සුදු හොරු සහ කළු හොරු | දිනමිණ

සුදු හොරු සහ කළු හොරු

හොරකම සම්බන්ධයෙන් අර්ථකථන කිහිපයක් දැකිය හැකිය. මේ අර්ථකථන එකට ගත්විට ඒ සියල්ලෙන්ම කියවෙන්නේ එකම දෙයක්ය. එනම් යම් අයකු සන්තකයේ පවතින දේපලක් එම හිමි තැනැත්තාගේ කැමැත්තෙන් තොරව තිබෙන ස්ථානයෙන් ඉවත් කර ගැනීමය. හොරකම මිනිස් සංහතියේ ඉතිහාසය තරම්ම ඈතට දිවයන දෙයක් වේ. එය ලෞකික මිනිසාගේ ජීවිතයෙන් වෙන් කළ නොහැකි තරමටම බැඳී පවතින දෙයක් බවට පත්ව ඇති ආකාරය මිනිසාගේ ජීවිත කතාන්තරය දෙස බලන විට පෙනී යයි.

නමුත් මෙයින් අදහස් වන්නේ මිනිස් සමාජයක ජීවත් වන සියලුම මිනිසුන් හොරකම් කරන බව නොවේ. හොරකම් නොකරන මිනිසුන්ද මිනිස් සමාජයක් තුළ දැකිය හැක. ඒ අතළොස්සක්ය. බහුතරය දෙස බලන විට පෙනී යන්නේ කුමනාකාර හෝ හොරකමකට ඔවුන් සම්බන්ධ වී තිබෙන බවය. හොරකම කුඩා විය හැකිය. නැතිනම් ලොකු විය හැකිය. හොරකමේ ප්‍රමාණය කුමක් වූවද හොරකම හොරකමක්ම වේ. හොරකම් කරන ප්‍රමාණයේ ඇති වෙනස්කම් අනුව එහි විශේෂයක් වන්නේ නැත.

එමෙන්ම හොරකම් කරන අය සමාජයේ අවවරප්‍රසාදිතයන් විය හැක. නැතිනම් සමාජ ප්‍රභූන් විය හැක. පුද්ගලයා කවුරුන් වූවද හොරකම් කර තිබේ නම් ඔහු සැලකිය යුත්තේ හොරෙක් හැටියටය. සමාජ මට්ටම අනුව හොරකම වර්ග කළ නොහැකිය. හොරකම දෙස බැලිය යුත්තේ හොරකම කරන පුද්ගලයාගේ සමාජ මට්ටම අනුව නොව සාමන්‍ය මිනිසකු ලෙස සලකමින්ය.

හොරකම හා සම්බන්ධ අනෙක් ලක්ෂණය වන්නේ ඕනෑම හොරකමක් කුමන හෝ දඬුවම් ලැබීමක් හා සම්බන්ධ වීමය. මෙයින් අදහස් වන්නේ හොරකම් කිරීම අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස සළකන බවය. දඬුවම් කිරීමේදී සළකා බැලිය යුත්තේ කරන ලද හොරකමේ ස්වභාවය සහ ප්‍රමාණය විනා හොරකම් කරන ලද පුද්ගලයාගේ තරාතිරම නොවේ. දඬුවම් කිරීමේදී හොරුන් ප්‍රභූ හොරුන් සහ ප්‍රභූ නොවන හොරුන් ලෙස වර්ග නොකළ යුතුය. වෙනත් ආකාරයකට කියනවා නම් හොඳ හොරුන් සහ නරක හොරුන් ලෙස බෙදා වෙන් නොකළ යුතුය. එසේ බෙදා වෙන් කරන්නේ නම් සිදු වන්නේ නීතියේ ආධිපතිත්වය පිළිබඳ මූලධර්මය විනාශ වී යාමය.

නීතියේ සමාන ආරක්ෂාව සියලු දෙනාටම සමානව ලැබිය යුතුය යන නීතියේ ආධිපතිත්වය හා බැඳී පවතින තවත් උත්තරීතර නියමයක් බිඳී යාමය. මෙහි ප්‍රතිඵලය වන්නේ ජනතාව නීතිය කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳී යාමය. නීති ක්‍රියාවට නංවන්නන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු වීමය. ඇති හැකි අයට එක නීතියකුත් නැති බැරි අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන බවට හැඟීමක් මිනිසුන්ගේ මනස තුළ පැලපදියම් වීමය. අවසානයේදී නීතියේ යුක්තිසහගතභාවය පිළිබඳ පවතින විශ්වාසය නැති වී ගොස් නීති නොසළකා හරිමින් ක්‍රියා කිරීමට ජනතාව පටන් ගැනීමය.

