පසුගිය ආණ්ඩු අවුරුදු 60ක් තිස්සේ ගත් ණයට සමාන ණයක් මහින්ද අවුරුදු 6කදී ගත්තා | දිනමිණ

පසුගිය ආණ්ඩු අවුරුදු 60ක් තිස්සේ ගත් ණයට සමාන ණයක් මහින්ද අවුරුදු 6කදී ගත්තා

 

අධික පොලියට ගත් ඒ ණය ගෙවීමට රාජපක්ෂලාට සැලසුමක් තිබුණේ නෑ

අගමැති අම්බලන්තොට දී කියයි

1948න් පසු පැවැති රජයන් සංවර්ධන කටයුතුවලට අවුරුදු 60ක් තිස්සේ ගත් ණයට සමාන ණය ප්‍රමාණයක් රාජපක්ෂ රෙජිමය 2008 සිට අවුරුදු 06ක් තුළ දී අරගත් බවත් යුද්ධය අවසන් වීමෙන් පසු විශාල පොලියකට ගත් එම ණය ගෙවීමට රාජපක්ෂ රෙජිමයට කිසිදු සැලසුමක් නොතිබු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අවුරුදු දෙකක් තුළ දී සැලැස්මක් ඇතිව ආර්ථිකය ශක්තිමත් කර ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැංවීමට වර්තමාන රජයට හැකි වූ බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ඒ සඳහා අසීරු, ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වූ බවත් අනවශ්‍ය වියදම් අඩු කර දූෂණය නැති කළ නිසා පරණ පවක් වූ රාජපක්ෂ ණය ජාතික ආදායමෙන් ගෙවීමට හැකි වී තිබෙන බව ද පැවැසීය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා අම්බලන්තොට ප්‍රදේශයේ පසුගියදා (02) පැවැති ජන රැලියකට එක් වෙමිනි.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සංවිධානය කර තිබූ මේ මැතිවරණ ප්‍රචාරක රැලියට විශාල ජනතාවක් සහභාගි වී සිටි අතර, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන්ගෙන් ලැබුණේ උණුසුම් පිළි ගැනීමකි.

රත්නපුර නගරයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජන රැලියකට ද අගමැති වික්‍රමසිංහ මහතා පෙරේදා සහභාගි විය.

අම්බලන්තොටදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

රටේ ආණ්ඩුව කරන්න සැලැස්මක් තිබුණා සේම, අපිට ගමේ ආණ්ඩුව කරන්නත් සැලැස්මක් තිබෙනවා. හැකියාව සහ දක්ෂකම තිබෙනවා. හම්බන්තොට බේරා ගත්තා වගේ අප ආර්ථිකය බේරා ගැනීමට අපට සැලසුම් තිබනවා. ඒ නිසා ගමේ බලය එක්සත් ජාතික පක්ෂයට දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ප්‍රදේශයේ අයෙක්. මේ ප්‍රදේශය විශාල වශයෙන් දියුණු කරන්න පුළුවනි. ඒත් කළේ නැහැ. ණය වෙලා යන්න ගියා.

මාගම්පුරය ආරම්භ කළේ කාවන්තිස්ස රජ්ජුරුවෝ. ඒ කාලයේ සිට මෙහි කෘෂිකර්මාන්තයේ යෙදුණා. ප්‍රථම වතාවට මාගම්පුරයට විප්ලවයක් ඇති කර කර්මාන්තකරණ ආර්ථිකයක් අප ඊළඟ අවුරුදු කිහිපය තුළ ලබාදෙන බව මා කියන්න කැමතියි.

ඒකට එකඟ නම් එක්සත් ජාතික පක්ෂයට ගමේ ආණ්ඩුව දෙන්න. ඔබ එය තීරණය කළ යුතුයි. අපි රට භාර ගනිද්දී රාජපක්ෂ රෙජිමය භාර දී ගොස් තිබු‍ණේ ණය පමණයි. වෙන කිසිවක් තිබුණේ නැහැ. 2014 වසරේ ගෙවීමට තිබු ණය සඳහා රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. ආර්ථිකය කඩා වැටේ යැයි ඔවුන් සිතුවා. ඒ නිසා ජනාධිපතිවරණය කලින් පැවැත්වුවා. ඒක දිනලා බලය ලබා ගෙන උද්ඝෝෂණ මර්දනය කිරීමට සිතුවා. 2014 ඡන්දයක් එන බව මා කලින් කිවුවේ ඒ නිසයි. ආණ්ඩුව මාරු කරන බව මා කිවුවා. ඒ වගේම අපි ආණ්ඩුව මාරු කළා. ආර්ථිකය කඩන් වැටී වසරකින් ආපසු බලයට එන්න පුළුවන් වේවි යැයි ඔවුන් සිතුවා. අවුරුද්දක් ගානේ බලාගෙන ඉන්නවා. මා කියන්න කැමතියි 2020 වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. ඊට පස්සෙත් බලාගෙන ඉන්න වෙනවා.

