මැද මාවතේ යතිවරයාණෝ | දිනමිණ

මැද මාවතේ යතිවරයාණෝ

සුපේෂල ශික්ෂාකාමී සංඝ ගුණයෙන් පෝෂිත බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ දැනුමින් සපිරි මහ තෙර නමකි. බුදු මඟ ගමන් ගන්නා අතර තුර අධ්‍යාපනයෙන්ද පෙරට ගිය උන්වහන්සේ රටම පිළිගත් ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකි. දශක හයකට වැඩි පැවිදි ජීවිතය තුළ විමලරතන අනුනාහිමියෝ ගුරු ගෞරවය රකිමින් දැන උගත් භික්ෂු පරපුරක් සසුනට දායාද කරන්නට කළ මෙහෙය අපමණය. ජාතික, ආගමික, ශාසනික මෙන්ම සමාජීය ප්‍රශ්නවල දී පෙරමුණ ගෙන කටයුතු කළ උන්වහන්සේගේ වදන්වලට සමජයේ විශාල පිළිගැනීමක් තිබිණි. ඒ සිල්වත් බවේත් උගත් කමේත් සම්මිශ්‍රණයක් උන්වහන්සේගේ චරිතය තුළින් ප්‍රකට වූ බැවිනි. ජාති, ආගම්, කුල භේදයෙන් තොරව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විමලරතන හිමියන් කළ මෙහෙවර තුළින් සසුනඹර ඒකාලෝක විණි. උන්වහන්සේ හදිසියේ අපවත් වූයේ උන්වහන්සේගේ සේවය රටට අත්‍යවශ්‍යම මොහොතකය. භික්ෂු විනය පිළිබඳ මහත්සේ උනන්දු වෙමින් කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවී ගැටලු මධ්‍යස්ථව දකිමින් රට යහමඟට ගැනීම පිණිස අර්ථයෙන් ධර්මයෙන් අනුනාශසනා කළ විමලරතන අනුනාහිමියෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුගයක් ඒකාලෝක කළ සංඝ පීතෘවරයෙකි.

බෙල්ලන්විල දී 1942 අප්‍රේල් මස 14 දින මෙලොව එළිය දුටු උන්වහන්සේගේ ගිහි නම ඇල්බට් පෙරේරා විය. සය දෙනකුගෙන් යුත් පවුලේ සිවු වැන්නා ලෙස උපත ලද විමලරතන හිමියෝ එවකට බෙල්ලන්විල රජමහ විහාරාධිපතිව වැඩ විසූ බෙල්න්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුරුකොට ගනිමින් 1956 පෙබරවාරි මස 20වැනි දින පැවිදි දිවියට අතුළත් වූහ. තම සහෝදරයාණන් වූ බෙල්ලන්විල ධම්මරතන හිමි සෙවණේ පැවිදි දිවිය ගත කළ උන්වහන්සේ මොල්ලිගොඩ ශ්‍රී ප්‍රවචනානෝදය පිරිවෙනින් හා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් වැඩි දුර අධ්‍යාපනය ලැබූහ. වර්ෂ 1963 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උපාධිය ලැබ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ උන්වහන්සේ මහ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් 1977 වසරේ දී ආචර්ය උපාධිය හිමි කරගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කිථිකාචාර්ය ධුර මෙන්ම මහාචාර්ය පදවියද දරමින් වසර 22ක් සේවය කොට උන්වහන්සේ අපවත් වන විටද එම විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයේ කටයුතු කරමින් සිටියහ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි මහා සංඝ සභාවේ උත්තරීතර ලේකම් ධුරය වසර 25ක් දැරූ උන්වහන්සේ අපවත් වනවිට එම සංඝ සභාවේ අනුනායක ලෙස කටයුතු කළහ.