මෙම කරුණු මෙයාකාරයට දැක්වීමට සිදුවූයේ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහා පරිමාණයෙන් හොරකම් කිරීම, වංචා කිරීම සහ වෙනත් දූෂණ ක්‍රියාවල නියැලෙමින් මහජන ධනය සොරකම් කළ බවට චෝදනා එල්ල වී තිබෙන ප්‍රභූ දේශපාලන හොරුන් පිළිබඳ යහපාලන ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙත තුළ ඒකීයභාවයක් දැකීමට නොහැකි වීම නිසාය. වෙනත් ආකාරයනට කියනවා නම් එක් එක් හොරු කණ්ඩායම් වෙනුවෙන් එකිනෙකට වෙනස් පිළිවෙතක් අනුගමනය කරන ආකාරයක් දැකිය හැකි වීමය. දේශපාලන ක්ෂේත්‍රය තුළ දැනට කෙරෙන කතාබස් අනුව ප්‍රභූ හොරුන් යැයි සැලකිය හැකි කණ්ඩායම් තුනක් හඳුනා ගත හැක. මෙයින් එක් කණ්ඩායමක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂය තුළය. දෙවන කණ්ඩායම ඉන්නේ ඒකාබද්ධ විපක්ෂය තුළය. තුන්වන කණ්ඩායම ඉන්නේ ආණ්ඩුවට සම්බන්ධ වී ඇති ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළය.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ප්‍රභූ හොරුන් පිළිබඳ ප්‍රශ්නය මතු වන්නේ මහබැංකු බැඳුම්කර සිද්ධියත් සමඟය. ඒ පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව දැන් නිකුත් වී ඇත. නමුත් මහ බැංකු බැඳුම්කර චංචාවට සම්බන්ධ වූ එක්සත් ජාතික පාක්ෂිකයන් සිටිනවා යැයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ නැත. අනියම් ආකාරයෙන් හෝ චෝදනාවක් එල්ල වූයේ රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයාටය. චෝදනාවේ සත්‍ය අසත්‍යභාවය පිළිබඳ අවසන් නිගමනයකට ඒමට ප්‍රථමයෙන්ම පක්ෂය ඔහු පිළිබඳ තීරණයක් ගත්තේය. ඒ මුදල් අමාත්‍යධුරයෙන් ඔහු ඉවත් කිරීමටය. බැඳුම්කර කොමිෂන් වාර්තාවෙන් රවි කරුණානායක පිළිබඳ දක්වා තිබෙන යම් යම් කරුණු පදනම් කරගෙන පක්ෂය තවත් විනය පියවරක් ගත්තේය. ඒ ඔහු දරන පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරෙන් ඉවත් කිරීමටය.

මෙයට සමානව මෙයට පෙර යම් යම් චෝදනා එල්ල වූ තිලක් මාරපන සහ විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන්ද පක්ෂය අනුගමනය කළේ එයාකාරම දැඩි පිළිවෙතක්ය. ඔවුන් දෙදෙනා අමාත්‍ය තනතුරුවලින් ඉවත් කළේ ඒ අනුවය. මේ එක්සත් ජාතික පක්ෂය චෝදනා එල්ල වූ පක්ෂයේ සාමාජිකයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයයි.

පක්ෂය ගත් මෙම පියවරවල යම්යම් අඩුපාඩු පක්ෂයට විරුද්ධ අය දැකිය හැකිය. නමුත් ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නවුන් එක් දෙයක් තේරුම් ගත යුතුය. එනම් හරි හෝ වැරදි වේවා චෝදනා එල්ල වූ සාමාජිකයන් සම්බන්ධයෙන් එවැනි විනය පියවරක් ගත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 68 අතුරින් එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවය. කියන්නා කෙසේ කීවත් මේ එක්සත් ජාතික පක්ෂයේ හැටිය.

දෙවන ප්‍රභූ හොරුන් කණ්ඩායම සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය තුළය. මේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. කටකථා මගින් නොව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කළ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මගින් කොමිසම විසින් කරන ලද විමර්ශන 34 ක් සම්බන්ධයෙන් චූදිතයන් 228 හඳුනාගෙන ඇති අතර ඔවුන්ට නිසි අධිකරණ ක්‍රියා මාර්ග හරහා දඬුවම් කළයුතු බවට නිර්දේශ කර තිබේ.

