුණ දෙන්නා වූ ප්‍රධානතම අභියෝග මොනවාද. ජාතියේ අනාගතය සඳහා අප විසින් කළයුතු මෙහෙවර කුමක්ද. හැත්තෑ වසරක අතීත අත්දැකීම් සමඟ අනාගතය ගොඩනගා ගැනීම සඳහා අප ඒ අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ජාතියේ ප්‍රගමනය සඳහා ප්‍රබුද්ධ වූ වැඩපිළිවෙළකට අප සියලු දෙනා කැපවිය යුතු වෙනවා. එය අප වැළඳගත යුතු වෙනවා. එහි තිබෙන්නා වූ ජීව ගුණය අප ශක්තිමත් කළ යුතු වෙනවා. අද ඔබ අප කවුරුත් දන්නා පරිදි අපට ආර්ථික වශයෙන් අසීරුතාවයන් තිබෙන පසුබිම තුළ එම ආර්ථික ජයග්‍රහණ ළගාකර ගැනීම සඳහා රජයක් විදියට කැපවී සිටිනවා. අප මුහුණදෙන අභියෝග අතර දුගී භාවය, ප්‍රබල වූ අභියෝගයක්.

මීට පෙර බලයට පත්වූ සෑම රජයක්ම දුප්පත්කමින් නිදහස්වීම සඳහා විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කර ඇති අතර ඒවායේ යම් යම් ප්‍රතිඵල සුබදායී ලෙස තිබෙන්නා සේම අපි ඒ අතීත අත්දැකීම් සමඟ නව වැඩපිළිවෙළක් තුළ දුගී බවින් නිදහස් වීම සඳහා දැනට කෙරෙන කාර්යයන් මීට වඩා ප්‍රබුද්ධ ලෙසත්, කාර්යක්ෂම ලෙසත් අප විසින් ඉටු කළ යුතු වෙනවා. එහිදී මා විශ්වාස කරනවා දුප්පත්කමින් නිදහස් වීමේ ඒ අභියෝගය අපට ඉදිරියේදී ජයගත හැකියි කියා. අප සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. ඇතැම් වෙලාවට කණගාටුවෙන් වුවද කිවයුතු වෙනවා සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසළකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ කරන ලද සංවර්ධනය ඇතැම් වෙලාවට ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී තිබෙනවා. ඒ නිසා දේශපාලන නායකත්වය රාජ්‍ය නිලධාරීන්ගේ නායකත්වය රාජ්‍ය පරිපාලනය කළමනාකරණය මූල්‍ය කළමනාකරණය සෑම විටම මෙහිදී පැහැදිලි ලෙස සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා.

ඒ වගේම අපේ රට උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, පඩිවරුන්ගෙන් අදට වඩා ශක්තිමත් කළ යුතුයි. ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩි වූ රටක. එය අප විසින් කළයුතු වෙනවා. ඒ සඳහා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාවය, අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම්වල අදට ඔබින ආකාරයට සකස් කළ යුතු වෙනවා. මෙහිදී අධි තාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවයන් සමඟ අප මූලික වශයෙන්ම නවෝත්පාදන ආර්ථීකය, හරිත ආර්ථීකය සඳහා කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා.

නවෝත්පාදන ආර්ථිකයේත්, හරිත ආර්ථිකයේත් මූලධර්ම සහ ප්‍රතිපත්ති තුළ මූලික වශයෙන් නිපුණතා සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනයට ඉතාමත් වැදගත් ස්ථානයක් දීම අත්‍යවශ්‍යයි යන්න මාගේ අදහසයි. අපේ රටේ රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා ඉතා පැරණි පරිපාලන රෙගුලාසී මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට යටත් කළයුතු වෙනවා. ගෙවීගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් තවමත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, ඇතැම් වගන්ති ඒ වගේම රෙගුලාසි තිබෙන බව ඔබ අප දන්නවා. එය සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් ලෙස අපි දකිනවා. කාර්යක්ෂම සංවර්ධනයක් ඒ වගේම වේගවත් සංවර්ධනයක් විනයක් ඇති පරිපාලනයක් මේ සඳහා අප ඒ රෙගුලාසි සංශෝධනය කඩිනමින් කළ යුතු වෙනවා.

