යුගකාරක ගුරුභවතා සොයාගන්න | දිනමිණ

යුගකාරක ගුරුභවතා සොයාගන්න

පවතින අධ්‍යාපන ක්‍රමය තරම් විවේචනයට ලක්වන විෂය ක්ෂේත්‍රයක් තවත් ඇතැයි කිව නොහැක. එය එදත් අදත් කවදත් විවේචනයට ලක්වන්නකි. රටේ ඇතිවන හැම ව්‍යසනයකටම මූලික හේතුවක් වශයෙන් අධ්‍යාපන ක්‍රමයේ ඌණතා දැකීමට බහුතර ජනතාව පෙලඹී සිටිති. අධ්‍යාපන ක්‍රමයේ ඌණතා පවතින බව සැබවි. නමුත් සියල්ල සිදුවන්නේ අධ්‍යාපන ක්‍රමයේ වරද නිසාමද? පාසල තුළ ඒ ක්‍රියාත්මක වීමේදී කොතෙකුත් අඩුපාඩු ඇතිවිය නොහැකිද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පුළුල් ලෙස සිදුවේගෙන යන මේ අවස්ථාවේ මේ ගැනද අප විමසා බැලිය යුතුය.

රටට හා සමාජයට වැඩදායි අන්දමින් ඉතා උසස් ලෙස සැකසෙන කවර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් වුවද, සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක්කේ පාසල තුළ ඒ අධ්‍යාපන ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවෙන ආකාරයෙනි. අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන්නේ එක් පිරිසකි. එයට අදාළව අධ්‍යාපන සැලසුම් සකස් කරන්නේ තවත් පිරිසකි. සැලසුම්වලට අනුකූලව විෂය මාලා විෂය නිර්දේශ තවත් තැනෙක සැකසේ. අවසානයේ චක්‍රලේඛ, පාඨමාර්ග හා පොත්පත් වශයෙන් අධ්‍යාපන ක්‍රමය මුද්‍රිතව පාසලට පැමිණේ.

අධ්‍යාපන ක්‍රමය පාසල තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී දෙපිරිසක් එයට හවුල් වෙයි. ඒ සිසුහුය. ගුරුවරුය. මෙහිදී ඉගෙනීමට භාජනය වන්නේ ශිෂ්‍යයාය. එයට මගපෙන්වන්නේ ගුරුවරයාය. අධ්‍යාපන ක්‍රියාවලියේදී වඩාත් වැදගත් ස්ථානය හසුරුවන්නේ දරුවාට මගපෙන්වන ගුරුවරයා බව කිව යුතුය. අධ්‍යාපනයේ බලධරයන් මෙන්ම ගුරුවරයාද මේ බව බොහෝවිට නොදැන සිටීම, අධ්‍යාපනයේ අරමුණු විශාල වශයෙන් බිඳවැටීමට හේතුකාරක වී ඇත.

තෙරක් නොපෙනෙන සාගරයක රළගෙඩි ගල්පර හා චණ්ඩ කුණාටු ආදී බාධක මඟහැර නෞකාවක් නිසිමඟ හසුරුවමින් ගෙන යන දක්ෂ නියමුවකු සේ, ගුරුවරයාද තමා අතට පත් ජාතියේ දරු පරපුර තුළ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කරවමින් හැම අභියෝගයක්ම මැඩගෙන යා හැකි නිසිමග පෙන්නා දෙමින් ඔවුන් ඉදිරියට ගෙන යා යුතුය. රියැදුරා සුක්කානම හරවන අතට රථය ගමන් කරන්නා සේ ගුරුවරයා දරු පරපුර හැඩගස්වන අතට ඒ ජාතියද ගමන් කරයි. පාසලේ පටන් විශ්වවිද්‍යාලය තෙක් ගුණාත්මක වශයෙන් අධ්‍යාපනයේ සෝදා පාළුවක් අපට දැකිය හැක්කේ, ඒ ධර්මතාව හරිහැටි අවබෝධ කර නොගෙන කටයුතු කිරීමේ හේතුවෙනි.

අප මෙයින් අදහස් කරන්නේ දරුවා යන අධ්‍යාපන ගමනේදී දරුවා යහමඟ යොමුකරවීම පිළිබඳ සියලු බර හා වගකීම ගුරුවරයා පිට පැවරීම නොවේ. අධ්‍යාපන ක්‍රියාවලියේදී ගුරුවරයාගේ භූමිකාව පැවතිය යුතු ආකාරයත් ඔහු වෙත පැවරෙන වගකීමත් පෙන්නා දීමකි. “ගුරුවරයා” යන වචනය අපට ඇසෙනවිට අප ඉදිරිපිට අප දකින්නේ දැනුමෙන් කුසලතාවන්ගෙන් යහගුණයෙන් හා උසස් ආකල්පයෙන් පිරි කෙනෙකුට ආදර්ශයක් ගත හැකි මඟපෙන්වීමක් කළ හැකි සංවරශීලී නිවුණු තැන්පත් උදාර පුද්ගලයෙකි. හැම ගුරුවරයකු තුළම මේ උදාර පුද්ගලයා අපට දැකිය හැකිද? දරුවාගේ අධ්‍යාපනයට, හැදියාවට අතිශයින්ම හානි කරවූ විවිධ චරිත හා පහත් ආකල්පයන් ඇති ගුරුවරුන් අපට දැකිය හැක.