බෙල්ලන්විල රජමහ විහාරයේ විහාරාධිකාරි ධුරය හොබවමින් ප්‍රදේශයේ ජනතාවට පමණක් නොව ලක්වැසි සියලු ජනතාවට අනුපමේය සේවයක් කළ විමලරතන අනුනාහිමියෝ බෞද්ධ දර්ශනය පිළිබඳ පමණක් නොව තවත් බොහෝ දේ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබූ මහාචාර්ය හිමිනමකි. දැන උගත් භික්ෂු පරපුරක අවශ්‍යතාව රටට තදින් දැනෙමින් තිබෙන අවස්ථාවක බෙල්ලන්විල විමලරතන අනුනාහිමි වැනි උගත් හිමිනමක් අපවත්වීම සම්බුද්ධ ශාසනයට පමණක් නොව රටට සිදු වූ පාඩුවකි. සමාජ, දේශපාලනික හා සංස්කෘතික වෙනස් වීම් නිවැරැදිව ග්‍රහණය කර ගනිමින් යුක්තිය, සාධාරණත්වය, මනුෂ්‍යත්වය දිනවීම වෙනුවෙන් උන්වහන්සේ නිතර කැප වූ බවට උන්වහන්සේගේ පැවිදි දිවිය අධ්‍යයනය කිරීමේ දී මැනවින් පෙනීයන කරුණකි. බෞද්ධ දර්ශනයේ සැබෑ හරය හා ගැඹුර යටපත් කරමින් අවිද්‍යාවටත්, මෝහන්ධකාරයටත් ඇදී යන වර්තමාන සමාජය අර්ථ ධර්ම අනුශාසකත්වයෙන් නිවැරැදි මඟ පෙන්වීමට අනුනාහිමියෝ නිතර උත්සාහ කළහ. බෙල්ලන්විල රජ මහ විහාරස්ථානයේ වර්තමාන ප්‍රගතිය උදෙසා විශිෂ්ට කාර්යභාරයක් උන්වහන්සේ සිදුකළ බව අවිවාදිතය.

මෑත කාලීනව භික්ෂූන් වහන්සේ දේශපාලන අංශයට යොමු වීම බහුලව දක්නට ලැබිණි. මේ නිසා සත්‍යය හා සාධාරණත්වය වෙනුවට පක්ෂ මත වෙනුවෙන් පෙනී සිටීමට එම ස්වාමීන් වහන්සේලාට සිදුවිය. බෙල්ලන්විල විමලරතන හිමිපාණන් කිසිදු විටෙක ඒ ආකාරයෙන් දේශපාලන පක්ෂයක අනුගාමිකයකු නොවීය. මේ නිසාම රටේ ජාතික, ආගමික, ශාසනික ආදී ඕනෑම කාරණයක දී උජුපටිපන්න ගුණය ප්‍රදර්ශනය කරමින් ඍජුව නොබියව කතා කිරීමේ හැකියාව විමලරතන හිමියන්ට තිබිණි. තනතුරු නම්බු නාම ඉදිරියේ උන්වහන්සේ කිසිදු අවස්ථාවක හිස නොනැමූහ. පෞද්ගලික තමන්ට අවාසියක් සිදු වුවත් රටේ යහපත වෙනුවෙන් උන්වහන්සේ නිරතුරුව කටයුතු කළහ. මේ නිසාම බෞද්ධ ජනතාව අතර පමණක් නොව අන්‍යාගමිකයන් අතර පවා උන්වහන්සේ මහත් ගෞරව ප්‍රසාදයට පාත්‍ර වූහ. මල්වතු අස්ගිරි උභය මහ විහාරීය ශාසනික සම්ප්‍රදායන් පිළිබඳ මහත්සේ ඇගයීම් කළ උන්වහන්සේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කෙරෙහි පැවැතියේ අපමණ වූ ගෞරවාදරයකි. ජාතික සංඝ සභාව පිහිටුවීමේලා පුරෝගාමී මෙහෙවරක් කළ උන්වහන්සේ භාෂාව, කලාව හා සාහිත්‍යය වෙනුවෙන් සුවිශාල සේවාවක් කළහ. බෞද්ධ ග්‍රන්ථ රැසක් රචනා කළ උන්වහන්සේ බෞද්ධ දර්ශනය ජත්‍යන්තරය තුළ ප්‍රචලිත කිරීම උදෙසා අනුපමේය මෙහෙවරක් සිදු කළහ.