ඒ වගේම මේ රටේ ඉතා වැදගත් ක්ෂේත්‍ර ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක් සඳහා අප අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තු ව්‍යාවස්ථාදායකය, ජනාධිපති තනතුර මේ සියලු ආයතන සහ තනතුරු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංවිධානය කොට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. විශේෂයෙන්ම දූෂිත දේශපාලනය ජාතියේ ප්‍රගමනයට අනාගතයට අයහපත් බරපතළ ප්‍රශ්නයක් ,අභියෝගයක් සහ අවහිරයක් වී තිබෙන බැවින් අපි ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ජනාධිපතිධූරයේ සිට පළාත් පාලන ආයතන දක්වා, පළාත් පාලන ආයතනවල සිට ජනාධිපති ධූරය දක්වාත් ප්‍රතිසංවිධානය විය යුතුයි. සංවර්ධන සැලසූම්වල විධිමත්භාවය මෙන්ම විනයක් ඇති දේශපාලන පරපුරක් සමඟ මේ රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය පැහැදිළිව දකිනවා. සංවර්ධනයේ අභියෝග ජාතියේ අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග ජය ගැනීමේදී පැහැදිළි ලෙසම දේශපාලනඥයා තුළ තිබිය යුතු අවංකභාවය ඉතාමත් වැදගත් වෙනවා. මේ අවංකභාවය තුළයි ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටත් රට ගොඩනැඟීමටත් මුළු මහත් පොදු ජනතාව රාජ්‍ය පාලනය සඳහා ඒකරාශී වන්නේ. ඒ නිසා දේශපාලනඥයින් තුළ තිබිය යුතු කැපවීම, අවංකභාවය, නොකිළිටිභාවය, පිරිසිදුභාවය ඉතාමත් වැදගත් යුගයේ අවශ්‍යතාවයක් ලෙස මම දිකිනවා, මේ හැත්තෑවන නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඔබෙත්, මගේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගා ගැනීම සඳහා.

මිනිසුන්ට මෙන්ම ගස, කොළ ඇතුළු සියලු සතුන්ට නිදහසේ පැවැත්ම අවශ්‍යයි .ඔබ අප කවුරුත් දන්නවා. සතා සිවුපාවා ගහකොළ ඇළ දොළ ස්වභාවධර්මයාගේ අසීමිත වස්තූන්, ඊට තිබිය යුතු නිදහසත්, මිනිසාට තිබිය යුතු නිදහසත් කිසිදු වෙනසක් නොමැති බව නිදහස පිළිබඳ කතා කරනව විට අප සෑමවිටම සිතා ගතයුතුයි. ඒ සඳහා අපේ කැපවීම අධිෂ්ඨාන කරගත යුතුයි. අපි සැමවිටම සැබෑ නිදහස යන්න මිනිසෙකුගේ නිදහස පමණක් නොව එහි තිබෙන්නා වූ ඉතාමත් සංකීර්ණ ස්වභාවය, එහි තිබෙන්නා වූ ඉතාම ව්‍යාප්ත තත්ත්වය, වගකීම් සහගත තත්ත්වය පාසල් දරුවාගේ සිට වඩ වඩාත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මා දකිනවා. ඒ නිසා මේ සියලු‍ කරුණු සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි.

නිදහස පිළිබඳ අපට තිබෙන්නා වූ අවබෝධයත්, අත්දැකීමත් සමඟ සතුටින් ජීවත්වෙන්න නිදහස් සමාජයක සෞභාග්‍යය ඉතාමත් අත්‍යාවශ්‍යයි. ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාවක්. ඒ නිසා නිදහස සියලු‍ අංශවල ශක්තිමත් කරන්නත් සෞභාග්‍යය උදාකර දීම සඳහා ස්වදේශික අපේම ජනතාවගේ අනන්‍යතාවයන් දේශීයත්වය අපේ කර්මාන්ත අපේ කෘෂිකර්මාන්තය අපේ කියන සියලු‍ දේවල් සමඟ අපේ සංස්කෘතිය ජාතික අනන්‍යතාවයන් සමඟ ඒ සෞභාග්‍යය උදාකරදීම සඳහා අප සැම විටම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.

