බුදුන් වහන්සේගේ ධර්ම සංනිවේදනයේ මනෝ විද්‍යාව | දිනමිණ

බුදුන් වහන්සේගේ ධර්ම සංනිවේදනයේ මනෝ විද්‍යාව

බුදුරජාණන්වහන්සේ ලෝකයේ පහළ වූ අති ශ්‍රේෂ්ඨතම ධර්ම සංනිවේදකයන් වහන්සේය. උන්වහන්සේගේ ධර්ම සංනිවේදනය නූතනයේ ඉගැන්වෙන මනෝ විද්‍යාත්මක ලක්ෂණවලින් අනූන සංනිවේදන ක්‍රියාවලියක් බව ඉතාම පැහැදිලි වන තථාගත දේශනා රාශියකි.

ඒ අතර කුඩා දරුවකු පවා දන්නා ආලවක දමනය සිහි කැඳවන්න. ආලවකගේ වාසස්ථානයට බුදුන් වහන්සේ වැඩම කෙරූ අවස්ථාවේදී ආලවක පැමිණියේ තදබල මානසික ආවේගයක් සහිතවනේ. ආලවක යකෙක් හෝ වේවා මනුස්සයෙක් හෝ වේවා ඔහු‍ෙග් ඒ අවස්ථාවේ මනස තුළ ඇතිවූ චෛතසිකයන් තුළ ආවේගජනක සිතුවිලි සකස් වුණේ ඇත්තටම ආලවක යනු යකකු නම් අද අපි යක්කු ගැන හිතන විදිහට ඔහු ‘හූ’ කියාගෙන එන්න ඇති. එහෙම නැතුව ඔහු මිනිසකු නම් ‘නොසරුප්’ වදන් කියාගෙන එන්න ඇති. ඒ කොහොම නමුත් ඔහු පැමිණියේ තදබල ප්‍රවේගකාරී සිතුවිලි රාශියක් එකතුවය.

පැමිණි සැණින් ඔහු බුදුන්වහන්සේ හට වචන දෙකක් කියන අතර එය ‘නික්ම ශ්‍රමය’ එහි අදහස එළියට යනු වැනි අදහසකි. බුදුන් වහන්සේ එය අසා එළියට වැඩම කළ අතර එය දුටු ආලවක නැවත ‘පවිස ශ්‍රමන’ ඇතුළට එනු යැයි අණ කිරීමක් සිදු කළ අතර මෙවැනි අවස්ථා තුනකදී ආලවක බුදුන් වහන්සේට අණ කරන අතර බුදුපියාණෝ අවස්ථා තුනේදීම බණ කීමට නොගිය අතර, ඍද්ධි ප්‍රාතිහාර පෑමට ද ඉක්මන් නොවීය. බලන්න මෙහි මොනතරම් ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක පැතිකඩක් එලිකරනවා යන්න.

අපට තරහා ආ අවස්ථාවක් සිහිකැඳවන්න. මානසික ආවේගයක් පැමිණි අවස්ථාවක තවත් කෙනකු පැමිණ එයට එකට එක කියන්න කරන්න ගියහොත් එම ආවේගය දෙගුණ තෙගුණවීම නොවැලැක්විය හැක්කකි. තථාගතයන්වහන්සේ මෙහිදී ආලවකට අවනතවීම තුළ ඔහුටත් නොදැනීම ඔහුගේ සිත දමනයට අවශ්‍ය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරය කළ ආකාරය ඉතා විශිෂ්ටය.

එමෙන්ම කිසාගෝතමියගේ කතාපුවත දෙස බලන්න ‘ගෝතමී’ නම් තරුණියක් සිටි අතර ඇය ඉතා කෙසඟ බැවින් ඇයට ‘කිසා’ නැතහොත් ‘කෙට්ටු’ ගෝතමී යනුවෙන් නමක් පටබැඳුණා. ඇය විවාහ වී කාලයක් දරුවෙක් අපේක්ෂාවෙන් සිටියත් ඇයට කාලයක් යනතුරු නොලැබිණි. යමක් ලැබෙන්න ප්‍රමාද වනවිට එහි අගයත් වටිනාකමත් වැඩිවීම සාමාන්‍ය ස්වභාවයයි.

ගෝතමියට එය එසේම සිදුවූ අතර පසුව දරුවකු ලැබුවත් අවාසනාවන්ත ලෙස එම දරුවා ඉතා කෙටි කාලයකින් නැතිවූ අතර පවුලේ නෑසියන් ඇයට මළ දරුවා ආදාහනය හෝ භූමදානය කරන්න යැයි පැවැසුවහ. මව් සෙනෙහස විසින් ලෝක යථාර්තය අවබෝධකොට ගත නොහැකි ලෙස යටපත්කොට තිබුණි. දන්නා කියනා සෑම වෛද්‍යවරයෙක් ළඟට ගියද ඇයට ලැබුණ පිළිතුර එකම විය.

එයින් ඇගේ බලාපොරොත්තු සිඳී ඉච්ඡාභංගත්වයට පත්විය. වාසනාවකට මෙන් මළ දරුවා ගෙන දුවන අතරතුර එක මොහොතක් බුදුන්වහන්සේ ළඟද නතර විය. දුවන ගමන මොහොතක් නතරකොට ඇය බුදුන් වහන්සේගෙන් විමසා සිටියේ තම දරුවා සුවපත් කළ හැකි ද නොහැකිද යන්නය. මොහොතක් විමසිලිමත් වන්න බුදු හිමියන් මෙහිදී ක්‍රියාත්මක වූ ආකාරය, ඇයට උන්වහන්සේ ‘සබ්බේ සත්තා මරිස්සන්ති’ සියලු සත්ත්වයෝ මරණයටපත් වේ යැයි කීමට උන්වහන්සේ නොගිය අතර සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි යැයි ද දේශනා කිරීමට ඉක්මන් නොවීය.

දරුව සනීප කරන්න අබ මිටක් අවශ්‍ය යැයි දැන්වූ විට ඇය එය ගෙන ඒමට සූදානම් වූ විට එය ‘කිසි කෙනකුන් නොමළ ගෙදරකින් ගෙන ආ යුතුම යැයි දැන්වීය. ගෙවල් දෙක තුනකට යන්නට මත්තෙන් කිසා ගෝතමියට නැවැත අමුතු බණක් කීමට බුදු හිමියන්ට අවශ්‍ය නොවීය. එනම් ඇය මරණය මාගේ දරුවාට පමණක් නොවන බවත් උපදින සෑම සත්ත්වයකුම දිනක මරණයට පත්වන බවත් ලෝක යථාර්ථය එය යන්නත් තේරුම් ගනු ලැබීය. තථාගතයන් වහන්සේගේ ධර්ම සංනිවේදනයේ මනෝවිද්‍යාත්මක ලක්ෂණ මෙහි පැහැදිලිව ඇත. උන්වහන්සේ බණ කීමට සැරසුන එක අවස්ථාවක කුසගින්නේ පෙළෙමින් බණ ඇසීමට පැමිණ සිටි අහිංසක මිනිසකු හට සංවිධායකයන් අමතා ආහාර ලබාදී කුසගිනි නිවා දහම් දේශනා කිරීම උන්වහන්සේ තුළ පැවැති මනෝවිද්‍යාත්මක දර්ශනය ප්‍රකට කෙරේ.

හල්මිල්ලකුලමේ සුජාතඤාණ හිමි


නව අදහස දක්වන්න