රටේ ඒකීය භාවය, ජාතික සමඟිය, බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි විය යුතු තැන ආදී කරුණු පිළිබඳ මෑත කාලීනව උන්වහන්සේ කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට ගැති නොවී අදහස් දැක් වූහ. ජනතාවට නිසි මඟ පෙන්වා දීම පිණිස මිස තමන්ට ලාබ ප්‍රයෝජනයක් ලබාගනු පිණිස දශක හයක පැවිදි දිවිය තුළ උන්වහන්සේ කිසිදු අවස්ථාවක කසාවත පාවිච්චි නොකළහ. මේ නිසාම උන්වහන්සේගේ වදන්වලට ශක්තියක් මෙන්ම බලයක් කාවැදී තිබිණි. එම බලය අයුතු ලෙස පාවිච්චියට ගැනීමට විමලරතන හිමියෝ කිසිදු අවස්ථාවක දේශපාලනඥයන්ට ඉඩ නොදුන්හ. විචිත්‍ර ධර්ම කථිකයකු ලෙස ප්‍රකට උන්වහන්සේ බෞද්ධ දර්ශනයේ අඩංගු ගැඹුරු ධර්ම කරුණු සාමාන්‍ය ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස සරලව දේශනා කිරීමට සමත් හිමිනමකි. විමලරතන අනුනාහිමි අපවත් වීමෙන් භික්ෂු සමාජය තුළ ඇති වූ රික්තය පිරිවීමට සෑහෙන කලක් යන තුරු නොහැකි වනු ඇත. උන්වහන්සේට අපි නිවන් සුව පතමු.

 අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ
නියෝජ්‍ය ලේඛකාධිකාරී,
අස්ගිරි පරිවෙණාධිපති, කාරක සංඝ සභික
නාරංපනාවේ ආනන්ද හිමි

********************

සසුනඹරේ සඳ පහන නිවී ගියේය

සසුනඹරේ පෑයූ සුපුන් සඳක් වූ මහාචාර්ය බෙල්ලන්විල නාහිමියන් වහන්සේ නොසිතූ මොහොතක අපවත් වීම සමස්ත ශ්‍රී ලාංකේය ජාතියටම සිදු වූ මහත් වූ පාඩුවකි.

මහා විසල් වනයක වනය පුරා සුවඳවත් කළ මහා වෘක්ෂයක් බදු වූ අපගේ කතානායකයාණන් වහන්සේගේ අපවත්වීම මුළු මහත් ‍ලෝකය පුරා විසිරී සිටින බෞද්ධ ඇතුළු සියලු ජාතියටම සිදු වූ මහත් පාඩුවකි.

බෙල්ලන්විල ග්‍රාමයේ උපත ලද අප නාහිමියන් උපාධි පශ්චාත් උපාධි මෙන්ම ආචාර්ය උපාධියන් විශිෂ්ට ලෙස සමත්ව කතිකාචාර්යවරයකු ආරාධිත කතිකාචාර්යවරයකු ලෙස වසර 2006 වන තෙක් කටයුතු කර ඉන් අනතුරුව මේ වන තෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් රටට ජාතියට අනුපමේය මෙහෙවරක් සිදු කළහ.

අපේ නායක ස්වාමීන් වහන්සේ තුළ පිහිටි සුවිශේෂීත්වය වන්නේ උන්වහන්සේ සිදු කළ ශාසනික ආගමික මෙන්ම ජාතික මෙහෙවරයන් සියල්ල නිහඬවම සිදු කිරීමය.

