මට මතක කාලෙ ගම් සභා ඡන්දය | දිනමිණ

මට මතක කාලෙ ගම් සභා ඡන්දය

මෙවර පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි මස 10 වෙනිදා පැවැත්වෙයි . ශ්‍රී ලංකාවේ දැනට පවතින පළාත් පාලන ආයතන 341 ක් සඳහා මන්ත්‍රීවරු 8356 දෙනකු තෝරා පත්කර ගැනීම මෙම පළාත් පාලන මැතිවරණයෙන් සිදු කෙරේ . මේ සඳහා මෙවර අපේක්ෂකයින් 57,252 දෙනෙකු ඉදිරිපත් වී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි .

ශ්‍රී ලංකා‍ෙව් 1987 ට පෙර පළාත් පාලන ආයතන වර්ග 4ක් තිබුණි . ඒ මහ නගර සභා, නගර සභා, සුළු නගර සභා සහ ගම් සභා යනුවෙනි. 1987ට පසුව මෙම පළාත් පාලන ආයතන මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා යනුවෙන් ආයතන 3කට සීමාවිය. සුළු නගර සභා සහ ගම්සභා වෙනු‍වට දිවයි‍නේ ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක විය. වර්තමානයේ මෙම ආයතන වලින් වැඩිපුරම ඇත්තේ ප්‍රාදේශී සභාවය.

අතීතයේ පළාත් පාලන ආයතන ඇතිකරලීමේ ප්‍රධානතම අරමුණ වූයේ ප්‍රාදේශීය සංවර්ධනයයි. එහිදී ආර්ථික සංවර්ධනයට මුල් තැනක් ලැබුණි.ඒ අනුව ප්‍රාදේශීය පරිපාලන ක්‍රමය කාලයට අනුව වෙනස් වී සුළු නගර සභා සහ ගම්සභා වෙනුවට පසුකාලීනව ප්‍රාදේශීය සභා ක්‍රමය ස්ථාපිත විය. පැරැණි ගම්සභා ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඉන් ග්‍රාමිය සංවර්ධනය සඳහා අවශ්‍ය තීරණ ගැනීමත් ඒ අනුව ක්‍රියාත්මක වීමත් සිදුවිය. එදා පැවැති ගම්සභාවලට නියෝජිතයින් පත්කර ගැනීමත්, ගමේ සංවර්ධන ක්‍රියාදාමයන් කිසිදු කලබැගෑනියක් ‍නොමැතිව ගැමි ජනතාවගේ සහාය ඇතිව සාර්ථකව සිදු වූ බවත් අපේ පැරැන්නෝ අදත් පවසති. මීට දශක පහකට පමණ පෙර ගමේ පැවැති ගම්සභා මැතිවරණය පිළිබඳ තොරතුරු බිඳකි මේ.

එදා මෙම මැතිවරණය හැඳින්වූයේ ‘ගමේ ඡන්දය යනුවෙනි. මේ සඳහා ඉදිරිපත් වූයේ ගමේම පුද්ගලයන්ය. සමහර විට ඔවුහු එකම පවුලේ නෑදෑයන්ය. ඔවුනට දේශපාලන පක්ෂ බේදයක් නොතිබුණි. ‍බොහෝවිට ගමේ ඡන්දයට ආවේ ගමේ ඉඩම් හිමි වැවිලිකරුවෙක් හෝ රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ පුද්ගලයෙකි.

ඔහු ගමේ විහාරස්ථානයේ දායක සභාවේ හෝ ග්‍රාම සංවර්ධන සමිතිය, ප්‍රජා මණ්ඩලය, අන්‍යෝන්‍යාධාර සමිතිය වැනි ප්‍රජා සංවිධානයක ප්‍රධානියෙකු විය. එසේම දක්ෂ කථිකයෙක් ද වූ අතර ගමේ පොදු සමාජ සේවා කටයුතුවලදී ඉදිරියෙන්ම සිටි අයෙකි.

ගම් සභා ඡන්දයට නාම යෝජනා භාර දෙන දිනය ගමේ උත්සව දිනයකි. ඔවුහු පිළිගැනීමට අද මෙන් එදත් අපේක්ෂකයාගේ හිතවතුන් අසල්වැසියන් පාක්ෂිකයන් ගමේ කඩමණ්ඩියේ හෝ ඔහුගේ නිවස අසල රතිඤ්ඤා වැල් එල්ලාගෙන, කුඩා කනප්පුවක් මත බුලත් හුරුල්ලක් තබාගෙන සූදානම්ව සිටිති. එදා පක්ෂයට වඩා සැලකුණේ ඡන්ද ලකුණය. එනිසා නාම යෝජනා භාරදී අපේක්ෂකයා පැමිණෙත්ම පිරිස ..... ලකුණට ජයවේවායි ඔල්වරසන් හඬ නගමින් බුලත් හුරුළු දී පිළිගත්හ. මෙම පිළිගැනීමට අසල්වැසි ගැහැණු, පිරිමි, ළමා ළපටින් ඇතුළු සියලු දෙනාම ඒකරාශි වූහ. ඇතැම් අවස්ථාවන්හිදී නාම යෝජනා භාරදී පැමිණෙන අනෙක් අපේක්ෂකයා පිළිගැනීමට ඔහුගේ හිතවතුන් ද ඊට නුදුරුව කටයුතු සංවිධානය කළහ. නැදෑයන්, හිතවතුන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ අපේක්ෂකයා දෑත් ඔසවා ආචාර කරයි.