2008 සිට 2014 වෙනතුරු 1948 ඉඳන් 2008 ට වෙනතුරු ගත් ණයට සමාන ණයක් අරගෙන තිබෙනවා. 2008 වනවිට යුද්ධයත් අවසන් වී තිබුණා. 1948න් පසු මහවැලිය හදන්න ගත් ණය, අනෙක් සංවර්ධන කටයුතුවලට අවුරුදු 60ක් ගත් ණය රාජපක්ෂ රෙජිමය අවුරුදු 06ට ගත්තා. විශාල පොලියකට ණය ගත්තා. ගෙවන්න ක්‍රමයක් තිබුණේ නැහැ. අපි මෙය භාර ගත්තේ සැලැස්මක් ඇතිව ආර්ථිකය ශක්තිමත් කර ණය ගෙවන බව කියලායි. අවුරුදු දෙකක් අපි එයට එරුණා. සමහර විට අමාරු, ජනප්‍රිය නොවන තීරණ ගන්නට වුණා. වැට් බදු වැඩි කළ එක ඉන් එක තීරණයක්. එහි ප්‍රතිඵලය වුණේ මොකද්ද? අනවශ්‍ය වියදම් අඩු කළා. දූෂණය නැති කළා. දැන් අපට ජාතික ආදායමෙන් රාජපක්ෂ ණය, පරණ පවු ගෙවන්න හැකි වී තිබෙනවා.

පරණ ණය ගෙවන්න අලුත් ණය ගන්නවා නම් ඒක අනතුරුදායකයි. ඒ වෙනුවට අප බැලුවේ අපේ ආදායමෙන් ණය ගෙවා ඉදිරියට යන්නයි. දැන් ස්ථාවරභාවයක් තිබෙනවා. හැමදෙයටම ණය වෙලා තිබුණා.

හම්බන්තොට වරාය හදන්න අරගෙන තිබෙන ණය දන්නවාද? ඩොලර් මිලියන 1300 ක් අරගත්තා. ඒ ණය ගත්තේ චීන බැංකුවකින්. ඒ ණය ගෙවන්න බැරි නම් ලංකාණ්ඩුවට ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි තිබෙන චංචල නිශ්චල දේපල ඕනෑ දෙයක් උසාවි නියෝගයක් ගෙන විකුණන්න පුළුවන් බව ගිවිසුමේ තිබෙනවා. උසාවි නියෝගය ගත යුත්තේ ලන්ඩන් නුවර උසාවියකින්. මුළු හම්බන්තොටවත් එපමණ වටින්නේ නැහැ. පාර්ලිමේන්තුවත් විකුණන්න පුළුවන්. ලන්ඩන් නුවර තිබෙන අපේ මහ කොමසාරිස් කාර්යාලය විකුණන්න පුළුවන්. වොෂින්ටන් නගරයේ තිබෙන අපේ තානාපති කාර්යාලය විකුණන්න තිබුණා.

එහෙම ණය අරගෙන චීනුන්ට රට විකුණුවා කියා දැන් කියනවා. ඒ ගිවිසුම පෙන්නන්න පුළුවන්. හරිම භයානක ගිවිසුමක්. ඩොලරයක් හෝ අඩු වුණොත් මේ සියල්ලම අත් පත් කර ගන්න තිබුණා. ඒ ගිවිසුමට අත්සන් කළේ කවුද? එය කළේ මහින්ද රාජපක්ෂ පාලනයයි.

මත්තලත් එහෙමයි. ණය ගෙවන්න බැරිනම් අල්ලගන්නවා. ණය ගෙවන්න කල් ඉල්ලන්න බැහැ. ඒ දිනයට ගෙවිය යුතුයි. එයත් රට විකිණීමක් නේද?

