දශක හතකට පසුව සංවේගයෙනි | දිනමිණ

දශක හතකට පසුව සංවේගයෙනි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මල්ලිකා පින්නවල

හැත්තෑ වන නිදහස් දිනය අපි අභිමානවත් ලෙස සැමරුවෙමු. එළිසබෙත් මහ රැජිණගේ තෙවන පුත් එඩ්වඩ් කුමරු හා එම ආර්යාව මෙවර ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙරටට පැමිණියේ ශ්‍රී ලංකා රජයේ ආරධානවකට අනුවය.

ශ්‍රී ලංකා ද්වීපයම ඉංග්‍රීසි පාලනයට නතු කරමින් ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් තැබුණු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමළුව පසු කරමින් එඩ්වඩ් කුමරු දළදා මැඳුරට ප්‍රවිශ්ඨ වූයේ පළාතේ දේශපාලනාධිකාරියද සමඟය. රටේ නිදහස උදෙසා වීර මොණරවිල කැප්පෙටිපොළ විරුවා ඇතුළු සිංහලයේ රණ විරුවන් බ්‍රිතාන්‍යය පාලකයන්ට එරෙහිව සටනක් දියත් කළේ 1818 වසරේදීය. ප්‍රථම නිදහස් අරගලය පරාජය වීමෙන් පසු ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් කැප්පෙටිපොළ විරුවාගේ හිස තැන්පත් කර තිබෙන්නේ එඩ්වඩ් කුමරු ගමන් ගත් මහමළුවේය. එම ගමන අතර තුර මදක් නැවතී කැප්පෙටිපොළ ස්මාරකය දැක බලාගන්නට කුමරු අමතක නොකළේය.

අප හැත්තෑවන නිදහස් දිනය සැමරුවේ ඉංග්‍රීසීන්ට එරෙහිව ප්‍රථම නිදහස් සටන දියත් කර වසර 200 ක් සපිරෙන අවස්ථාවක වීමත් ඊට මහ බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් එඩ්වඩ් කුමරු සහභාගී වීමත් සුවිශේෂී සිද්ධියකි. ඉංග්‍රීසි පාලනයට එරෙහිව සටන් වඳිමින් නිදහස් සටනට පණ දුන් විරුවන් රාජ ද්‍රෝහීන් ලෙස ඉංග්‍රීසි පාලකයන් විසින් නම් කරනු ලැබීය. වත්මන් රජය බලයට පත්ව එම ඓතිහාසික වරද නිවැරදි කරමින් කැප්පෙටිපොළ ඇතුළු විරුවන් 89 දෙනකු දේශප්‍රේමීන් ලෙස නම් කරනු ලැබ ඇති අවස්ථාවක මෙවර නිදහස් දින උත්සවය සැමරීම තවත් විශේෂත්වයකි. මෙම කරුණු සියල්ල කැටි කරගත් කල අපි තවමත් සැබෑ නිදහසක් බුක්ති විඳින්නේද යන ප්‍රශ්නය අප අපෙන්ම ඇසිය යුතුව තිබේ.

නිදහස් සටන්

දේශයේ නිදහස උදෙසා 1818 දී ඌව වෙල්ලස්ස සටනත් 1848 දී මාතලේ සටනත් දියත් කිරීමෙන් පසු සටන් මඟ අත් හළ ශ්‍රී ලංකිකයෝ දේශපාලනික ක්‍රියාවලියක් ඔස්සේ නිදහස දිනා ගැනීමට වැඩි වෙහෙසක් ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරී මස 04 දින අපට නිදහස පිරිනැමීමට බ්‍රිතාන්‍යය මහ රැජිණ තීරණය කළාය. එතැන් පටන් ගෙවුණු හැත්තෑ වසර තුළ සිදු වූ ක්‍රියාවලීන් පිළිබඳ විමසා බැලීමේදී සතුටුවීමට ඇති අවස්ථාවන්ට වඩා ඇත්තේ කණගාටුවීමට ඇති අවස්ථා බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.