ඉන්පසුව පිළිගැනීමේ රැස්වීම ආරම්භ කර පිළිගැනීම සංවිධානය කළ පිරිසේ ප්‍රධානියා අපේක්ෂකයා ගමේ යම් ප්‍රජා සංවිධානයක නිලධාරියෙකු නම් ඒ පිළිබඳ කතා කිරීමට එම සංවිධානයේ වෙනත් නිලධාරියකුට ආරාධනා කරයි. ඉන්පසුව ඡන්ද අපේක්ෂකයා කතා කරයි.

ඔහුට පක්ෂ, ජාති, කුලමල ‍භේද නැත. ප්‍රතිවාදී අපේක්ෂකයා පිළිබඳ කතාකරන්නේ ද සහෝදර ලීලාවෙනි. කිසිවෙකුට අපහාස නොකරන අතර, ප්‍රතිවාදීන්ගේ අඩුපාඩු, දොස් නොකියයි. ගමේ අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා සපුරා ගැනීමට අවංකව සේවය කරන බවට පොරොන්දු වී ඒ සඳහා තම ලකුණට ඡන්දය ලබාදෙන ලෙස ඉතාමත් නිහතමානීව ඉල්ලා සිටී. අපේක්ෂකයාගේ නෑදෑයන් පිරිනමනු ලබන තේ පැන් සංග්‍රහයකින් පසුව පිළිගැනීමේ උත්සවය නිමාවට පත්වේ.

පසුදින උදෑසන සිට ඡන්ද අපේක්ෂකයා තම හිතවතුන් පිරිසක් සමඟ ඡන්දය ඉල්ලමින් ‍ගෙයින් ගෙට යති. මේ පිරිසට පුද්ගලයින් 8 දෙනෙක් පමණ සහභාගි වෙති. නිවසට ගොඩවන අපේක්ෂකයා නිවැසියන් විසින් ඉතාමත් ගරු සරු අන්දමින් පිළිගෙන නිවස තුළට කැඳවාගෙන ගොස් බුලත් විටකින්, තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට අමතක නොකරති.

මෙහිදී ද අපේක්ෂකයා ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ගුණ දොස් විවේචනය නොකිරීමට වගබලා ගනී. මේ යන අතරතුරදී සමහරවිට හමුවන ප්‍රතිවාදී අපේක්ෂකයා සහ ඔහුගේ හිතවතුන් සමඟ විහිළු තහළු කරමින් සතුටු සාමීචිව කතා බස් කොට, ජයවේවා යි දෙපාර්ශ්වයටම ශුභාශිංසනය කර ගනිමින් වෙන්ව යති . දෙපාර්ශව‍යේම පිරිස අතර ඇනුම්පද කියා ගැනීම්, රණ්ඩු සරුවල්, කල කෝලාහල නැත. අද මෙන් පිහියා ඇනගැනීම්, අත් බෝම්බ එදා නැත. අපේක්ෂකයන්ට උදව් කිරීමට එදා ගණන්කාරයින් ගම්සභා ඡන්දයට නොසිටියහ. මේ නිසා එදා ගම්සභා ඡන්දය සාමකාමීව පැවැත්විණි.

ඡන්දය පැවැත්වෙන දිනය උදාවෙයි. බොහෝ අවස්ථාවලදී ගමේ ඡන්දය පැවැත්වෙන්නේ ගමේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේ හෝ ගමේ පාසලේදීය. එවකට ගමේ ප්‍රධානියා වූ ගම්මුලාදෑනි තැන විසින් ඡන්ද පොළට අවශ්‍ය පුටු මේස ආදී කළමනා සපයා දෙමින් ඡන්දය පැවැත්වීමට නිලධාරීන්ට සහාය ලබාදෙයි. ඡන්දය පැවැත්වෙන දිනයේ පෙ. ව. 08.00 ට ඡන්දය දැමීම ආරම්භ වෙයි. ඡන්ද දායකයෝ නියමිත වේලාවට ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෙළ ගැසෙති. ආරක්ෂක කටයුතු සඳහා එක් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් දෙදෙනෙක් සිටිති. ඡන්ද පොළේ කිසිදු හැල හොල්මනක් නැත. නිශ්ශබ්දතාවය හොඳින් රැකේ. ප. ව. 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් අනතුරුව ඡන්ද දායකයෝ නිවෙස් කරා යති.