ධර්ම ශාස්ත්‍රීය මෙන්ම ආගමික අධ්‍යාපනික සාමාජයීය මෙහෙවරක් ඉටු කළ අපේ නාහිමියන් වහන්සේ බෙල්ලන්විල ග්‍රාමයේ උපත ලද නාහිමියන් වහන්සේ නමක් ලෙස එම ප්‍රදේශයේ මෙන්ම ලෝකවාසී බෞද්ධයන් අතර බෞද්ධ ප්‍රබෝධය ඇති කරලමින් සෘජු පටිපන්න ගුණයෙන් යුක්තව කටයුතු කළ අතර, මුළු මහත් සංඝරත්නයටම ගෞරවයක් එක් කළහ. උන්වහන්සේ මහා සංඝරත්නයේ මෙන්ම ‍ශ්‍රී ලාංකේය ජාතීන්ගේ ද මහත් වූ ගෞරව ආදරයට පාත්‍ර වූහ.

අපේ නාහිමියන් වහන්සේ කිසිවිටකත් ආගම් වාදී ජාති වාදී නොවූ අතර, දේශපාලන පක්ෂවාදියෙක් නොවී කටයුතු කිරීමත් රට ජාතියට සිදුවන අකටයුතුකම් ආසාධාරණයන් ඉදිරියේ නිර්භයව කතා කිරීමත් නැ‍ඟී සිටීමත් උන්වහන්සේ කාගෙත් ගෞරවයට පාත්‍රවීමට හේතුවක් වූවා.

රටේ සිදුවන දේශපාලන කටයුතු දෙස නිරන්තරයෙන් බලා සිටි උන්වහන්සේ කිසිදු දේශපාලනඥයකුගේ අතකොලුවක් නොවීමටත් කිව යුතු කාරණය නොබියව කිව යුතු වූ අයගේ තනතුර නොබලා ප්‍රකාශ කිරීම ද උන්වහන්සේගේ චරිතය තුළින් දැක ගත හැකි සුවිශේෂී ලක්ෂණයක් විය.

එමෙන්ම උන්වහන්සේ සංඝ සමාජයට අතිමහත් වූ සේවාවක් සිදු කළ අතර, සංඝ සමාජයේ දක්නට නොලැබෙන විරල චරිතයක් මෙන්ම වීර චරිතයක් බව ද කිව හැකි වන අතර, අප නාහිමියෝ නිරන්තරයෙන් ගුරු භක්තිය ඉහළින්ම තබා ගත්හ.

බෙල්ලන්විල ග්‍රාමයේ මෙන්ම විවිධ ප්‍රදේශවල දරු දැරියන්ට පරිගණක, ඉංග්‍රීසි මෙන්ම ජපන් භාෂාව ඇතුළු විදෙස් භාෂා කාර්මික පුහුණු ඇතුළු විශේෂ අධ්‍යාපනික වැඩසටහන් රාශියක් සවස් කාලයේ මෙන්ම ‍සති අන්තයේ පවත්වමින් දැයේ දරුවනට සිප් සතර දීමටත් ඉරු දිනයේ දහම් පාසල සිංහල භාෂාවෙන් උදේ වරුවේ මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් සවස් වරුවේ ඉගැන්වීම් සිදු කිරීමටත් කටයුතු කළේය.

අපේ නාහිමියන් වහන්සේ වාර්ෂිකව බෙල්ලන්විල රජ මහා විහාරයේ ඇසළ පෙරහැර පවත්වමින් එය ජාතික පෙරහැරක් බවට පත් කරමින් දෙස් විදෙස් නරඹන්නන් විශාල පිරිසක් සඳහා පෙරහැර උත්කර්ෂවත්ව පවත්වමින් සිදු කළ සේවාව දෙස් විදෙස් බොහෝ දෙනාගේ පැසසුමට ගෞරවයට පාත්‍ර විය.

දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සෑම වසරකම තම තුරු හිමියන් සිහිපත්කොට ගෙන පින්කම් රැසක් සිදු කිරීමත් එම විහාරස්ථාන නඟා සිටුවීමට මහත් පරිශ්‍රමයක් දරමින් කටයුතු කිරීමත් උනවහන්සේ සිදු කළ සේවාවන් අතරින් එකක් වන අතර, විහාරස්ථානයේ සෑම මාස දෙකකට වරක් බෙල්ලන්විල විහාරස්ථානයට හිතවත් වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහභාගි කොටගෙන වෛද්‍ය සායන පවත්වමින් වැඩිහිටි මෙන්ම ගිලන් වූ දායක දායිකාවන්ට ප්‍රතිකාර ලබා දෙමින් ඔවුන්ට සෙත සැලසූහ.

ශ්‍රී ලංකාවට පමණක් පොදූ වූ වස්තුවක් නොවූ අප නාහිමියන් වහන්සේ ජාත්‍යන්තර ආගමික ජාතික සාසනික කටයුතුවල දී සිදු කළ සුවිශේෂී සේවයත් අගය කළ යුතුම වන අතර, සසුනට හා ජාතියට ව්‍යසනයන් සිදු වූ සෑම අවස්ථාවකම පෙරට එමින් සිදු කළ සේවාව ප්‍රශංසනීය වෙයි.

ප්‍රවීණ ග්‍රන්ථ රචනා කරමින් සරලව බුදු දහම දැයට තිළිණ කරන්නට උන්වහන්සේ මහත්සේ තම කාලය මිඩංගු කළ අතර, උනවහන්සේ සිදු කළ අමිල සේවය මහා සංඝරත්නය වන අපගේ සිත්වල සදා කාලිකව රැඳී ඇත.

දහම් පිපාසයෙන් පෙළෙන මේ රටේ බෞද්ධ ජනතාවට ඉතා සරල හා සුමට භාෂාවෙන් ග්‍රන්ථ රැසක් ලියමින් උන්වහන්සේ අවිවේකී මධ්‍යයේ වුවද ග්‍රන්ථ රැසක් සම්පාදනය කළහ.

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන උසස් අධ්‍යාපනය ලබන පිරිවෙන් අධ්‍යපනය ලබන මහා සංඝරත්නයට තම දැනුම් බෙදා දුන්නේ නිර්ලෝභීවය.

බෙල්ලන්විල නාමය ලෝතලය පුරා පතුරුවන්නට දේශ දේශාන්තරවල ආදරය ලබන්නට උන්වහන්සේගේ උගත්කම බුද්ධිමත්කම නිහතමානීකම සෘජු පටිපන්නකම මෙන්ම ස්වාධීන භාවයෙන් යුත් සංඝපීතෘවරයාණන් කෙනෙක් වීම මහත්සේ ඉවහල් විය.

සසුනඹර දිලෙන මිණි පහනක් වූ අපේ නාහිමියන්ට අමා මහ නිවන් සුවය අත්වේවා කියා ප්‍රාර්ථනා කරමු.   

එෆ් ආර් සේනානායකරාමාධිපති
තෙල්වත්තේ නන්දතිස්ස හිමි

සටහන- අසේල කුරුළුවංශ
ඡායාරූප-බන්දුල අලහකෝන් සෙනෙවිරත්න කහටපිටිය 

අදහස් 1ක් ඇත

පිරිමැසිය නොහැකි බරපතල පාඩුවක් ශ්‍රී ලංකාවේ ජාතික ආගමික අධ්‍යාපන ශාස්ත්‍රීය හා සංස්කෘතික යන විසිවන සියවසෙහි ශ්‍රී ලාංකික ථෙරවාද භික්ෂුවරයෙකුට නියෝජනය කළ හැකි සියළුම පරාසයන්හි අතිශය අභිමානයෙන් සදා අනුස්මරණය කළ යුතු සුවිශේෂි සේවාවක් සිදුකර වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අනපේක්ෂිත අපවත් වීම සමස්ථ ජාතියටමත්, සම්බුද්ධ සාසනයටත් කිසිසේත්ම පිරිමැසිය නොහැකි බරපතල පාඩුවක් බව ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ සඳහන් කරති.

නව අදහස දක්වන්න