ඩී. එස්. සේනානායක ප්‍රමුඛ කණ්ඩායම ඉංග්‍රීසි පාලකයන්ගේ හොඳ හිත දිනා ගනිමින් ක්‍රියාත්මක කළ දේශපාලනය ඔස්සේ රටට නිදහස ලබා ගැනීමට මඟ පෑදුණ ද එය සමාජයේ සියලු කණ්ඩායම්වලට හිමි වූ නිදහසක් නොවීය. ඉහළ ධනවත් ඉංග්‍රීසි කතා කරන සමාජය නියෝජනය කළ සිංහලයන්ට එම නිදහස ඇඟට දැනෙන එකක් වුවද පහළ පන්තියේ පිරිස්වලට එමඟින් දැනුණු ආස්වාදයක් නැත. එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ බණ්ඩාරනායක මහතා සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහ බලවේගය ඒකාරාශී කර, රටේ බලය ඇල්ලීම තුළින් පැහැදිලි වන්නේ එතෙක් ඔවුන්ට ඉදිරියට ඒමට අවකාශයක් නොතිබූ බවයි.

බ්‍රිතාන්‍යයෙන් මිදීම

බ්‍රිතාන්‍යය පාලනයෙන් මිදුණු අපට හිමි වූයේ දේශපාලනික නිදහසය. දේශපාලනික නිදහස තිබූ පමණින් ජනතාව නිදහස බුක්ති විඳින බවක් කිව නොහැකිය. අදහස් ප්‍රකාශ කිරීමට, රටේ ඕනෑම තැනක ගමන් කිරීමට, ඕනෑම ආගමක් ඇදහීමට නිදහස තිබිය යුතුය. ආර්ථික නිදහස, මාධ්‍යය නිදහස, අධ්‍යාපන නිදහස ඇතුළු කරුණු රාශියක් තවත් ඇත.

එවැනි දේ සම්බන්ධ නිදහස වඩාත් තහවුරු වන්නේ දේශපාලනික නිදහස ඔස්සේ පාලනයට එන පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කැපවන තරම අනුවය. පසුගිය දශක ගණනාව පුරා අපට දක්නට ලැබුණේ පාලකයන් මෙම කරුණු සම්බන්ධව දක්වන උනන්දුවේ අඩුකමය. මේ නිසාම බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී අප ලබාගත් දේශපාලනික නිදහස තුළින් සෙසු ක්ෂේත්‍ර කරා ගමන් කළේද යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. ලේ වැගිරීමකින් තොරව ලබාගත් නිදහස රට තුළ බෙදා ගැනීමට අපි තිස් වරසක් පුරා මහා ලේ ගංගාවකින් රට තෙත් කළෙමු.

ජාතීන් සියල්ල එක මිටකට ඒකාරාශී කරවීමට සමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපට නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රබල හේතුවක් වූ අතර අදත් එවැන්නක අවශ්‍යතාව ඇතමුන් තේරුම් ගෙන නොතිබීම කණගාටුවට කරුණකි. දේශපාලනික වශයෙන් පවත්නා කුහකත්වය රටේ ඉදිරි ගමනට ප්‍රබල බාධාවක්ව පවතින අතර නව ව්‍යවස්ථාවක් ගෙන ඒම කියන කාරණයේදී එය පැහැදිලිව පෙනෙන්ට තිබේ.

