දූෂණය ආයතනගත වෙලා | දිනමිණ

දූෂණය ආයතනගත වෙලා

පුරවැසි බලය සම කැඳවුම්කරු, දේශපාලන විශ්ලේෂක, ලේඛක ගාමිණී වියන්ගොඩ

සම්මුතිවාදී ආණ්ඩුවේ ගෙවුණු වසර තුන, ඉදිරියේ පැවැත්වෙන පුංචි ඡන්දය, අලුත් මැතිවරණ ක්‍රමය, දූෂණ විරෝධය, සිවිල් සංවිධානවල කාර්ය භාරය ආදිය පිළිබඳ අදහස් දක්වමින් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු දේශපාලන විශ්ලේෂක, ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ එහා ඉවුරට එක්වේ.

ලෝකයට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙනවා කී සම්මුතිවාදී ආණ්ඩුව වසර තුනක් පසු කළා. යහපාලනය ආණ්ඩුව බිහි කරන්න ඔබ ඇතුළු සිවිල් සමාජය විශාල බලපෑමක් කළා. ගෙවුණ කාලය තුළ රට තුළ සාධනීය වෙනස්කම් සිදු වුණා ද?

පැහැදිලිවම සාධනීය තත්ත්වයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. පළමු කාරණය තමයි 2015 ජනවාරි 8 වැනිදාට පෙර තිබූ දේශපාලනික තත්ත්වය විපර්යාසාත්මක වෙනසකට ලක් වීම. විශේෂයෙන්ම මේ රටේ සියලු පුරවැසියන්ට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ තිබුණේ නෑ. මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධුර කාලය තුළ මෙරට තිබුණ ස්වාධීන ආයතන සියල්ල නිෂ්ක්‍රීය කරලා තිබුණා. මේ රටේ මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රචණ්ඩත්වය භාවිත කරන තත්ත්වයක් ඇති වෙලා තිබුණා. රූපවාහිනී නාලිකාවලට පහර දුන්නා. රජයේ රූපවාහිනී ආයතනයටත් දේශපාලකයන් ඇතුළු වෙලා ප්‍රචණ්ඩත්වය භාවිතා කළා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. මාධ්‍යවේදීන්ට පහර දීලා පැහැර ගත්තා. උතුරේ තිබුණේ මීට වඩා භයානක තත්ත්වයක් තිබුණේ. සමස්තයක් විදිහට ගත්තාම අපේ රටේ කතා කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් තිබුණේ නෑ.

ඔබ පවසන ආකාරයේ මාධ්‍ය මර්දනයක් තිබුණි නම් ඊට එරෙහිව එදා කිසිවෙක් හඬ නැඟුවේ නැත්තේ ඇයි?

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනකොට, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරනකොට මේ රටේ සියලු මාධ්‍යවේදීන් ස්වයං වාරණයක් ගොඩනඟා ගත්තා. සුදු වෑන්වලින් ඇවිත් පැහැර ගන්නකොට ස්වභාවිකවම මේ ස්වයං වාරණය මතු වෙනවා. එදා මාධ්‍යවේදීන් ඉතා පරෙස්සමෙන් ලියන්න, කියන්න ඕන කියන තැනට පත් වුණා. ජනවාරි 8 වෙනකොට ස්වයං වාරණය යටතේ තමයි මේ රට තිබුණේ. ගෝඨාභය වගේ කෙනෙක් කටක් ඇරලා විවේචනය කරන්න එදා කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. කාටූන් ශිල්පියෙක්වත් ගෝඨාභය රාජපක්ෂගේ රූපයක් ඇන්දේ නෑ.

මේ ආණ්ඩුව ආවට පස්සේ ඒ තත්ත්වය වෙනස් වුණා. ඒ අද ජනපතිවරයා, අගමැතිවරයා, ආණ්ඩුව ඉතාමත් නිර්දය ලෙස විවේචනයට ලක් වෙනවා. යුක්ති සහගතවත්, ඇතැම් අවස්ථාවල අයුක්ති සහගත ලෙසත් මේ දේ වෙනවා. එහෙම වුණේ ජනවාරි 8 නිදහසෙන් පස්සේ. ජනවාරි 8 වැනිදායින් පස්සේ මාධ්‍යවේදීන් සුදුවෑන්වලින් උස්සන් ගිහින් නෑ, අතුරුදන් වෙලා නෑ, පහර දීලා නෑ, ඝාතනය කරලා නෑ.

පැවැති ආණ්ඩුව පෙරළා දැමීමට එක්වුණ සිවිල් බලවේග, අද මේ රටේ ජනවර්ග අතර ඇති වී තිබෙන නොසන්සුන්තාවය රජයට පෙන්නලා දෙන්න ඉදිරියට එන්නෙ නෑ. හැට දෙලක්ෂ ජනතා පැතුම ගැන හඬ නඟන්න ඇයි ඉස්සරහට එන්නෙ නැත්තෙ?

