දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව සලසාගැනීමයි | දිනමිණ

දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව සලසාගැනීමයි

ජයසිරි මුණසිංහ

නිදහස් සමරුවේ දී ජනපති කියයි

දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව සලසාගැනීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

රටේ සංවර්ධනය හා අනාගත අභිවෘද්ධිය ළඟාකර ගැනීමේදී දූෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක්‍රියාත්මක කිරීම ජාතියේ ප්‍රගමනයේ ආත්මාරක්ෂාව ලෙස තමා දකින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් මහෝත්සවය ඊයේ (04) උදේ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති අවස්ථාවේදී ජාතිය අමතා අදහස් දක්වමිනි.

සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

සෞභාග්‍යයේ නිදහස අත්පත් කරගැනීම සඳහා අපේ මව්බිම පෙළගැසී සිටින මේ මොහොතේ එම නිදහසට එරෙහි දූෂණය, අල්ලස, ‍ හොරකම සහ නාස්තිය පිටුදැකීමට කැපවිය යුතුයි.

සෑම දේශපාලනඥයකුම තමාගේ වගකීම් ඉටුකිරීමේදී ක්‍රියාවෙන්ම එම ආදර්ශය ලබාදීම අත්‍යාවශ්‍ය යුග මෙහෙවරකි.

නිදහස ලබා වසර හැත්තෑවක් තුළ අප ලබා ඇති අත්දැකීම් ඇසුරින් රටේ සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගැනීමේ වැදගත්කම හුවා දැක්වූ ජනාධිපතිතුමා සංවර්ධනයේදී පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම මඟින් රටට අයහපත් ප්‍රතිඵල අත්වී තිබෙන බව ද පෙන්වා දුන්නේය.

දේශප්‍රේමීත්වය යන්න විවිධ යුගවලදී විවිධාකාරයෙන් අර්ථගැන්වී ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා වර්තමානයේදී සැබෑ දේශප්‍රේමීත්වය යනු මූල්‍ය විනයක් සහිතව කටයුතු කිරීම බවද කියා සිටියේය. ඒ සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආර්ථික සමෘද්ධිය සහ සෞභාග්‍යය අත්පත් කරගැනීම සෑම පුරවැසියකුගේම අභිලාෂය බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා රාජ්‍ය තන්ත්‍රය තුළ ප්‍රතිසංස්කරණ විශාල වශයෙන් අවශ්‍ය වන බවත්, ඒවා සාර්ථක කරගැනීම සඳහා සමස්ත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය අත්වැල් බැඳගත යුතු බවත් පැවැසීය.

සැබෑ නිදහස අර්ථවත්වීමට නම් පුද්ගලයාගේ පමණක් නොව ස්වභාවධර්මයේ ද නිදහස ආරක්ෂා කරමින් පරිසරය සහ පුද්ගලයා අතර මනා සමතුලිතතාවක් ගොඩනඟාගත යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නව අදහස දක්වන්න