නිදහස් අධ්‍යාපනය රටේ ඇති මුත් අධ්‍යාපනයට ඇති අයිතිය තවමත් රටේ ස්ථාපිතව නැත. නිදහස් අධ්‍යාපයෙන් ජීවය ලද පිරිස් අධ්‍යාපනයට ඇති අයිතියට පයින් ගසන අන්දම හැත්තෑ වන නිදහස් දිනය සමරන මෙහොතේ අන් කවරදාටත් වඩා දක්නට ලැබෙයි. ප්‍රජාත්න්ත්‍රවාදය පිළිබඳ මහ ඉහළින් කතා කරන රටේ කලක් මාධ්‍ය නිදහස වළපල්ලට ගොස් තිබුණේය. මාධ්‍යවේදීහු රට හැර ගියහ. එමෙන්ම රට තුළදී පහර කෑමට ලක්වූහ; පැහැර ගැනීම් සිදුවිය. අතුරුදන්වීම් තුළින් ජීවත්වීමේ නිදහසට බාධා එල්ල විය.

මේවා තුළින් මතුවන ප්‍රශ්නය වන්නේ අප අද කතා කරන නිදහස සැබැවින්ම යථාර්ථයක් වී තිබේද යන්නයි. නිදහසින් වසර 70ක් ගතව තිබෙන මේ මොහොතේදීත් අපට තවමත් සියලු ජාතීන් එකම ධජයක් යටතට ගැනීමට නොහැකි වී තිබේ. ජාති, ආගම් බේද මතු කරමින් ජනතාව අතර බෙදීම් ඇති කරන්නට කැසකවන දේශපාලනඥයන් මීට වගකිව යුතුය. අද ද මැතිවරණ වේදිකාවල ජාතික එකමුතුවක් පිළිබඳ කතා බහක් නැත. ප්‍රධාන දේශපාලන පක්ෂවල නම සැලකීමේදී ඒවායින් කියවෙන්නේ නිදහස හා ජාතියේ එක්සත් බව පිළිබඳවය. එම නම්වලට ගැලපෙන ලෙස බලයේ සිටි ආණ්ඩු එදා සිට ක්‍රියාත්මක වූයේ නම් හැත්තෑවන නිදහස් දිනය සැබවින්ම නිදහස් දිනයක් ලෙස සැමරීමේ අවකාශ අපට තිබිණි.

කාන්තා නිදහස

ලිංගිකත්වය, කාන්තා අයිතීන් සම්බන්ධ කාරණාවලදී අප තවමත් සිටින්නේ පසුගාමී මට්ටමකය. මේවා නිදහස හා ගැලපීමේදී සමාජය තුළින් ඊට ඇත්තේ ධනාත්මක බලපෑමක්ද නැතහොත් ඍණාත්මක බලපෑමක්ද යන්න පිළිබඳ විවෘතව කතා කළ යුතුව තිබේ. සමලිංගිකත්වය යන කාරණයේදී ශ්‍රී ලංකාව තුළ එවැනි හැඟීම් ඇති අයට නිදහසක් නැත.

රජය ඒ සඳහා කටයුතු කිරීමටද බයය. සමලිංගික හැඟීම් ඇත්තන් වෙනුවෙන් තීන්දු තීරණ ගන්නේ එවැනි හැඟීම් නොමැති අයය. ඔවුන්ට ප්‍රශ්නය තේරෙන්නේ නැත. සමලිංගික රුචිය යනු ශරීරය තුළ ඇති වන්නා වූ හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා ඇතිවන්නක් මිස වැරදිකාර හැඟීමක් නොවේ. ඒ බව අපි මුලින් තේරුම් ගත යුතුව ඇත්තෙමු. අනෙක් කාරණය කාන්තා නිදහසය.

