ප්‍රජාතන්ත්‍රවාදය රකින නව ව්‍යවස්ථාව | දිනමිණ


 

ප්‍රජාතන්ත්‍රවාදය රකින නව ව්‍යවස්ථාව

දැනට බලපවත්නා වූ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒකාධිපති විධායක බලතල සහිත ජනාධිපතිවරයකු බිහිකරන “බහුබූත” ව්‍යවස්ථාවක් ලෙස සමාජගතවී රට පුරා ප්‍රචලිතව තිබුණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන ආකාරයේ නව ව්‍යවස්ථාවක් අභිනවයෙන්ම නිර්මාණය කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සහ එම ජාතික ව්‍යාපාරයත්, 49 ක් පමණ වන සිවිල් සංවිධානත්, වැළලී ගොස් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පරම සුන්දර චේතනාවෙන් ඇප කැප වූ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටේ ප්‍රගතිශීලී ජන සමාජයක් හඬනඟා ප්‍රකාශ කළ බව කිසිවකුට අමතක විය නොහැක. එමෙන්ම “වෙනසකට එක්වෙමු - මෛත්‍රී පාලනයක් 100 දිනකින් අලුත් රටක්” යන තේමාවෙන් මුද්‍රිත දින 100 වැඩසටහනෙහි 2015 අප්‍රේල් 20 වැනි සඳුදාට නියමිතව තිබූ කාර්ය භාරය මෙසේය.

“අත්‍තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහය ක්‍රියාත්මක වීම”යනුවෙනි. දශක කීපයක් තිස්සේ ජන්ද දායකයන් ඉල්ලා සිටියේත් මෙයයි. එමෙන්ම ඔවුනට නොලැබුණේත් එයමයි. දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින්, දේශපාලනඥයින් පොරොන්දු වූයේත් එයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ ඉදිරිපත්වී නැත. මේ අවස්ථාවේ ඉදිරිපත්වී ඇත්තේ සාකච්ඡාවට බඳුන්වීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක යෝජනාය. අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස යෝජනා, චෝදනා, තර්කවිතර්ක ඉදිරිපත් කරමින් තම තම මත ප්‍රකාශ කිරීමට සැලසී ඇති මහඟු අවස්ථාවකි. එවැනි අවස්ථාවකින් සාධනීය ලෙස උපරිම ප්‍රයෝජන නොගෙන සාධනීය කාර්ය භාරයක නොයෙදෙතොත් රටේ අභාග්‍යයකි. නොබෝ දිනවල ව්‍යවස්ථා සම්පාදක සභාව (Constitutional Assembly) ගැන පවා ඇතැම් උගතුන්ගෙන් පලවී ඇති මත කොතෙක් දුරට නිවැරදිද, සාධාරණද යනු විමසා බැලිය යුතුව ඇත. ඔවුන් නඟන පළමුවැනි ඉදිරිපත් කිරීම වී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වැනි වගන්තියයි. (එම 82 වන වගන්තිය උප වගන්ති 7කින් සමන්විතය.)

එකී 82 වගන්තියෙන් පෙන්වා දෙනු ලබන්නේ පනත් කෙටුම්පතක් ගැනත් පනත් කෙටුම්පතකට අදාළ ක්‍රියාපටිපාටිය ගැනත්ය. එනම් “ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ජින්න කිරීම හෝ සංශෝධනය සඳහා වූ පනත් කෙටුම් පතකට අදාළ ක්‍රියාපටිපාටිය ගැන මිස වත්මන් යෝජනා සාකච්ඡා කිරීම ආදිය ගැන නොවේ. එපමණක් නොව වෙනත් කාරණයක් වන 85 වගන්තියේ ප්‍රතිපාදන අනුගමනය නොකර 86 වගන්තිය යටතේ ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්නට උත්සාහ කළ අතීතයේ එක් අවස්ථාවක එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දෙමින් 2001 වසරේ අගෝස්තු මස 29 වැනිදා The Island (ද අයිලන්ඩ්) පුවත් පතෙහි “The Verdict of the people on The referendum has no force of Law – Dr.N.M. perera” යන සිරස්තලය යටතේ පළවුණ මාගේ ලිපියෙන්ද පෙන්වා දෙන්නට යෙදුන එක කාරණයක් වනුයේ පනත් කෙටුම්පතකට හිමි ස්ථානයයි.