මෙම චූදිතයින් අතුරින් සමහරෙකු මෙසේය. සරත් ගුණරත්න (හිටපු වැඩබලන ධීවර අමාත්‍ය), අනුර විදානගමගේ (ඌව පළාත් සභා අමාත්‍ය), මහින්ද රාජපක්ෂ (හිටපු ජනාධිපති), ජගත් පුෂ්පකුමාර (හිටපු වැවිලි කර්මාන්ත ඇමති), ගෝඨාභය රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්), එම්. එස්. එම්. දමයන්ති (රාජ්‍ය සේවා නිලධාරිනියක්), එස්. එම්. රංජිත් සමරකෝන් (උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති), ප්‍රියංකර ජයරත්න සහ නිශාන්ත වික්‍රමසිංහ(ශ්‍රී ලංකා ගුවන් සමාගමේ දූෂණ), ශෂී දිලුම් වෙල්ගම සහ දොන් බන්දුසේන (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දූෂණ), ප්‍රියත් බන්දු වික්‍රමමුනිගේ සහ සංජය සේදර සෙනරත් (වරාය දූෂණ), බැසිල් රාජපක්ෂ සහ පී. බී. ජයසුන්දර (හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ මුදල් අමාත්‍යාශයේ හිටපු ලේකම්), අමරානන්ද බංඩා වීරසිංහ (සභාපති, උඩරට සංවර්ධන අධිකාරිය), මහින්දානන්ද අලුත්ගමගේ (හිටපු අමාත්‍ය), අනුර සිරිවර්ධන (පාරිභෝගික අධිකාරිය), මහින්ද හතුරුසිංහ සහ දයා රත්නායක (යුද හමුදාව), මහාචාර්ය ශාන්තිලාල් දේවප්‍රිය ජයරත්න (රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව), දිසානායක මුදියන්සෙලාගේ සෙනරත් බණ්ඩාර (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව), සංජය සේදර සෙනරත් (වරාය හා නාවික අමාත්‍යාංශය), ඉන්දික නලීන් හේරත් (2013 අම්පාර දැයට කිරුළ වැඩසටහන), විමලසේන රූබසිංහ (ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව), විමල් වීරවංශ (නිවාස සංවර්ධන අධිකාරියේ දූෂණ), දුෂ්‍යන්ත පෙරේරා (ජාතික ගමනාගමන කොමිෂන් සභාව), උපුල් සුසන්ත වික්‍රමරත්න (උතුරුමැද පළාත් සභාව), මහින්ද යාපා අබේවර්ධන, පාලිත යාපා සහ ලලිත් කාන්ත ජයසේකර (හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය), ලලිත් පියුම් පෙරේරා (ජාතික තරුණ සේවා සභාව).

මේ නීතිමය වශයෙන් කරන ලද පරීක්ෂණයකින් පසුව හඳුනා ගන්නා ලද හොරුන් සහ වංචනිකයන්ය. මොවුන්ට එරෙහිව ගත් කිසිදු නීතිමය පියවරක් පිළිබඳ මේ දක්වා ඇසෙන්නට නැත. ඔවුන් සියලු දෙනාම වහසි බස් දොඩමින් මේ දක්වාම නිදැල්ලේ හැසිරෙන තත්වයක් දකින්නට තිබේ. පුදුමයට හේතුව මොවුන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීම නොව ඔවුන්ට තමන් සමඟ එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ආයාචනා කර සිටීමය. ජනාධිපතිවරයාගේ ආරාධනය පිළිගෙන මේ හොරු රැළ ජනාධිපතිවරයා සමග එක්වූවා නම් සැබෑ ලෙසම සිදු වන්නේ ක්ෂණයකින් නරක හොරුන් හොඳ හොරුන් බවට පත්වීමය. නැති නම් කළු හොරුන් සුදු හොරුන් බවට පත් වීමය.

මේ හා සම්බන්ධව මතුවන එක් වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම් දේශපාලන සම්බන්ධතා අනුව හොරුන්ගේ කළු සුදුභාවය වෙනස් වනවාද යන්නය. එය එසේ වනවා නම් මේ රටෙන් දූෂණය, වංචාව, හොරකම සහ වෙනත් තක්කඩිකම් පිටුදැකීම හුදෙක් වචනයට පමණක් සීමා වන දෙයක් වන බව අමුතුවෙන් කිවයුතු නොව්.

තුන්වන ප්‍රභූ හොරු කණ්ඩායම ඉන්නේ ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළය. මේ හොරුන් ගැන කවුරුවත් කතා කරන්නේ නැත. ආරංචි මාර්ග අනුව පරීක්ෂණ පවත්වා තිබුණද එම වාර්තා කුමන හෝ හාස්කමකින් යටපත් වී ඇත. ඔවුන් අද දේශපාලන වේදිකාවේ දූෂණ විරෝධී මහා ශුද්ධවන්තයන් හැටියට කන්ද උඩ දේශනාවන්ට සමාන දේශනා පවත්වන ආකාරය දැකිය හැක. මෙයින් පෙන්වන සත්‍ය වන්නේ දේශපාලන බලය හසුරුවන පුද්ගලයා සමඟ එක් වන්නේ නම් ඕනෑම හොරෙකුට ශුද්ධවන්තයකු බවට පත්විය හැකි බවය. නැතිනම් සුදු හොරකු බවට පත්විය හැකි බවය.

අවසාන වශයෙන් කිව හැක්කේ මෙවැනි රටවල් පාලනය වන්නේ නීතියේ ආධිපතිත්වය අනුව නොව හොරකම් කිරීමේ අධිපතිත්වය සහ එයට ආවරණය සපයන දේශපාලන බල අධිකාරිය පදනම් කරගෙන බවය. මෙවැනි රටක සදාචාරය, යුක්තිගරුකභාවය සහ සාධාරණත්වය ගැන යමකු කතා කරනවා නම් එය හුදු සම්ප්‍රඵලාපයක් මිස අර්ථවත් දෙයක් නොවේ. මේ සත්‍ය ජනතාව තේරුම් ගන්නේ කවදාද? එසේ තේරුම් නොගන්නා තාක්කල් දුරට මේ රට චෞරයන්ගේ රාජ්‍යයක් හැටියට නොකඩවාම පවතිනු ඇත.    


නව අදහස දක්වන්න