මෑතකදී කරළියට පැමිණි මාතෘකාවක් පිළිබඳ නිදහස සමරන මේ අවස්ථාවේ සාකච්ඡා කිරීම වැදගත්ය. ඒ නම් මත්පැන් මිලදී ගැනීමට හා ඒ ආශ්‍රිත අළෙවි ආයතනවල කාන්තාවන්ට සේවය කිරීමට නොහැකි බවට ඇති නීතියයි. මෙය සම්පූර්ණයෙන්ම කාන්තා නිදහස උල්ලංඝනය කිරීමකි. රටේ නිතියෙන් තහනම් නැති නිෂ්පාදනයක් මිලට ගැනීමේ හැකියාව පුරුෂ පක්ෂයට පමණක් තිබිය යුතුද? මත්පැන් මිලට ගැනීමේ නිදහස තිබූ පමණින් නොබොන පිරිමි බොහෝ සිටිති. මත්පැන් මිලදී ගැනීමට කාන්තා පක්ෂයට අවකාශ සැලසීම තුළින් සමස්ත කාන්තාව බීමට ඇබැබැහි විය හැකි බවට පුරුෂ පක්ෂය විසින් කරනු ලබන අර්ථකථනය වැරැදිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කරමින් හඳුන්වා දුන් 1972 ව්‍යවස්ථාව හා වර්තමානයේ අප පාලනය වන ජේ. ආර්. ගේ 78 ව්‍යවස්ථාව පිළිබඳ කතා කරමින් ඒවායින් අපේ නිදහස තහවුරු වූ ආකාරය සම්බන්ධව කතා කරමින් සිටීම දැන් පලක් ඇති කාරණයක් නොවේ.

සුද්දා අපට නිදහස නොදී සිටියා නම් රට අද මීට වඩා හොඳ තැනක යැයි කියන පිරිසක් සමාජයේ සිටින අතර ඔවුන් නඟන තර්කවලද කිසියම් වූ පදනමක් තිබෙන බව අප අමතක නොකළ යුතුය. සුද්දා එදා හැදූ දුම්රිය මාර්ගය අඟලක් හෝ දික් කර ගැනීමට අපට නොහැකිවූ බව අප පිළිගත යුතුය. ලෝකය දියුණු වීමත් සමඟ ක්‍රමයෙන් අප කෙරෙන් ඈත්ව යමින් තිබෙන නිදහස ළඟා කර ගත හැකි වන්නේ ආකල්පමය වෙනසක් තුළිනි.

සිංහල භාෂාව

ඉංග්‍රීසිය විසින් සිංහල භාෂාව ගිලගනිමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අද සිංහල රටේ සිංහල භාෂාවට වඩා තැන ඇත්තේ ඉංග්‍රීසියටය. සිංහල රාජ්‍ය භාෂාව කළ විට දෙමළ භාෂාව කතා කරන පිරිස්වලට අසාධාරණයක් සිදු වූ බව කියමින් රටේ ගැටුම් පවා නිර්මාණය විය. අද මේ භාෂා දෙකම අභිබවා ඉංග්‍රීසිය පෙරට පැමිණ තිබේ. ඒ අපි ජාතියක් ලෙස ජත්‍යන්තරය තුළ ඉදිරියට නොපැමිණීම මිස භාෂාවේ වරදක් නිසා නොවේ. හැත්තෑවන නිදහස සමරන විටද අපි කරන්නේ වාද කරමින් ජාතිවාදය පෝෂණය කිරීමය. සිංහල හෝ දෙමළ හෝ කුමන භාෂාවක් වුව නොනැසී පවතින්නේ එම ජාතිය ලෝකයට සිදු කරන මෙහෙය මතය.

කිසිවක් නොකර පිටරට දේ වැලඳ ගනිමින් අත් බැඳගෙන සිටින අපට උඹලා ඉංග්‍රීසි ඉගෙන ගනිල්ලා කියා බල කරන තරමට සුද්දා අද ද බලවත්ය. නිදහස සමරන මේ මොහොතේ අප කළ යුත්තේ එම බලපෑමට අභියෝග කිරීම නොව ඔවුන්ට වඩා බලවත් වීමට උත්සාහ කිරීමය. එසේ නොකර ජාති හා ආගම්වාදය ඉදිරියට දමා පුංචි දිවයින තුළ වීරයන් වන්නට උත්සාහ කරන අයට අවසානයේ සිදුවන්නේ අලියාට අභියෝග කිරීමට ගිය කූඹියාට සිදුවූ දේය.

අසේල කුරුළුවංශ


නව අදහස දක්වන්න

Or log in with...