සුඛී දීඝායුඛෝ භව | දිනමිණ

සුඛී දීඝායුඛෝ භව

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනය පෙබරවාරි මස 05 වන දිනට යෙදී ඇත.

සීල සම්පත්තියා භික්ඛු - සෝභමානො තපෝවනෙ

පභා සම්පත්තියා චන්ද්‍රො - ගගනෙවිය සෝභති

“ප්‍රභාසම්පත්තියෙන් යුක්ත පූර්ණ චන්ද්‍ර මණ්ඩලය ගගන තලය ශෝභාමත් කරන්නේ යම් සේද, එසේම සීල සම්පත්තියෙන් පුරිත භික්ෂුව තපෝවනය ශෝභමාන කරන්නේය” යන බුද්ධ වචනය පසක් කරමින් සීලයෙන් ගුණයෙන් යුක්තව සම්බුදු සසුන ශෝභාමත් කරමින් දෙස් විදෙස් සතහට දහම් මඟ පෙන්වාදෙන පූජනීය ආචාර්ය මිරිස්සේ ධම්මික හිමිපාණන් වහන්සේගේ ජීවිතය එකම දහම් රස වෑහෙන සදහම් ගංගාවකි.

මාතර මිරිස්ස හේන්වල - ගම්පියසේ උපත ලද මිරිස්සේ ධම්මික නාහිමිපාණන් වහන්සේ උඩුපිල සුධර්මාරාමයේදී සසුන්ගතව මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව කුරුණෑගල දඹදෙණිය කවුඩුමුන්න සීලක්ඛන්ද පිරිවෙනෙහි පරිවේණාධිපතිවරයකු වශයෙන්ද ඇහැලියගොඩ ඇරෑපොල මහින්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු වශයෙන්ද සේවය කොට 1990 වසරේ සිට වසර 5ක් කොළඹ ඩී.එස්.සේනානායක විදාලයේ ධර්මාචාර්යන් වහන්සේ නමක් ලෙස කටයුතු කළහ.

අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේගේ හා දායක ඇත්තන්ගේ බලවත් ඉල්ලීම පරිදි 1990 වසරේදී සිරිසුදස්සනාරාම විහාරයට වැඩම කළහ. 1996 වසරේදී කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ බෞද්ධ විහාර සංගමය විසින් කළ ආරාධනාවකට අනුව කැනඩාවට වැඩම කළ අප ගුරුදේවෝත්තම ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන්වහන්සේ සුදු ජාතිකයන්ටද බෞද්ධ දර්ශනය හඳුන්වාදුන් අතර, දහම් පාසලක් ආරම්භ කරමින් භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එහිදී අමිල මෙහෙවරක් කළහ. වැන්කුවර් හී සයිමන් ප්‍රේෂර් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රපති උපාධියේ පර්යේෂණය සඳහා ‘පාසල් දරුවන් තුළ මානසික ආතතිය නැති කිරීමට බෞද්ධ භාවනා ක්‍රමවලින් ලැබිය හැකි ප්‍රයෝජනය’ යන කෘතිය ඉදිරිපත් කරමින් ශාස්ත්‍රපති උපාධියද ‘ස්වාමින්වහන්සේ නමකගේ දෛනික ප්‍රතිපදා තුළින් යොනිසෝ මනසිකාරය ගැන අධ්‍යනයක්’ යන කෘතිය ඉදිරිපත් කරමින් ආචාර්ය උපාධියද ලැබීය. දුටු දුටුවන්ගේ සිත්සතන් පහදවන පැවැත්මෙන් යුතු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පින් කෙතක් බඳු වූ අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේ සීලයෙන්ද ගුණයෙන්ද බහුශ්‍රැතභාවයෙන්ද ධර්මඥානයෙන් ද පිරිපුන්ය. උන්වහන්සේ සැබෑම චරිතාදර්ශයකි. බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන කේන්ද්‍ර කරගෙන ලක්වාසී ලෝකවාසී සැමට තථාගත සම්බුදු දහම උන්වහන්සේගේ සුමිහිරි සුගම්භිර හඬින් දේශනා කරන්නේ නිරපේක්ෂක මනසිනි.

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේදී සෑම පුරපසළොස්වක පොහොය දිනකම සීල සමාදාන වැඩසටහනක්ද, සෑම සෙනසුරාදා දිනකම භාවනා වැඩ සටහනක්ද, සෑම ඉරිදා දිනකම අභිධර්ම දේශනාවද ක්‍රියාත්මක කරන අතර, විශාල පිරිසක් ඊට සහභාගී වෙති. තරුණ පරපුර දහමට යොමුකර ගුණ ගරුක බොදු සමාජයක් ගොඩනැඟීමට උන්වහන්සේ ඉමහත් වෙහෙසක් දරයි. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් පාසල් ආරම්භ කරමින් සංවරශීලි දරු පරපුරක් බිහිකිරීමට මඟ පෙන්වයි. ප්‍රඥා ප්‍රභා සංවිධානය අරඹමින් මාසිකව ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරවා පළකරමින් බොහෝ දෙනෙකුගේ දහම් පිපාසය සංසිඳුවාලයි. ඉතා දුර බැහැරින් පවා ලැබෙන ආරාධනාවන් ප්‍රතික්ෂේප නොකොට ඒ සඳහා වැඩම කරන්නේ ඉමහත් කරුණාවෙනි. පාරමිතා පුරමින් පැමිණි ගමනක මේ භවයේදී උන්වහන්සේට ලැබෙන පිරිකර පවා දුෂ්කර ප්‍රදේශවල වැඩවසන මහ සඝරුවනට මෙන්ම අවශ්‍ය තැනකට පරිත්‍යාග කරන්නේ දාන පාරමිතාව සපුරන සෙයිනි.

ආගමික වශයෙන් මෙන්ම සාමාජික වශයෙන් උන්වහන්සේ සිදුකරනු ලබන සේවය අතිමහත්ය. පාරමි සංවිධානය ඇති කරවා විවිධ සමාජ සුබසාධක කටයුතු රාශියක් කරති. එමෙන්ම සිරි සුදස්සනාරාම විහාරස්ථ සිරි සදහම් සුව සරණින් අවශ්‍යතා ඇති අයට රෝදපුටු, අත්වාරු පරිතාග කෙරෙති.

මේ අයුරින් සම්බුදු සසුන වෙනුවෙන් මෙන්ම අප රට වෙනුවෙන්ද අපරිමිත සේවයක් සිදුකරන අපගේ ගුරු දේවෝත්තම පූජනීය ආචාර්ය මිරිස්සේ ධම්මික මහා ස්වාමීන්වහන්සේ සසුනඹරෙහි පුන්සඳක් මෙන් තව බොහෝ කාලයක් වැජඹේවා.

 

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
අලුත්වෙල ධම්මසති හිමි 

නව අදහස දක්වන්න