උදයංග ඩුබායි ගුවන්තොටු‍පොළේ දී ලෝක පොලිසියට කොටුවෙයි | දිනමිණ

උදයංග ඩුබායි ගුවන්තොටු‍පොළේ දී ලෝක පොලිසියට කොටුවෙයි

ඉතිහාසයේ මෙරට සිදුවූ විශාලතම මූල්‍ය වංචාවක් වූ මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන වංචාකරු ලෙස සැලකෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඊයේ (04) අලුයම ඩුබායි ගුවන්තොටුපොළේදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ‍ගෙන තිබේ.

මොහු ශ්‍රී ලංකාවට ගෙන ඒම සදහා නියෝගයක් ලබා ගැනීමට නියමිත බව විදේශ තානාපති සහ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රට රටවල්වලට පැන යමින් සැඟවී සිටි උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපොළ හරහා ‍ඊයේ අමෙරිකාව බලා යාමට සූදානම්ව සිටියදී මෙසේ අත්අඩංගුවට පත්වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු අමෙරිකාවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට නියමිතව සිටි බවද වාර්තා වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට උදයංග වීරතුංග මහතාට මිග් යානා ගනුදෙනුව හා සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පැවැත්වෙන පරීක්ෂණවලට අදාළව එහි ප්‍රධාන සැකකරුවකුද වශයෙන් කොටුව මහේස්ත්‍රාත් හමුවේ පවරා ඇති නඩුවට අදාළව ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබුණු අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ද මිග් යානා ගනුදෙනු පිළිබඳ සැකකරුවෙක් වෙයි.

එම වරෙන්තු මේ වනවිට තුන් වතාවක් පමණ අලුත් කරමින් මීට සති දෙකකට පෙරදී වරෙන්තු නිකුත් කෙරිණි.

ඒ අනුව උදයංග වීරතුංග මහතා ඊයේ ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර වරෙන්තු මත වෙයි.

උදයංග වීරතුංග මහතා රුසියාවේ ශ්‍රී ලංකා‍ තානාපති වශයෙන් මෙන්ම මෙරට ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රුපියල් කෝටි සිය ගණනක අතිවිශාල මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

හිටපු මාධ්‍යවේදී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූයේද මෙම ගනුදෙනුව පිළිබඳව කරුණු වාර්තා කිරීමට සූදානම්ව සිටියදී වෙයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් මීට වසර දෙකකට පමණ පෙර ආරම්භ කරන ලද මෙම පරීක්ෂණ ආරම්භයේදීම උදයංග වීරතුංග මහතා මෙරටින් පලා ගොස් තිබිණි.

ඔහුගෙන් මේ සම්බන්ධව ප්‍රකාශ ලබාගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය කිහිපවරක්ම අධිකරණ උපදෙස් මත දැනුම්දීම කර තිබුණත් ඔහු ඉන් මගහැර සිටියේය.

මෙම මිග් යානා ගනුදෙනුවේදී මෙරටට යුක්රේනයෙන් හෝ වෙනත් රටකින් මිග් යානා මිලදී ගත් බවට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඒවා උදයංග වීරතුංග මහතාගේ පෞද්ගලික ස්ථානයකදී අත්සන් කර රුපියල් කෝටි ගාණක එම මුල්‍ය වංචාව සිදුකර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය විණි.

එම ගනුදෙනුවට අදාළ විදෙස් රටවල බැංකු හා සිදුවී ඇති ගනුදෙනු පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරි කණ්ඩායම් අවස්ථා කිහිපයකදීම විදේශගත වී තිබිණි. එහිදී එම ගනුදෙනුවට අදාළ රහසිගත තොරතුරු රැසක්ද අනාවරණය කරගෙන තිබිණි.

උදයංග වීරතුංග මහතා සහ තවත් කිහිපදෙනකු එක්ව සිදුකර තිබූ එම දැවැන්ත මූල්‍ය වංචාවේ ගනුදෙනුවට අදාළ ලිපිගොනුද වංචාකාරී ලෙස සකස් කළ ඒවා බව හෙළිවී තිබිණි. ඒ අතර උදයංග වීරතුංග මහතා සතු දේපළ පිළිබඳ කළ පරීක්ෂාවේදී ඔහු සතුව අති විශාල වත්කමක් ඇති බවද සොයාගෙන තිබිණි. ඒ අනුව මේ වනවිටත් ඊට අදාළ පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර ඔහුට අයත් ගම්පහ පිහිටි තවත් විශාල දේපළක්ද පරීක්ෂාවට ලක්විය. එහිදී මීට වසර කිහිපයකට පෙර ඝාතනයට ලක්වූ බියගම විලේජ් හිමිකරු හා සම්බන්ධ වටිනා ඉඩමක්ද උදයංග වීරතුංග මහතා විසින් මිලදී ගෙන ඇති බව හොයාගෙන තිබේ.

මිග් යානා ගනුදෙනුව ජාත්‍යන්තරය හා සම්බන්ධව සිදුකෙරෙන නීත්‍යානුකූල ගනුදෙනුවක් බවට ආරක්ෂක අමාත්‍යාංශ අවසරයද ඇතිව සිදුකර එම ගනුදෙනුව කෝටි ගණනක වංචාව සිදුකර තිබිණි.

එම ගනුදෙනුවේ අති දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධව කරුණු හෙළිකරගත් හිටපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා එම ගනුදෙනුවට අදාළ සියලු තොරතුරු අනාවරණය කරගෙන සන්ඩේ ලීඩර් පුවත්පතින් එම තොරතුරු අනාවරණය කිරීමට සූදානම්ව සිටියේය.

ඔහු ඝාතනය වූ නිසා එම ගනුදෙනුව පිළිබඳ තොරතුරු හෙළිකිරීමට නොහැකි විය.

උදයංග වීරතුංග මහතා ඊයේ උදේ ඩුබායි ගුවන්තොටුපොළේ සිටියදී ඔහු පිළිබඳ සැක කර ඇති ජාත්‍යන්තර පොලිසිය සහ බුද්ධි අංශ ඔහුගෙන් ප්‍රශ්න කර පසුව අත්අඩංගුවට ගෙන තිබුණි.

දැනට ඔහු එරට පොලිස් අත්අඩංගුවෙහි පසුවන අතර මෙරටින් කණ්ඩායමක් එරටට ගොස් හෝ නැ‍තහොත් එරට පොලිසිය සමඟ මෙරටට ගෙනඒමට නියමිත බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

නව අදහස දක්වන්න