මේ අවුරුද්ද දරුවන්ට වෙන් කළා | දිනමිණ

මේ අවුරුද්ද දරුවන්ට වෙන් කළා

හලාවත පදවියේ රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමි‍පාණෝ

හලාවත පදවිය 2018 වසර ළමා වසර නමින් නම් කර ඇත. සියල්ලට වඩා දරුවන් අතහැරී ඇති මෙවැනි සමයක දරුවන් වෙනුවෙන් වසරක් වෙන් කිරීමට තීරණය කරීම ඉතා වැදගත්ය. එහෙත් එය වසරකට සීමා නොවී දීර්ඝකාලීන විය යුත්තේ දරුවන් අතහැරීමට කිසිවකුට කිසිම සමයක නොහැකි බැවිනි. 2018 වසරේ දරුවන් වෙනුවෙන් හලාවත පදවිය කරන්නට සූදානම් වන්නේ කිනම් මෙහෙවරක්ද? වසරක් පාසා දරුවන් වෙනුවෙන් ඉටු කරන සේවය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද? දරුවන් මූලිකව මුහුණ දෙන ගැටලු මොනවාද යන්න ගැන කිතුනු මිණ රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ සමඟ කළ සාකච්ඡාවකි මේ.

2018 වසර ළමා වසර ලෙස නම් කිරීමට තීරණය කළේ ඇයි රදගුරුතුමෙනි?

සමාජය ශීඝ්‍රයෙන් වෙනස්වීම්වල‍ට ලක්වෙමින් පවතිනවා. එතැනදී සමාජ යහපතට මෙන්ම අයහපතටත් බොහෝ දේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සන්නිවේදනය නැති නම් මාධ්‍ය නිසා සමාජය මොහොතින් මොහොත ‍වෙනස්වීම්වලට ලක් වෙමින් පවතිනවා. තාක්ෂණයේ හෝ මාධ්‍යයේ දියුණුව නවත්වන්න හෝ එය වැරැදියි කියන්න බැහැ. ලෝකයේ දියුණුවට සියල්ල ඉදිරියට යා යුතුයි. එහෙත් මේ සියලු පරිවර්තනයන් මැද නිවැරදි දේ පමණක් ජීවිතයට ළඟා කර ගන්න අපි දරුවන්‍ට උගන්වන්න ඕනේ.

පවතින තරඟකාරී සමාජ ක්‍රමය හා දියුණු සන්නිවේදන මෙවලම් දරුවන්ගේ ජීවිත බොහෝ ප්‍රශ්නවලට ඇද දම‍‍ා තියෙනවා. ඒ ප්‍රශ්නවලින් මිදෙන්න දරුවන්ට අත්වැලක් වීම සමස්ත සමාජයේම වගකීමක්. කිතුනු සභාව විදියට අපටත් ඒ වගකීමෙන් ‍මිදෙන්න බෑ. දරුවන් ගැන විශේෂ අවධානයක් දැක්වීම අපේ ප්‍රධාන වගකීමක්.

අපි දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පළමු වතාව මෙය නොවෙයි. මීට පෙරත් අඛණ්ඩව අපි දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් දියත් කළා. එය තව දුරටත් වැඩි වර්ධනය කළ යුතු බව අපට දැනුණා. ඒ නිසා තමයි අපි මේ වසර ළමා වසර හැටියට නම් කළේ.

දරුවන්ගේ ජීවිත කුමන පැති හරහාද සංවර්ධනය කරන්නට හිතුවේ?

විවිධ පැති හරහා දරුවන්ගේ ජීවිත ‍ගොඩ නඟන්නට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම දරුවන්ගේ ආධ්‍යාත්මය, විනය, පෞරුෂත්වය, නායකත්වය, අධ්‍යාපනය වැනි අංශ කෙරෙහි වගේම දැනුම, ආකල්ප හා කුසලතාවලින් පිරිපුන් අධ්‍යාපනයක් ලබන්නේ කෙසේද යනාදී කාරණා ගැන දරුවන් අවදි කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරුවන්ට අවශ්‍ය උපදේශනය, කණ්ඩායම් ලෙස මෙන්ම තනි තනිවත් ලබා දීමට අප ක‍ටයුතු යොදා තියෙනවා.

ඔබවහන්සේ දකින විදියට හලාවත පදවියේ දරුවන්ගේ ප්‍රධාන ගැටලු මොනවාද?

