නිදහසට අරුතක් එක් කළ එක්සත් ජාතික පක්ෂය | දිනමිණ

නිදහසට අරුතක් එක් කළ එක්සත් ජාතික පක්ෂය

 

‘වසර 200කට අධික යටත් විජිත පාලනයකින් අප මිදුනෙමු. මා විශ්වාස කරන්නේ ඒ දිනයට වඩා වැදගත් වන තවත් දිනයක් ඇත්නම් ඒ ශ්‍රී ලංකාවට බුදු දහම පැමිණි දිනයයි. මෙතෙක් කල් අපට අපගේ ප්‍රශ්න කියන්නට අප ගැන බලා ගැනීමට පාලකයෙක් සිටියේය. නමුත් අදින් පසු අපි අප ගැන බලාගත යුතුය.’ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා නිදහස දිනාගැනීමෙන් පසු ජාතිය අමතා කළ ප්‍රකාශයේ එසේ සඳහන් විය. එසේම එම ප්‍රකාශයේ ඩී. එස්. සේනානායක මැතිතුමා තව දුරටත් පෙන්වා දෙන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ අප වැඩ කටයුතු කළ යුතු ආකාරයයි. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, බෞද්ධ වේවා, හින්දු වේවා, ඉස්ලාම් වේවා, ක්‍රිස්තියානි වේවා අප අදින් පසු ක්‍රියා කළ යුත්තේ ශ්‍රී ලාංකේය පුරවැසියකු බිහිකර ගැනීම සඳහායි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය සහ දැක්ම පසක් වන්නේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ මේ ප්‍රකාශය පදනම ලෙස තබා ගනිමින්ය. එක්සත් ජාතික පක්ෂය පිහිට වූ අවස්ථාවේ ප්‍රකාශයට පත්කළ පක්ෂ ව්‍යවස්ථාව තුළ ද පැහැදිලිව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය වාර්ගිකත්වය හෝ ආගමික පසුබිම මත සිය සාමාජිකත්වය කටයුතු නොකරන බවය. එසේ නොකළ යුතු බවයි. එවැනි දැක්මක්, මඟපෙන්වීමක් පක්ෂයට ලැබීම තුළද පැහැදිලි මඟපෙන්වීමක් තිබේ. ලංකා ජාතික සංගමය සමඟ එක්වූ ශ්‍රී ලංකාවේ එවකට ක්‍රියාත්මක වෙමින් තිබූ විවිධ වාර්ගික කොටස් නිර්මාණය කරගත් සංගම්, පක්ෂ, සංවිධාන සියල්ලේ අපේක්ෂාව වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීමය.

නිදහස දිනා ගැනීමට තිබූ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වූයේ බෙදී වෙන්ව කටයුතු කරන සියලු සංගම් සංවිධානවල එකමුතුකමයි. එවැනි එකමුතුවක් තුළින් නිදහස දිනා ගැනීමට ශක්තියක් මෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයට ප්‍රතික්ෂේප කළ නොහැකි බලපෑමක් සිදු කළ හැකි බව එකළ ජනනායකයෝ විශ්වාස කළෝය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට නිදහස උදාකර ගැනීමටත්, නිදහසින් පසු පිහිටුවන පාලන තන්ත්‍රයට උචිත දේශපාලන ව්‍යුහය ගොඩනැඟීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ඓක්‍ය දේශය කච්චි, United National Party බිහිවිය.

සුදු පාලකයන් අපේක්ෂා කළේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව වෙන් වෙන්ව නිදහස සඳහා අරගලයක නිරතවනු ඇති බවය. එය දඩමීමා කරගනිමින් නිදහස ලබාදීම ප්‍රමාද කිරීමට හෝ ඉන්දියාවට ලබාගෙන නිදහස සේ බෙදා වෙන්කළ නිදහසක් අත්පත් කර දීමටය. එය නිෂ්ප්‍රභා වූයේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, පොන්නම්බලම් රාමනාදන් සහ ටී. බී. ජයා වැනි නායකයන් දූරදර්ශීව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාම පටු වාර්ගික සිතුවිල්ලෙන් බැහැරවී අප ශ්‍රී ලාංකිකයන් යන සිතුවිල්ල අනුව ක්‍රියා කරමින් නිදහස දිනා ගැනීමට කටයුතු කළ නිසාය.