ඇතැම් විකල්ප මත දරන්නන් ඉදිරිපත් කරන දෙවෙනි කාරණය නම්, ව්‍යවස්ථා සභාවක් (Constitutional Assembly) සඳහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට බලය දී නැති බවත්, සාමාන්‍ය ක්‍රමයට අනුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පාර්ලිමේන්තුව සමර්ථ නොවන්නේ නම් (If the parliament is not competent to draft a new Constitution in an ordinary manner.........) ඊට සමර්ථ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක උපකාරය ලබාගත හැකි බැවින් එසේ නොමැතිව සාදන කෙටුම්පත නීත්‍යානුකූල නොවන බවත් ය. මෙම තර්කය පාර්ලිමේන්තු ස්වාධිපත්‍යයට හෝ පාර්ලිමේන්තු ආධිපත්‍යයට (Parliamentary Sovereignty or parliamentary Supremacy) ඉඳුරාම එරෙහි බව පෙනේ. 2002 වසරේ සැප්තැම්බර් 23 වන දින දිනමිණ පුවත් පතෙහි පළවූ ලියුම්කරුගේ වූ දීර්ඝ ලිපියෙහි මෙවන් කාරණා ආවරණය වී ඇත.

“පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය යනු පළමුවෙන්ම කුමන හෝ නීති සම්පාදනයට හෝ නීති වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය වේ.” යනුවෙන් ඒ. වී. ඩයිසේ Law of the Constitution (ව්‍යවස්ථාකරණයේ නීතිය) ග්‍රන්ථයේ 10 වැනි මුද්‍රණයෙහි 39 – 40 පිටුවල ඩයිසේගේ ස්ථාවරයද ලියුම්කරුගේ ඉහත දැක්වූ දිනමිණ පුවත්පතෙහි පළවූ ලිපියෙහි සාකච්ඡාවට බඳුන් වී ඇත.

තවද සීමිත කිහිපදෙනෙකුගෙන් සමන්විත තේරීම් කාරක සභාවක මෙන් නොව ප්‍රස්තුත ව්‍යවස්ථා සභාව (Constitutional Assembly) බොහෝ දෙනෙකුගෙන් සමන්විත වූවකි.

තවද තුලනාත්මකව බලන විට කිහිපදෙනෙකුගෙන් පමණක් සමන්විත තේරීම් කාරක සභාවක පමණක් විෂයානුබද්ධ උගතුන් සිටීයයි කෙසේ නම් උපකල්පනය කළ හැකිද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය උදෙසා මුළු රට පුරාම සැසිවාර පැවැත් වූ අධිනීතිඥ ලාල් විජේනායක මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව ඉදිරියේ පුළුල් මහජනතාව පමණක් නොව බුද්ධිමතුන්, උගතුන්, දේශපාලන විද්‍යා විෂය විශාරදයන් යෝජනා, අදහස් - උදහස් දැක්වූ බව පැහැදිලි සත්‍යයකි. එහි කළුතර සැසි වාරයේ 2016 පෙබරවාරි 05 දිනය අවසාන භාගය පමණ තෙක්ම රැඳී සිටි ලියුම්කරුටද එය පැහැදිලි විය. සාධනීය යෝජනා ඉදිරිපත් වනු දැක බලා ගැනීමට හැකි විය. එපමණක් නොව මෙම විෂය මූල කරුණු මත වසර කිහිපයක් තුළ අදාළ ඒ ඒ අවස්ථාවල පුවත්පත්වල පළ වූ ලියුම්කරුගේ ලිපිද ලබාගත් ලාල් විජේනායක කමිටුව ප්‍රශංසනීය සේවයක් ඉවසීමෙන්, වගකීමෙන්, උනන්දුවෙන් සහ ප්‍රවීණත්වයෙන් යුතුව කළ බව පැහැදිලි විය.