පුත්තලම් දිස්ත්‍රික්කයේ දරුවන් 50000ක් අධ්‍යාපනය හදාරනවා. ඇතැම් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ගුණාත්මක තත්ත්වයක තියෙනවා. එහෙත් ඇතැම් ප්‍රදේශවල එහෙම තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අධ්‍යාපනය ගොඩ නඟා ගැනීම‍ට මූලික වශයෙන් බලපාන මානසික ගොඩ නැඟීම කරන්න ඕනේ. අනෙක් පැත්තෙන් දරුවන්ගේ විනය පිරිහීමක් දකින්න තියෙනවා. දරුවන් ආධ්‍යාත්මික පැත්ත කඩා වැටෙන පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසාම සාරධර්ම විනාශයට යමින් පවතිනවා. දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්ක බවට පත්වෙමින් යනවා‍. මත්ද්‍රව්‍ය වැලැක්වීම රජයේ වැඩක්. නමුත් දරුවන්ට මේ විනාශයෙන් ගැලවී ඉන්නට කියා දීම සමස්ත සමාජයේම වගකීමක්. අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් ආක්‍රමණය කරන්නට ප‍ටන් අරන්.

ඒ වගේම තරඟකාරී අධ්‍යාපන ක්‍රමය නිසා දරුවන් මානසික හා කායික වෙහෙසට පත්ව තිබෙනවා. මෙවැනි බොහෝ දේවල් නිසා දරුවන්ට විවිධ ප්‍රශ්න ඇති වී තිබෙනවා.

ඔබ වහන්සේගේ පදවියේ දරුවන්‍ මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ තනිකමයි. මොකද බොහෝ මවුපියන් විදේශගතව සිටිනවා. මේ ගැටලුව විසඳීමට ඔබ වහන්සේ කුමන විසඳුමක්ද ඉදිරිපත් කරන්නේ?

මවුපියන්ට විදේශගත වෙන්න එපා කියන්න අපිට බෑ. අපට මෙතැනදී කරන්න පුළුවන් වෙන්නේ ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ජීවිත ජයගන්න විදිය ගැන දරුවන්‍ට කියා දෙන එකයි. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙන්න අප කටයුතු කරනවා.

මේ ගැටලු විසඳමින් දරුවන්ගේ ජීවිත සංවර්ධනය කරන්නට මොන විදියේ වැඩසටහන්ද ආරම්භ කර තියෙන්නේ?

මේ වෙනුවෙන් කමිටුවක් පිහිටුවා තියෙනවා. ඊට අමතරව හලාවත පදවියේ දිසා හතර වෙනුවෙන් අධ්‍යක්ෂ පියවරු හතරදෙනෙක් පත් කරලා තියෙනවා. ඒ අය අතර හොඳ සම්බන්ධීකරණයක් තියෙනවා. මේ කමිටු‍ව හා අධ්‍යක්ෂ පියවරු, පාසල් සහ දහම් පාසල් ඉලක්ක කරගෙන තමයි වැඩසටහන් මෙහෙයවන්නේ. ඒ වැඩසටහන් සඳහා සුදුසුකම් ලත් සම්පත්දායකයන් මේ කමිටුවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ අය කණ්ඩායම් වශයෙන් පාසල්වලට හා දහම් පාසල් මාර්ගයෙන් දරුවන්ට කතා කරනවා. දරුවන්ගේ ජීවිතවල‍ට අවශ්‍ය මාර්ගෝපදේශනය, උපදේශනය ලබාදීම මෙහිදී සිදු කෙරෙනවා. ඒ වගේම දරුවන්‍ට පුළුවන් මෙහිදී සාමුහිකව මෙන්ම පෞද්ගලිකව තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න‍. යම් දරුවකුට එක දිනක උපදේශනයක් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. එවැනි දරුවන්ට ගැටලුවෙන් මිදෙන තුරු උදව් කරන්න අපේ කණ්ඩායම කැප වී සිටිනවා.

හලාවත පදවියේ පාසල් එකසිය හැට ගණනක් තියෙනවා. දහම් පාසල් 230ක් තියෙනවා. දහම් ගුරුවරු 2300ක් ඉන්නවා. මේ අය වගේම මවුපියන්වත් සම්බන්ධ කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. එක වැඩසටහනක් අවසානයේ අනිවාර්යෙන්ම අපි පසුවිපරමකුත් කරනවා.