මේ පසුබිම මත බිහි වූ එක්සත් ජාතික පක්ෂයට වාර්ගික හෝ ආගමික පදනමකින් සිය දේශපාලනය ක්‍රියාවට නැංවීමේ හැකියාවක් නොවීය. එක්සත් ජාතික පක්ෂය සිය පාලන සමයන් තුළ ක්‍රියාත්මක කළ සියලු ආර්ථික, සමාජීය හා දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවූයේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා සිය අභිප්‍රාය ලෙස සඳහන් කළ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගොඩනැංවීමටය. දෙවනුව නිදහසෙන් අප උරුම කරගත් අප විසින්ම අප නැඟී සිටිය යුතු බවට පළ කළ අදහස් සාක්ෂාත් කරගැනීම සඳහායි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් එය වචනයට පමණක් සීමා නොකොට ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට පියවර රැසක් ගත් බව 70 වසරක නිදහස ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළින් කරුණු සොයා බලන විට පෙනෙයි. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා ක්‍රියාත්මක කළ ගොවි ජනපද ව්‍යාපාරය තුළ ගල්ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය තුළ අප දකින්නේ නිදහස අර්ථවත් කිරීමට ගත් ප්‍රයත්නයයි. ගරාවැටුණු නටබුන් වූ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරමින් මහ කැලෑ එළිපෙහෙළි කරමින් ඉතිහාසය අපට හිමිකර දුන් වාරි සංස්කෘතියේ පුනර්ජීවනය ඩී. එස්. සේනානායක මැතිතුමාගෙන් පසුව ඉදිරියට රැගෙන යාමට ඩඩ්ලි සේනානායක මැතිතුමා ද පියවර ගනු ලැබීය.

නිදහසේ සැබෑ අර්ථය ජනතාවගේ ජීවන වියදම් රටාව ආර්ථිකය තුළින් සවිමත් කිරීමය. යුරෝපයේ කාර්මික විප්ලවයෙන් පසුව ලොව පුරා ආර්ථිකය තීරණය කරන සාධකයක් ලෙස පැතිර ගියේ කර්මාන්තකරණයයි. මෙය මැනවින් හඳුනා ගනිමින් කර්මාන්තකරණය සඳහා වූ ප්‍රධාන සාධකය වන බලශක්තිය උත්පාදනය කිරීම සඳහා ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල මැතිතුමා ලක්ෂපාන ජල විදුලි බලාගාරය ආරම්භ කළේ කෘෂි ආර්ථිකයෙන් පමණක් ඉදිරියට යා නොහැකි බව මැනවින් තේරුම් ගත් නිසාය. සර් ජෝන් කොතලාවල මැතිතුමා විසින් කාර්මිකකරණයේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස කන්කසන්තුරයේ ආරම්භ කළ සිමෙන්ති කම්හල උතුරේ ජන ජීවිතය වැඩි දියුණු කළා පමණක් නොව ඒ තුළ නිහඬව කියා පෑ අර්ථය වූයේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සංවර්ධනය කළ යුතුවාක් මෙන්ම සියලු ජනකොටස් සඳහා වූ වගකීමය. මෙවැනි නිහඬ පණිවුඩ තුළින් කියවෙන ගැඹුර මැන බැලීම වර්තමානයේ දී ඉතා වැදගත් වේ.

එක්සත් ජාතික පක්ෂය යනු වෙනස්වන ලෝකය මැනවින් අවබෝධ කර ගන්නා පක්ෂයකි. අන් සියලු දෙනාට පෙර එම වෙනස්කම් ශ්‍රී ලාංකික ජන ජීවිතයට බද්ධ කිරීමට ප්‍රයත්න දරන නායකත්ව භූමිකාවන් හිමිකරගත් පක්ෂයකි. ලෝකය ඉදිරියට ගමන් කරද් දී ලෝකයේ සිදුවන වෙනස්කම් නිවැරැදිව හඳුනා‍ නොගන්නේ නම් එය රටේ නිදහසට එල්ල කරනුයේ දැඩි බලපෑමක්ය. එවැනි බලපෑම් රටක තරුණ අසහනය මෝදු කරමින් සිවිල් යුද්ධ පවා ඇති කිරීමට සමත් වී තිබේ. පටු දේශපාලන අරමුණු සඳහා ගනු ලබන දේශපාලන තීන්දු තීරණ තුළින් රටක අනාගතය බොහෝ දුරට වෙනස් විය හැක. භාෂාව, ආගම, වර්ගය පදනම් කරගනිමින් ගනු ලබන දේශපාලන තීන්දු තීරණ මඟින් සිංගප්පූරුවට නිදර්ශනයක් විය හැකි යැයි ලී ක්වාන් යූ ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවට අත්පත් වූ ඉරණම නිර්මාණය වූ පසුබිම විචාරයෙන් විමසන විට පැහැදිලි වන්නේ නිදහස ලබාගත් පසු මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා කළ ප්‍රකාශයේ පරස්පරය දේශපාලනයට ප්‍රවිශ්ට වී සිදුකළ විනාශයයි. නිරවි යුද්ධයෙන් පසුව ලෝකය වෙනස් වන අයුරු මුලින්ම ග්‍රහණය කළ ගත් දකුණු ආසියාවේ රට ශ්‍රී ලංකාවයි. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ පාලන සමය තුළය. නිදහස් වෙළෙඳ කලාප, ඇඟලුම් කර්මාන්තශාලා ආදී සරල වචනවලින් අප හඳුනාගත් විවෘත ආර්ථික පිළිවෙත ශ්‍රී ලංකාවේ ජන ජීවිතය වෙනස් කළ අයුරු ගැඹුරින් විමසා බැලිය යුතුය.