ලාල් විජේනායක “කමිටුව ප්‍රජාතන්ත්‍රවාදයට ඉන්ධන සැපයුමක්” බව න්‍යායිකව, තාර්කිකව, ප්‍රායෝගිකව පෙන්වා දුන් 2016 පෙබරවාරි 15 දිනැති දිනමිණ පුවත්පතෙහි පළවූ ලියුම්කරුගේ ලිපිය වෙනත් කරුණු අතර “ප්‍රජාතන්ත්‍රවාදයට, සංහිඳියාවට සහ නීතියේ ආධිපත්‍යයට ඇති තර්ජන “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙත යෝජනා” ආදියෙන් යුත් උපශීර්ෂවලින්ද සමන්විතය.

විකල්ප මතධාරී ඇතැම් විද්වතුන් ඉදිරිපත් කරන තවත් කාරණයක් නම් 1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වන වගන්තියයි. උප වගන්ති 5කින් සමන්විත එම 51 වන වගන්තියෙන් කියවෙන්නේද පනත් කෙටුම්පතක් සහ ඊට අදාළ ක්‍රියාවලිය ගැන මිස අන් කිසිවක් ගැන නොවේ. වත්මන්ව්‍යවස්ථා මණ්ඩලය (Constitutional Assembly) සහ මෙහෙයුම් කමිටුව අබියස ඇත්තේ යෝජනා කිහිපයක් මිස පනත් කෙටුම්පතක් නොවේ.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් පිටත නව රඟහලේදී ඇරඹුන ව්‍යවස්ථා සම්පාදක සභාව (Constituent Assembly) සහ පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවක් ලෙස ගැනෙන වත්මන් (Constitutional Assembly) සහ මෙහෙයුම් කමිටුව පටලවාගත යුතු නැත.

1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාදක වූ 1970.07.19 දින රාජකීය කනිෂ්ඨ විදුහලේ නව රඟහලේදී ඇරඹි ව්‍යවස්ථා සම්පාදක සභාව එසේ පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වීමට හේතු වූයේ 1948 පෙබරවාරි 04 වැනි දිනැති ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (The Constitution of Ceylon) 29 (2) වගන්තියට පටහැනි නීතියක් අවලංගු බව 29 (3) වගන්තියෙන් ප්‍රකාශ කර තිබීමත්, අල්ලස් කොමසාරිස්ට එරෙහිව රණසිංහ (1964) (66 NLR73 පිටුව 78) රාජාධිකරණ (privy Council) යෙහි පියර්ස් සාමිවරයාගේ ප්‍රසංග වාක්‍යය හෙවත් ආගන්තුක ප්‍රකාශය (Obiter Dictum) වන 29 (2) වගන්තිය වෙනස් කළ නොහැක යන මතය නිසාත්ය. පාර්ලිමේන්තුව තුළ 1948 ව්‍යවස්ථාව වෙනස් කිරීමට 29 වගන්තියෙන් බාධක පැවති බැවින් නිජබිමේ ජනිත (Autochthonous Constitution) ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වීමට සිදු විය.

එනයින් ඒ ප්‍රශ්නය විසඳී ඇති මේ අවස්ථාවේ අභිනවයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක සභාවක් සේ මෙහෙයුම් කමිටු, විෂය කමිටු, කැබිනට් කමිටු, කෙටුම්පත් කමිටු ආදී අවශ්‍ය ආකාරයට කමිටු සෑදී අවසානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වන්නේ නම් කෙතරම් වටින්නේද? කෙතරම් සුගමද? කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද යන කාරණය ඇතැමෙක් විකෘති කර දක්වතොත් කෙතරම් අශෝභනද?

 

ඩී.එල්. උබේවර්ණ

නව අදහස දක්වන්න