එදා ගම්සභා ඡන්දයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ඡන්ද මධ්‍යස්ථානයේදීම සිදු කෙරිණි. ගමේ ඡන්දයෙන් තේරී පත්වූ ගම්සභා නියෝජිතයා එදා හැඳින්වූයේ “මැම්බර් මහත්මයා” යනුවෙනි. ඉතින් ගමේ මැම්බර් මහත්මයා කවුරුන්දැයි දැනගැනීමට අපේක්ෂකයන්ගේ හිතවතුන් පමණක් ඡන්දය ගණන් කරන ස්ථානයට නුදුරින් සිටියහ. ඡන්ද නිලධාරීහු ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්ද ගණන් කොට සුළු වේලාවකින් ගමේ මැම්බර් මහත්මයා කවුදැයි ප්‍රකාශයට පත් කළහ. ඡන්දයෙන් තේරී පත්වූ මැම්බර් මහත්මයා ඡන්ද පොළේදීම පැරදුණු අපේක්ෂකයින් ළඟට ගොස් ආචාර සමාචාර කොට, තම නෑදෑ හිතවත්කම් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා එක්වන්නැයි ආරාධනා කරයි. පැරදුණු අපේක්ෂකයාද වාද භේද සියල්ල අමතක කොට, ගමේ සාමය සමගිය පතා මැම්බර් මහත්මයා සමඟ සතුටින් ඡන්ද පොළොන් පිටවී යති.

ඊළඟට එන්නේ පළාතේ ගම්කාර්ය සභාවෙහි සභාපතිවරයා තේරීම් තරඟයයි. මෙහිදී සභාපති තනතුරට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවන ගම්සභා නියෝජිතයින් තමාට හිතවත් මැම්බර් මහත්වරුන්ගේ සහාය ලබාගැනීමට විවිධ උපක්‍රම යෙදූ ආකාරයක් එදා දක්නට ලැබුණි. කෙසේ ‍හෝ සභාපති පත්කරන දිනයට ඒකරාශී වන සියලුම මැම්බර් මහත්වරු තම තමන්ගේ කැමැත්ත පරිදි කිසිදු ගාලගෝට්ටියක් නොමැතිව සභාපතිවරයා තෝරා පත්කර ගත්හ.

අතීතයේ ගම්සභා ඡන්දය සාමකාමීව පැවැත්වූවා සේම ඡන්දයෙන් තේරී පත්වූ ගම්සභා නියෝජිත හෙවත් ගමේ මැම්බර් මහත්මයා ගමේ ප්‍රභූවරයෙක් විය. චාම් ගති පැවතුම් ඇති ඔහු ග‍මේ මඟුලට, අවමඟුලට නැතිවම බැරි පුද්ගලයෙකි. එදා ඇතැම් ගම්සභා නියෝජිත මහතුන්ට බයිසිකලයක්වත් තිබුණේ නැත. පයින්ම ගොස් තම රාජකාරී ඉටු කළහ. ගමේ පොදු සංවර්ධන වැඩ ඉටු කිරීමට ජනතා ඉල්ලීම් අවශ්‍ය ‍නොවීය . තමන්ම සොයා බලා ගමට අවශ්‍ය ළිං, පිහිලි, පාරවල්, සුසාන භූමි ආදී පොදු වැඩ සඳහා ප්‍රතිපාදන ලබාගෙන ඒවා මැනවින් ඉටු කළහ. ඒ අනුව ජනතා ප්‍රසාදය ඔහුට නිතැතින්ම හිමිවිය. අද මෙන් එදා සංවර්ධන වැඩ ඉටුකළ පුද්ගලයාගේ නම සඳහන් බැනර්, පුවරු ප්‍රදර්ශනය නොකෙරිණි. මේ එදා පැවැති ගම්සභා ක්‍රමයයි.

අපේ ගම්වල අතීතයේදී පැවැති ග්‍රාමීය එක්සත් බව, සාමය, සංහිඳියාව එදා තිබූ ග්‍රාමීය මැතිවරණවලින්ද මැනවින් පිළිබිඹු කෙරේ. එය ආදර්ශයට ගෙන ගමේ ජනතාව අතර සුහදබව, සමගිය ආරක්ෂා කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයේදීද ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී ජනතාවට හිතැති ගමේ නායකයින් පත්කිරීමට ජනතාවගේ අවධානය ‍යොමු කළ හොත් එය ජනතා ජයග්‍රහණයක් වනු ඇත.

කලාභූෂණ - මහානාම ගලහිටියාව


නව අදහස දක්වන්න