දරුවන්ගේ ජීවිත සංවර්ධය කිරීමට සෞන්දර්ය විෂයන් මඟින් කෙරෙන කාර්යය අපමණයි. ඒ වෙනුවෙනුත් යම් වැඩපිළිවෙළක් තිබෙනවාද?

බොහෝ කාලයක සිට අප ඒ වෙනුවෙන් කටයුතු කරනවා. හලාවත පදවි සංස්කෘතික කමි‍ටුව තමයි ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ. නමුත් මේ සංස්කෘතික කටයුතුවලට ළමුන් සියලු දෙනා සහභාගී වෙන්නේ නෑ. ඒ නිසා සෑම ළමයකුම ආවරණය වෙන විදියට තමයි මේ වසරේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට අප බලාපොරොත්තු වෙන්නේ.

දරුවන්ගේ ජීවිතවලට ‍බොහෝ සමීප පිරිස වන්නේ මවුපියන් හා ගුරුවරුන්‍. ළමුන්ගේ ජීවිත ගැටලු විසඳන්නට නම් මේ දෙපිරිසටම කතා කරන්න වේවි නේද රදගුරුතුමෙනි?

අනිවාර්යෙන්ම අප මවුපියන්ට කතා කරනවා. විවිධ වැඩසටහන් මඟින් දරුවන්‍ට හා මවුපියන්ට අපි කතා කරන්න අපට හැකි වී තිබෙනවා. දහම් පාසල් ගුරුවරුන්ටත් විවිධ වැඩමුළු පැවැත්වෙනවා.

ළමයින් ගැන අවධානය යොමු කිරීම මේ වසරෙන් අවසන් වේවිද? නැතිනම් අඛණ්ඩව ක්‍රියාත්මක වේවිද?

මේ වසරින් අවසන් වෙන්නේ නෑ. අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. අප මීට වසර හතරකට කලින් තරුණයන් වෙනුවෙන් වසරක් නම් කළා. එහිදී ආරම්භ වූ කටයුතු තවමත් කෙරෙනවා. ඒ වැඩසටහන් දිරි ගැන්වීමට මමත් පෞද්ගලිකව ඒ කටයුතුවලට සහභාගී වෙනවා. ඒවා ගැන පසුවිපරම් කරනවා. ඒ නිසා මේ වසරින් ඇරඹෙන කටයුතු මේ වසරින් අවසන් වෙන්නේ නෑ. දිගටම ඒ කටයුතු සිද්ධ වෙනවා.

මාරවිල උපදේශන මධ්‍යස්ථානය හරහාත් අප උත්සාහ කරන්නේ මේ කටයුතු ඉදිරියට ගෙන යන්නයි. උපදේශනය වගේම සංවර්ධනයත් අවශ්‍යයයි. ඒ නිසා අප උපදේශන මධ්‍යස්ථානයේ කටයුතු වගේම දරුවන් මුණ ගැසෙමින් ඔවුන්ව නඟා සිටුවීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.

අවසාන වශයෙන් දරුවන්ගේ දියුණුව වෙනුවෙන් ඔබවහන්සේ සමාජයට දෙන පණිවුඩය කුමක්ද?

රටක දියුණුව කියන්නේ ආර්ථික වර්ධනයට පමණක් නොවෙයි. රටක් දියුණු වෙනවා කියන්නේ ඒ රටේ මිනිසුන්ගේ දියුණුවයි. මනුෂ්‍යත්ව ගොඩ නොනැඟී කුමන දේ ගොඩ නැඟුණත් වැඩක් වෙන්නේ නෑ. එතැනදී දරුවන්ට විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද රටේ අනාගතය වන්නේ දරුවන්. ඔවුන් තමයි ඉදිරියේ දී මේ රට බාර ගන්න ඉන්නේ. උගත් මනුෂ්‍යයන් හැටියට දරුවන්ගේ ජීවිත ගොඩ නැඟුවේ නැත්නම් යහපත් අනාගතයට පදනම දමන්න බැහැ. ඒ නිසා දරුවන්ගේ යහපත වෙනුවෙන් කැපවීම සියලු දෙනාගේම වගකීමක්.

සුමේධා නවරත්න 


නව අදහස දක්වන්න