අපේ උසාවිවල අහන්න බැහැ. අභියාචනා කරන්න බැහැ. උසාවියට ගොස් බැංකුව කිවුවොත් මේ දිනයට මේ මුදල ගෙවා නැහැ කියා අපට භාර දෙන්න වෙනවා. හැම දෙයටම කොන්දේසි දමා තිබුණේ ඒ ආකාරයටයි.

පාරවල්වලටත් තිබුණා. හම්බන්තොට පාරවල්වලට ගත් ණය ගෙවුවේ නැතිනම් වෙන්නේ එයයි. එහෙම කර දැන් අපි රට විකුණනවා කියා කියනවා.

අපි මෙය බේර ගත්තේ කෙසේද කියා සජිත් ප්‍රේමදාස මහතාත් විස්තර කළා. අපි 2016 බීජිං නුවරට ගොස් අපිට මේ ණය ගෙවන්න බැරි බව කිවුවා. ගිවිසුම අහෝසි කරන බව කිවුවා.

ඒ මදිවට පෝට් සිටි ගිවිසුමෙන් එහි සින්නක්කර අයිතිය ලබා දී තිබුණා. එය දෙන්න බැරි බවත් මා කිවුවා. ෂැංග්‍රිලා හොටලයත් යුද්ධ හමුදා මුලස්ථානය තිබූ භූමිය සින්නක්කර විකුණා තිබුණා. ඒ වගේ දේශප්‍රේමයක් අපට නම් නැහැ. ඒ නිසා එය කළ නොහැකි බව අප කිවුවා. ගිවිසුම් අහෝසි කළ යුතු බව අප කිවුවා. අපි චීනයේ ජනාධිපති, අගමැති සහ අදාළ ඇමැතිවරු සමඟ කථා කළා.

සින්නක්කර ඔප්පු වෙනුවට අපි 99 අවුරුදු බදු දෙන්නම් කියා මා කිවුවා. හම්බන්තොට වරාය ගිවිසුම අහෝසි කළ යුතු බව කිවුවා. වෙනත් සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් කළ හැකි දැයි ඔවුන් ඇසුවා. අපේ ණය බර අඩු වෙනවා නම් එය කළ හැකි බව කිවුවා. එම සමාගමෙන් අපේ ණය බර භාර ගන්නවා නම් ගිවිසුමකට එළැඹිය හැකි බව අප දැනුම් දුන්නා.

එසේ නම් පළමු අවස්ථාව චීන සමාගමකට දෙන ලෙස ඔවුන් ඉල්ලුවා. අවුරුදු 99 කට පෝට් සිටිය බදු දීමට අප එකඟ වුණා. හවුලේ කිරීමට චීන මර්චන්ට් සමාගම එකඟ වුණා. එක කොන්දේසියක් දැම්මා. නාවුක හමුදාව මගින් ආරක්ෂාව ලබා දීමේ අයිතිය තියා ගත්තා. මට අවශ්‍ය වුණේ ගාල්ලේ තිබෙන නාවික මුලස්ථානය මෙහි ගෙන ඒමටයි. එයටත් එකඟ වුණා. පොලිසියේ සහ යුද කටයුතු අපි තබා ගෙන හවුල් ව්‍යාපාරයේ වාණිජ පැත්ත පමණක් ඔවුන්ට භාර දුන්නා.

ඩොලර් මිලියන 200ක් ඒ වන විට ණය එකතු වී තිබුණා. මේ ණය ගෙවුවේ කොළඹ වරායේ ආදායමෙන්. තව කල් ගියා නම් කොළඹ වරායත් කඩා වැටෙනවා. එවිට අපට ගෙවන්න තිබුණේ ඩොලර් මිලියන 1100 යි. එම මුදල අපට ගෙවන්න චයිනා මර්චන්ට් සමාගම එකඟ වුණා. වරාය අධිකාරිය සමඟ ඒකාබද්ධව කිරීමට එකඟ වුණා. වරායේ සිවිල් අංශයේ පාලනය ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියට පවරා තිබෙන අතර, වාණිජ සහ මෙහෙයුම් කටයුතු හවුල් ව්‍යාපාරයෙන් කරනවා.