ගුරුවරයා පාසලට පමණක් සීමා විය යුතු පුද්ගලයකු නොවේ. විෂය නිර්දේශයන් අතර කොටුවී හිරැවී සටහන් දෙමින් විභාගයට සිසුන් පෙළගස්වන ‘ටියුටරි’ කාරයෙක්ද නොවිය යුතුය. ශිෂ්‍ය ජීවිතය පුරා ඔහුගේ මඟපෙන්වීම හා ආදර්ශය අවශ්‍ය වේ. මුළු මහත් සමාජයටම මුළු විශ්වයටම ඔහු ගුරුවරයෙක් විය යුතුය. ආදර්ශමත් ගුරුවරයෙක් ගොඩනැගෙන්නේ විභාග සහතික මත නොවේ. දැනුම ප්‍රඥාව කුසලතා හොඳ ආකල්ප හා සාරධර්ම මත ගොඩනැගුණු පෞරුෂය තුළින් ආදර්ශමත් ගුරුවරයකු දැකිය හැක. සමාජයේ යහපතට හේතුවන සේ දරු පරපුර හැඩගැස්වීම ගුරුවරයාගෙන් ඉටුවිය යුතු උදාර මෙහෙවරයි. විභාගය පමණක් ශිෂ්‍ය අධ්‍යාපනයේ ඉලක්කය කරගෙන විභාගයට සිසුන් සූදානම් කරන පිරිසකට උදාර අදීන ජාතියක් ගොඩනැඟිය නොහැක. කුඹල්කරුවකු අතට පත්වන අමු මැටි පිඩ පදම්කොට හැඩ වැඩ දමා ජනතාවගේ ප්‍රයෝජනයට ගත හැකි දැකුම්කළු මැටි බඳුනක් බවට පත්වන්නා සේ, ගුරුවරයා අතට පත්වන හය හතර නොදත් දරුවා දැනුමෙන් කුසලතාවන්ගෙන් හා උසස් ආකල්පයන්ගෙන් පිරිපුන් පූර්ණ මිනිසකු ලෙස යහපත් පුරවැසියකු ලෙස හැඩගස්වා පාසලෙන් සමාජයට යැවේ නම්, අධ්‍යාපනයේ උපරිම ඵලය අප අත්පත් කරගත්තා යැයි අපට සිතිය හැක.

විභාගය කේන්ද්‍රිය කරගත් අධ්‍යාපන ක්‍රමයක් තුළ හිරැවී මෙය කරන්නේ කෙසේද? දූෂණ හා අපරාධ ඉහවහා ගිය සමාජ වටපිටාවක් තුළ ගුරුවරයාට පමණක් මේ තත්ත්වයට දරුවා ගෙන ආ හැකිද? කිසිවකු එසේ ප්‍රශ්න කළ හැක. ගුරුවරයා තුළ හෝ කවරකු තුළ හෝ මේ ආකල්පය පවතින තාක් යහපත් සමාජයක් බිහිකළ නොහැක. උසස් ආකල්පයන්ගෙන් පිරිපුන් ගුරු පරපුරක සෙවණේ අපේ දරු පරපුර ඇති දැඩි කළ යුතුය. සමාජ විරෝධී හා රාජ්‍ය විරෝධී ආකල්ප මත පිහිටා ගුරුවරයාට මේ උසස් සේවය කළ නොහැක.

උසස් ආකල්පයන්ගෙන් හෙබි ගුරුවරයා හැමවිටම උත්සාහ ගන්නේ දරුවාට නිසිමග පෙන්වා දෙමින් ඔහු සුමගට ගෙන හොඳ මිනිසකු කිරීමටය. දරුවාට විෂය දැනුම පමණක් ලබාදෙමින් සෑහීමට පත්නොවී දරුවාගේ කුසලතා හා නිර්මාණ ශක්තීන් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කර ගැනීමට මග පාදාදෙමින් යහපත් ආකල්පයන්ගෙන් හා සාරධර්මයන්ගෙන් පිරි විනයගරුක පුද්ගලයකු තැනීම තමාගේ යුතුකම හා වගකීම බව ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටී.

“අධ්‍යාපන ක්‍රමයක අගය මැනගත හැක්කේ එයින් බිහිවන පුද්ගලයා සමාජයීය යුතුකම් ඉටුකරන ආකාරයෙනි” බැග්ලේ නමැති අධ්‍යාපනඥයා ප්‍රකාශ කරයි. සමාජයීය යුතුකම් අමතක කොට අයිතිවාසිකම් සඳහා සටන් කරන විප්ලවීය සමාජයක් ගොඩනැගෙමින් පවතින්නේ උදාර ආකල්පයන්ගෙන් තොර පරම්පරාවක් පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් සමාජයට පිවිසීමේ හේතුවෙනි. සාරධර්මයන්ගෙන් හා උසස් ආකල්පයන්ගෙන් තොර උගත්කම හැමවිටම සමාජයට අවැඩදායකය. ඒ උගත්කම තුළින් බිහිවන්නේ මිනිස්කම නොහඳුනන සමාජයකි. මිනිස්කම දරුවාට කියා දිය නොහැකි හඳුන්වා දිය නොහැකි ගුරුවරයාගේ පොතේ ඉගැන්වීම අසාර්ථක වූවකි.

අධ්‍යාපනයේ සැබෑ පරමාර්ථය “‍කළු කෝට් දැමූ ජංගම තර්ක ග්‍රන්ථයක් බිහිකිරීම නො‍ව ආත්ම ශික්ෂණයෙන් හෙබි උදාර පුද්ගලයකු දොරට වැඩීමය” ජෝන් රස්කින් අධ්‍යාපනඥයා එසේ ප්‍රකාශ කරයි. පාසලෙන් එබඳු උදාර පුද්ගලයකු සමාජයට බිහිකළ හැක්කේ උදාර ගුරුවරයකුට පමණි.

කලාභූෂණ
ඩී. එම්. විජේදාස
විශ්‍රාමලත් විදුහල්පති සාමවිනිසුරු


නව අදහස දක්වන්න

Or log in with...