විදේශීය රටවල්වල, දියුණු රටවල්වල තිබෙන තාක්ෂණික දියුණුව අපේ දැනුමට අවශ්‍යයි මෙන්ම ඒ දැනුම ලබා ගැනීමත් සමඟ අප කිසිවිටෙකත් අපේ ස්වදේශික ප්‍රාර්ථනාවන්, ස්වදේශික ඓතිහාසික උරුමයක් බිඳ නොහළන ලෙස කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ ඉතිහාස කතාවේ මූලික වශයෙන් ම අපේ සංස්කෘතිය, අනන්‍යතාව අපේ පෞරාණික වස්තු, අපේ උරුමයන් සියල්ල රැකගෙන පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන අප අපේ මාතෘභූමිය ගොඩනැගිය යුතු වෙනවා. මේ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලු‍ කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ වගකීම් සැමවිටම ඉටුකළ යුතු වෙනවා. අපි මේ සියල්ලෙහි අවධානය යොමු කළ යුතු වෙනවා මා පෙර කී පරිදි අපට තිබෙන අභියෝග අප කිසිවිටෙක අමතක නොකළ යුතුයි.

දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව යන්න මා මෙහිදී සඳහන් කරනවා. රටේ සංවර්ධනය සඳහා රටේ අනාගතය සඳහා දූෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක්‍රියාත්මක කිරීම ජාතියේ ප්‍රගමනයේ ආත්මාරක්ෂාව ලෙසයි මා මෙහිදී දකින්නේ, එසේම මා මෙහිදී හඳුන්වන්නේ. අපේ ශ්‍රේෂ්ඨ මව්බිම මත ආර්ථික නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඒ ආර්ථික නිදහසට එරෙහිව දූෂණය අල්ලස හොරකම නාස්තිය අප විසින් පිටු දැකිය යුතු වෙනවා. හොකරම, දූෂණය අල්ලස අපිට අපේ ජාතියේ අනාගතය සඳහා අද ඉතාම දැඩි ලෙස බලපා තිබෙන කාරණයක්. සෑම දේශපාලනඥයෙක්ම මේ රටේ තම තමාගේ වගකීම් ඉටු කිරීමේදී ඒ ආදර්ශය දීම අත්‍යවශ්‍ය යුග මෙහෙවරක් යුගයේ කාර්යයක් ලෙසයි මම මෙහිදී හඳුන්වන්නේ.

අප කුසීතකමෙන්, අලසකමනේ පසුබෑමෙන් තොරව කාර්යක්ෂමව එඩිතරව, වීරත්වයෙන් සටන්කාමිත්වයෙන් අපි අපේ ආර්ථිකය ගොඩනැංවීම සහ රාජ්‍ය ප්‍රබුද්ධත්වය තුළ මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා සෑම කෙනෙක්ම කැපවීමේ අත්‍යාවශ්‍ය බව මම මෙහිදී පැහැදිලිව දකිනවා.

අපට පසුගිය දශක කිහිපයක තිබෙන අත්දැකීම් සමඟ මේ රට ගොඩනැගීම සඳහා මූලික වශයෙන් ජාතිවාදී අදහස්වලින් තොරව ජාතික සමගිය සංහිඳියාව ශක්තිමත් කරමින් ජාතිවාදී ගැටුම්වලින් තොරව ජීවත් වීමේ නිදහස රටේ සියලු‍ දෙනාට සහතික කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ සහතික කිරීම තුළ සියලු‍ දෙනාගේ ක්‍රියාකාරිත්වය ප්‍රායෝගිකව අවශ්‍ය වෙනවා. සිංහල ,දමිළ ,මුස්ලිම් ,මැලේ, බර්ගර් සියලු‍ ජනකොටස්වල සහජීවනය, සමගිය, ආගමික සහජීවනය, භාෂාවේ ජාතික සහජීවනය මේ සියල්ල තුළ ජාතික සමඟිය ශක්තිමත් කරමින් සියලු‍ දෙනාට විශ්වාසයෙන්, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය අප සෑම විටම සහතික කළ යුතු වෙනවා.

ඒ නිසා අපි මේ සියලු‍ කාර්යයන් සඳහා අපේ කැපවීම ඉතා අත්‍යවශ්‍ය බවයි මේ හැත්තෑවන නිදහස් ඓතිහාසික සමුළුවේදී මුළුමහත් ආදරණීය ජනතාව ප්‍රමුඛව සියලු‍ වගකීම් දරණ සෑම ක්ෂේත්‍රයකම ප්‍රධානින්ගෙන්, වගකිවයුත්තන්ගෙන් මා ඉල්ලා සිටින්නේ. අද මූලික වශයෙන්ම දේශප්‍රේමිත්වය යනු මුල්‍ය විනයක් ඇතිව සියලු‍ දෙනා වැඩ කිරීමයි කියා මා මෙහිදී ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. දේශප්‍රේමිත්වය එක් එක් යුග තුළ එක් එක් කාල පරිච්ඡේද තුළ, එක් එක් අවස්ථා තුළ එය අපට විග්‍රහ කරන්න පුළුවන්. ඊට අවශ්‍ය නිර්වචනයන් දෙන්න පුළුවන්. අද දේශප්‍රේමිත්වය යනු සෑම කෙනෙක්ම දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරීන්ද රටේ අවසාන පුරවැසියා ද සිය කටයුතු කිරීමේදී මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම බව මා මෙහිදී දැඩි ලෙස ගෞරවණීය ලෙස අවධාරණය කරනවා.