ඒ වගේම මත්තල ගුවන් තොටුපළ සඳහා ඉන්දියන් සමාගමක් සමඟ කටයුතු කරනවා. මොනරු ඉන්න ගුවන් තොටුපළට ගුවන් යානාත් නැව් නැති වරායට නැව් ගේන බවත් මා එදා කිවුවා. ඔය දෙකම පුරවන්න පුළුවන් නිසා තමයි මා අද අම්බලන්තොටට ආවේ.

අපි මේවා චීනයට විකුණුවා කියා දැන් කියනවා. කවුද කියන්නේ? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ. අපි විකුණුවේ නැහැ. ඒ බව කිවුවට ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගැටලුව විසඳන්න හොඳ ක්‍රමයක් තිබෙනවා.

හම්බන්තොට වරාය අප විසින් විකුණූ බව කියන මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමඟින් සජිත් ප්‍රේමදාස මහතා ද සමඟ චීන තානාපතිවරයා මුණ ගැසෙන්න. ඒ යන විට රූපවාහිනි කැමරා කණ්ඩායමක් ද රැගෙන යන්න. මේ කර තිබෙන්නේ කැත වැඩක්. මෙවැනි දෙයක් කළ යුතුව තිබුණේ නැහැ. අප මීට විරුද්ධ යැයි කියන්න. එහෙම කිවුවොත් රාජපක්ෂලට ඡන්දය දෙන්න යැයි මා කියනවා. එහෙම නොකිවුවොත් අපට ඡන්දය දිය යුතුයි.

ඒ අභියෝගය භාර ගන්න සුදානම්ද? කැත වැඩේ කළා යැයි චීන තානාපතිගේ මුණට කියන්න. එවිට රූපවාහිනි ප්‍රවෘත්තිවලින් පෙන්නූ පසුව ඡන්දය දෙන්නේ කාටදැයි ජනතාව තීරණය කරාවි.

ඉදිරියේ දී හම්බන්තොට විශාල දියුණුවක් ඇති වෙනවා. හවුල් ව්‍යාපාර ඊළඟ වසර දෙකේදී තවත් ඩොලර් බිලියන 600ක් වරාය දියුණු කිරීමට යොදවන බව පවසා තිබෙනවා. එහි වාසිය හම්බන්තොටටද? කොළඹටද? වසර 10 කින් අප දෙවැනි අදියරට ගමන් කරනවා.

හම්බන්තොටට තෙල් පිරිපහදුවක් අවශ්‍යද? නැද්ද ? ඔවුන් තෙල් ගහන්න නැව් එන බව කිවුවත් තෙල් පිරිපහදුවක් ඉදි කළේ නැහැ. නැව් අලුත්වැඩියා කිරීම සඳහා නැව් තටාකාංගණයක් ඉදි කරන බව කිවුවා. මේවා අවශ්‍ය අය අපට ඡන්දය දෙන්න. අනවශ්‍ය අය පොහොට්ටුවට ඡන්දය දෙන්න.

එල්. එන්. ජී. විදුලි බලාගාරයක් අප විසින් අනුමත කර තිබෙනවා. එහි ඉදි කිරීම් පිළිබඳ විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර තිබෙනවා. කොළඹින් පිට පළමු විදුලි බලාගාරය ඉදි වන්නේ හම්බන්තොටයි.

සිමෙන්ති කර්මාන්තශාලාවක් ඉදි කෙරෙනවා. ඒ පිළිබඳ ආයෝජන මණ්ඩලය සමඟ සාකච්ඡා කරනවා. හම්බන්තොට වානේ කර්මාන්ත ශාලාවක් ඉදි කෙරෙනවා. එවිට රැකියා විශාල ගණනක් ඉදි වෙනවා. මේවා අවශ්‍ය අය අපට ඡන්දය දෙන්න. නැති අය පොහොට්ටුවට ඡන්දය දෙන්න.

කර්මාන්ත කලාප හතක් හම්බන්තොටට ලැබෙනවා. හම්බන්තොට සිට වැල්ලවාය දක්වා එම කර්මාන්ත කලාප ඉදි වෙනවා.

ගමේ ආණ්ඩු අපට ලබා දෙනවා නම් සියලුම දෙනාට අවශ්‍ය රැකියා පුහුණුව රජයෙන් ලබා දෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සමඟ එක්ව යොවුන් සේනාංක පුහුණුව ලබා දෙනවා. මේ සියලුම දෙනාට වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා ආයතන පිහිටුවනවා.