තහංචි, වැටකඩොලු බිඳ දමමින් නිදහසේ ලෝකය සමඟ ගනුදෙනු කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවකාශය ලැබුණේ ජේ. ආර්. ජයවර්ධන යුගය තුළ සිදු වූ පරිවර්තනය සමඟය. එය නව තාක්ෂණය නවීන සිතුම් පැතුම් සමඟ කොදෙව් දූපත් මානසිකත්වයෙන් අප පලවා හැර නිදහස රටට අත්කර දුන්නේය. එම නිදහස උදාකළේ විදෙස් ගමනට වැට කඩොලු බැඳි විනිමය බාධක, කෙනකුට තම අභිලාශය පරිදි අධ්‍යාපනය ලබා ගැනීමට සිදුව තිබූ බාධක, තමන් කැමති විටක, තමන් කැමති රටකට යෑමට තිබූ බාධක සහ රටේ සාමාන්‍ය ජන ජීවිතය සඳහා පනවා තිබූ සීමාකාරී ආර්ථික බාධක ආදිය තුරන් කිරීමයි.

රටක අගනුවර පහසුව තමාට නොලැබෙන්නේ නම් නිදහස යනු හුදෙක් වචනයට සීමා වූ දෙයක් පමණක් වේ. කොළඹට කිරි ගමට කැකිරි වැනි සටන් පාඨ තුළින් අප දුටුවේ එයයි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පාලන කාලය තුළ උත්සාහ දැරුවේ ජාත්‍යන්තරය තුළින් අප ලබාගත් ආර්ථික නිදහස ගමට රැගෙන යාමටය. සමාජ සුබසාධන කටයුතු තුළින් ග්‍රාමීය හා නාගරික ජනතාවගේ ජීවිත සවිමත් කොට නිදහසේ සැබෑ ප්‍රතිලාභ රටපුරා ව්‍යාප්ත කරලීමය. ගම් උදාව, ජනසවිය, ඇඟලුම් කම්හල් 200 වැනි වැඩපිළිවෙළ තුළ අප දකින්නේ එයයි.

අන්තවාදය සහ පටු දේශපාලනඥයන් විසින් ගිනි තැබූ යුගයක් නිර්මාණය වූයේ ද මෑත කාලීන ඉතිහාසය තුළය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගිනි තැබූ රට උතුර දකුණ දෙකොණ ඇවිලෙන විලක්කුවක් ලෙස එළිදැක්වූයේ අප නිදහස ලබාගැනීමේ දී ශක්තියක් වූ වාර්ගික සංහිඳියාව ද විනාශ කරමිනි. එසේ වුවද වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය අභියෝග මධ්‍යයේ සිය පක්ෂයේ නායකයන් ජීවිත පූජා කරමින් ක්‍රියාවට නැංවූ පළාත් සභා ක්‍රමය රටේ ජාතික සංහිඳියාව වර්ධනය කිරීමේ මාර්ගයක් ලෙස දිස්වන්නේ නිදහස දිනා ගැනීමේ දී එක්සත් ජාතික පක්ෂය මඟ පෙන් වූ දැක්මෙන් හා දර්ශනයෙන් ඉවත් නොවූ බව යළිත් පසක් කරලමිනි.

සියලු ජනකොටස්වල සමගිය සර්ව ආගමික සමගිය යනු ශ්‍රී ලංකාවේ සැබෑ නිදහසය. පටු දේශපාලන නායකයන්ගේ ප්‍රකාශ තුළින් ගිනිකොණ දැවෙන්නේ ද එම නිදහසයි. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පුරෝගාමීන්ගේ අත්දැකීම් මැනවින් හඳුනා ගනිමින් වර්තමානය තුළ දේශපාලන, ආර්ථික හා සමාජීය ප්‍රවර්ධනය සිදුකිරීමට උත්සාහ දරනුයේ ද නිදහස ලබාගත් දිනයේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා කළ ප්‍රකාශයට අනුගත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමටය. එය ශ්‍රී ලංකාවේ අනාගතය දූ දරුවන්ට දායාද කරදීමටය. ඒ සඳහා වෙනස්වන ලෝකය හඳුනාගත යුතුය. ඒ අනුව වෙනස් විය යුතුය. වෙනස රටට උචිත අයුරින් කළ යුතුය. එවැනි වෙනස මඟින් රටේ ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කළ යුතුය. ‘70 වසරක නිදහස් ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය යනු රට වෙනුවෙන් වෙනස් වූ සම්ප්‍රදායන් සුරකිමින්, එයට ගරු කරමින් නව මං තැනූ නිදහස් මතධාරී පක්ෂයකි. එම නිදහස් මත ශ්‍රී ලංකාවට තව බොහෝ කල් ශක්තියක් වනු නො අනුමානය.

 

හිටපු ඇමැති
ඉමිතියාස් බාකිර් මාකාර්


නව අදහස දක්වන්න