දූෂණයට, හොරකමට විරුද්ධව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මා මෙහිදී දකිනවා. නිදහසේ අධිෂ්ඨානය පිරිසිදු , නොකිළිටි දේශපාලනයක් යන්නයි මාගේ අදහස. ඒ නිසා පිරිසිදු, නොකිළිටි දේශපාලනයක් සඳහා මූලික වශයෙන්ම අප සියලු‍ දෙනාම කැපවෙමින් අපට අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් ප්‍රවීණයින්ගේ සෑදුම්ලත් සාමුහික ප්‍රයත්නයක් තුළ අප සියලුදෙනා වගකීම් ඉටුකරමින්, රට ගොඩනඟා ගැනීමට තිබෙන ප්‍රධාන අභියෝගය වූ දූෂණය වළක්වා ගැනීම සඳහා, අල්ලස වළක්වා ගැනීම සඳහා අප සියලුදෙනාම පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය මේ ගෞරවණීය, ආදරණීය ජනතාවට 70 වැනි නිදහස් සමුළුවේදී පැහැදිලි කිරීමට කාරුණිකව කැමතියි.

අද මේ ඉතාමත් වැදගත් අවස්ථාව, ගෞරවනීය අවස්ථාව, ජාතියේ අභිමානවත් අවස්ථාව මෙහිදී අප අමතක කළ යුතු නෑ අපේ රට බෙදන්නට විශේෂයෙන්ම එල්ටීටීඊ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් කටයුතු කළ අවස්ථාවේ අපේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සේවා කරන ලද ඉමහත් වූ කැප කිරීම, ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් ඔවුන්ගේ අවයව අතපය අහිමි කරමින්, ආබාධිත වෙමින් ඔවුන්ගේ දරුවන් පවුල් ජීවිත ඇතැම් විට අහිමි කර ගනිමින් ඉතාමත් වේදනාකාරී අත්දැකීම් සමඟ ඔවුන් ජාතියේ අනාගතය සඳහා ජාතියේ නිදහස සඳහා මේ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාවය, ස්වෛරිත්වය සඳහා ඔවුන් සටන් කරනු ලැබුවා.

ඒ නිසා මම මේ හැත්තෑවන නිදහස් දින සැමරුම් උළෙලේදී විශේෂයෙන්ම මම රජයේත්, ජනතාවගේත් ගෞවරණීය ප්‍රණාමය මේ රටේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලුදෙනා සඳහාත් ඒ යුද්ධය පැවති කාලයේ ඉතාමත් කැපවීමකින් කටයුතු කළ මුළු මහත් රාජ්‍ය සේවයේත්, පොදු ජනතාව ඒ සියලු දෙනාටම මගේ ගෞවරණීය ස්තූතිය පුදකරනවා සේම විශේෂයෙන් අද මේ හැත්තෑවන නිදහස් සැමරුම් උළෙලට එක් වූ ඔබ සියලුදෙනාටම මම වගේ ගෞවරණීය ස්තූතිය පුදකරමින් අපේ ජාතියේ අනාගතය සඳහා දුගී භාවයෙන් නිදහස් වෙමින්, දූෂණයෙන් නිදහස් වෙමින් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගමින් ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නට අපේ ඓතිහාසික මතක සටහන්, අත්දැකීම් සමඟ නව අධි තාක්ෂණික ලෝකයේ නව පරපුරත් සමඟ උගත් තරුණ පරපුරත් සමඟ අප සියලු‍දෙනාම කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලු‍ දෙනාට තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. තෙරුවන් සරණයි.

ඡායාරූප- ජනාධිපති මාධ්‍ය අංශය සහ
සමන් ශ්‍රී වෙදගේ 

නව අදහස දක්වන්න