ඒ අනුව කොළඹට දෙවැනි නොවන ආර්ථිකයක් හම්බන්තොටටත් ලැබෙනවා. ඒ ආර්ථිකය ලබා ගැනීමට අකමැති වන්නේ කවුද?

මත්තල ගුවන් තොටුපළ දියුණු වූ පසුව එතැනින් රටට එන ඉන්දිය ජාතිකයන් කතරගම පුද බිමට යනවා. කෝවිල්වලට වැඩි පුර ආදායම් ලැබෙන්න පටන් ගන්නවා. එවිට දවස් හතේම සංචාරකයන් එන්නට ගනිවි.

කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ, කොළඹ සහ හම්බන්තොට වරායන් එකතු කරමින් දියුණුව ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.

ආරුගම්බේ, පොතුවිල්, ඇල්ල, ප්‍රදේශවලට යාමට අවශ්‍ය නම් මත්තලින් ගොඩ බැස ඒ ප්‍රදේශවලට යාමට හැකියි.

අම්බලන්තොට ප්‍රදේශයත් සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. ඒ ශක්තියෙන් අපේ විහාරස්ථානත් අලුතින් දියුණු කළ හැකියි. අප හම්බන්තොට ගොඩ ගත් අයුරින්ම රටේ ආර්ථිකයත් ගොඩ ගන්නවා.

හම්බන්තොට දියුණුවෙන් පසු මුළු රටේම දියුණුවක් ඇති වෙනවා. මහනුවර සිට හම්බන්තොට දක්වා නව මාර්ග පද්ධතියක් ඇති කර තිබෙන මාර්ගවල අඩුපාඩු සකස් කර පහසුකම් ලබා දෙනවා. කොළඹ ඉන්දියන් සාගරයේ වාණිජ ව්‍යාපාර මධ්‍යස්ථානය වෙනවා. මහනුවර නගරය ජපන් ආධාරවලින් දියුණු කරනවා. එතැන එක වෙළෙඳ කර්මාන්ත කලාපයක් ඉදි වෙනවා. වයඹ කර්මාන්ත කලාප දෙකක් සහ එක සංචාරක කලාපයක් ඉදි වෙනවා. දැනට කළුතර එක වෙළෙඳ කලාපයක් ඉදි වෙන අතර පසුව රුවන්පුර මාර්ගය ආරම්භ වූ විට අවිස්සාවේල්ලේත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. ගාල්ලේ සංචාරක කලාප තුනක් ඉදි වෙනවා. එක් කලාපයක් අක්කර 600කට වඩා වැඩියි. මාල දිවයිනේ දූපත්වලට වඩා විශාලයි.

තව වෙළෙඳ කලාපයක් වැලිගම ආරම්භ වෙනවා. තංගල්ලේ සංචාරක පුරවරයක් ඉදි වෙනවා. ඒ ආකාරයට හම්බන්තොට වටේ කර්මාන්ත කලාප හයක් ඉදි කෙරෙනවා. 1977 දී මුළු රට පුරා ඇති කළ කර්මාන්ත කලාප වගේ දෙගුණයක් අපි ආරම්භ කරනවා. එවිට ඇති වන දියුණුව බලන්න.

එවිට ඉඩම්වල මිල වැඩි වෙනවා. හිස් ඉඩම්වල මිල ඉහළ යනවා. අපි 1977 දී ගම්පහ කොළඹට දෙවැනි වන ලෙස දියුණු කළා. එවිට කර්මාන්ත කලාපයක් තිබුණේ ඒකළ පමණයි. අපි කටුනායක සහ බියගම කර්මාන්ත කලාප ඇති කළා. දැන් ගම්පහ දියුණුව කොහොමද? ජනගහනයෙන් දෙවැනි වන්නේ කොළඹට පමණයි. දැන් අපට තිබෙන්නේ මේ ප්‍රදේශයට ජලය ලබා දෙන්නයි. ඒ එක්කම කෘෂිකර්මය අමතක කරන්නේ නැහැ. ජනගහනය වැඩි වෙන විට ආහාර වැඩියෙන් අවශ්‍යයි. උඩවලවේ සිට කිළිනොච්චි දක්වා වී වගා කෙරෙනවා. ඒවා මෙන්ම හම්බන්තොට, මහියංගනය, ගල්ඔය සහ මොණරාගල වගාවද ආරක්ෂා කළ යුතුයි. අලුත් තාක්ෂණය ගෙනවිත් මීටත් වඩා හොඳින් වී, එළවුළු සහ කෙසෙල් වගා කිරීමට අවස්ථාව ලැබෙනවා. එයින් සම්පූර්ණ ප්‍රයෝජනය අරගන්න. කර්මාන්ත මෙන්ම කෘෂිකර්මය දියුණු කරනවා. රටේ ආණ්ඩුව කරන අපට ගමේ ආණ්ඩුව දුන්නොත් ඒ වෙනස කළ හැකියි.

ඒ පෙරළිය කිරීමට අප සැලසුම් සාදා අවසන්. කර්මාන්ත ගැන කථා කිරීමට සජිත් ප්‍රේමදාස මහතා අප සමඟ චීනයට ගියා. පුහුණුව මේ ප්‍රදේශයේ දී ලබා දෙනවා. එවිට රැකියා සොයා ගෙන වෙන තැන්වලට යා යුතු නැහැ. වෙන අය මෙහෙට ඒවි. ලෝකයේ විශාලම පිහිනුම් තටාකය, නැව් තිබෙන රැකියා තිබෙන වරායක් බවට පත් කරනවා.

මේ පණිවිඩය තිස්සමහාරාම ආසනය වටේ යවන්න. මේ දියුණුව අරගන්න පෙබරවාරි 10 වැනිදා ගමේ ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන ලෙස මා ඉල්ලනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා-

මේ මැතිවරණයේ දී තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ සියලුම ආසන අප ජයග්‍රහණය කරනවා. අප ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යනවා. අපගේ ජන රැලිවලට සහභාගී වන විශාල ජනකාය දෙස බලන විට එම ජය තහවුරුයි. මහින්ද රාජපක්ෂට මෙවර හොඳම පාඩම උගන්වන්නේ තිස්සමහාරාම ආසනයයි.

අප පක්‍ෂ පාට භේදවලින් තොරව ජනතාවට උපකාර කර තිබෙනවා. පාසල් පද්ධතිය දියුණු කරමින් සිටිනවා.

කෘෂිකර්මාන්තය සඳහා හැකි උපරිම ශක්තිය දෙනවා. මේ පවත්වන්නේ ගමේ බලය දිය යුත්තේ කාටද යන ජනමත විචාරණයයි. ගමේ වගකීම භාර දිය යුත්තේ බලයේ සිටින රජයේ පාර්ශ්වයටයි.

බෙදන්න හැකි හැම හැන්දක්ම ඇත්තේ අපේ අතේයි. ගමට සේවයක් ඔබට සහනයක් ගන්න අවශ්‍ය නම් මෙදා බලය දිය යුත්තේ බලය තිබෙන එක්සත් ජාතික පක්ෂයයි.

අපේ ප්‍රතිවාදීන් බංකොලොත් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරනවා. අප රට විකුණන බව කියනවා. කොළඹ පෝට් සිටි ඉඩම් සින්නක්කර ඔප්පුවකින් රාජපක්ෂ චීනයට දී තිබුණා. ඒ ඔප්පුව අහෝසි කර ගත්තේ අගමැතිවරයා මැදිහත්වී බව කිව යුතුයි.

අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය-

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට, ලංගමයට මහින්ද රාජපක්ෂ රුපියල් කෝටි ගණනක් ණයයි. එයා එහෙම හොරකම් කරනකොට ගමේ පොඩි උන් ප්‍රාදේශීය සභාවෙන් හොරකම් කළා. එයා නැවත බලයට එන්න හදනවා. ඒත් 2020 වෙනකම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති. ඒක වෙනස් කරන්න බැහැ.

දකුණු පළාත් සභා විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ලාල් නිමලචන්ද්‍ර, නිහාල් වෙදආරච්චි සහ පී. බී. කේ. ගාමිණි මහත්වරුන් ද මෙහි දී අදහස් දැක්වූහ.

ශිරෝමි අබයසිංහ ​සහ අම්බලන්තොට සමූහ අම්බලන්තොට සිට
ඡායාරූප- හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න