මම නියෝජනය කරන්නේ පුරවැසි බලය. පුරවැසි බලය එක දිගටම ඔය කියන කාරණා පිළිබඳව හඬ නඟනවා. අපි හැට දෙලක්ෂයේ ව්‍යාපාරය කියලා සත්‍යග්‍රහ තුනක් දැනට පවත්වලා තියෙනවා. ඒවාට මහජනතාව දහස් ගණනින් සහභාගි වුණා. එතැනදී අපි මේ ආණ්ඩුවේ සාධනීය දේවල් අගය කරලා, මේ ආණ්ඩුවේ අපි දකින දුර්වල තැන් පෙන්වලා දීලා විවේචනය කළා. ඊට අමතරව සම්මන්ත්‍රණ සිය ගණනාවක් මේ වසර තුන ඇතුළත රට පුරා පවත්වලා තියෙනවා. ඒ වගේම තවත් ඉදිරියට එවැනි සම්මන්ත්‍රණ රට පුරා පවත්වාගෙන යනවා.

ඒ නිසා අපි නිශ්ශබ්දව ඉන්නවා යැයි කියන්න කාටවත් බෑ. අවශ්‍ය ප්‍රමාණයෙන් අපේ හඬ අවදිකරනවා. නමුත් ජනවාරි 8ත් එක්ක සන්සන්දනය කිරීමේ දී ඒ තරම් ක්‍රියාකාරීත්වයක් නොපෙනෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි ජනවාරි 8 වැනිදාට කලින් තිබුණේ ආණ්ඩු පෙරළියක් සඳහා කරපු අරගලයක්. අද තියෙන්නෙ ආණ්ඩු පෙරළියක අරගලයක් නෙවෙයි, තියෙන ආණ්ඩුව ලවා මේ රටේ පුරවැසියා අපේක්ෂා කරපු දේවල් ඉෂ්ඨ කර ගැනීමේ අරගලයක් තමයි අද තියෙන්නෙ.

ආණ්ඩුවේ නායකයින් දෙපළ එකිනෙකාට චෝදනා කරගන්න තැනට අද පත් වෙලා. පැවැති රජයේ දූෂණ වංචා හෙළි කරනවායැයි කියූ ආණ්ඩුව ඇතුළේ දින සීයයක් යන්නත් කලින් බැඳුම්කර වංචාව සිදු වුණා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොම ද?

අපේ රටේ දූෂණය කියන කාරණය ආයතන ගත වෙලා, සමාජගත වෙලා කියලයි. දූෂණය කියන එක සහමුලින් නැති කරපු රටක් ලෝකයේ නෑ. දියුණු රටවල පවා දූෂණ වෙනවා. නමුත් ඒ රටවල ඒවා සමාජ ක්‍රමයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒත් අපේ රටේ සමස්ත ආයතන පද්ධතියම, දේශපාලන පද්ධතියම දූෂිතයි. සමාජයක් විදිහට ගත්තාම අපිත් දූෂිතයි. ඒ කියන්නේ අපි ආකල්පමය වශයෙන් දූෂිතයි. උදාහරණයක් කිව්වොත් සාමාන්‍ය පුරවැසියෙක් යමක් රජයේ ආයතනයකින් කරගන්න ගියාම, ඒ ආයතනයේ කාර්යාල කාර්යය සහයකගේ ඉදලා ඉහළම නිලධාරියා දක්වා යම් අල්ලසක් දීම සාමාන්‍ය දෙයක් කියලා සලකනවා.

එහෙම නොදී කිසිවක් කරගන්න බෑ කියලා හිතනවා. මේ අදහස නිකම්ම ඔළුවට ආව එකක් නෙවෙයි. නිදහස ලැබුණ දා ඉදලා ක්‍රම ක්‍රමයෙන් ආපු දෙයක්. නමුත් මහින්ද රාජපක්ෂගේ කාලය තුළ මේ තත්ත්ව සීමාව ඉක්මවා ගියා. ඒ රාජ්‍ය තන්ත්‍රය යටතේ බිලියන ගණනින් මහජන මුදල්, රාජ්‍ය සම්පත් අත්පත් කර ගත්තා. ජනවාරි 8ට කලින් අපි අරගල කළේ ඒ දූෂිත දේශපාලකයන් නීතිය ඉදිරියට ගේන්න. අද වෙනතුරු ඒක සාර්ථක වෙලා නෑ. අධිකරණය හිටපු ජනාධිපති ලේකම්වරයා වැරැදිකරුවෙක් කළා. ඇරුණකොට වෙන කිසිවක් වෙලා නෑ. මේක රජයේ නොහැකියාව. ඒ නොහැකියාවට සෘජුවම වගකියන්න ඕනේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් නොකිරීමේ පූර්ණසහගත වගකීම මේ දෙදෙනාට පැවරෙනවා.

ඔබ කියන්නේ මේ රටේ සියලු පද්ධති දූෂිතයි, ඒ සියලු දූෂිත පද්ධති නිවැරැදි කිරීමේ හැකියාවක් වත්මන් පාලකයන්ට හෝ කවරකුට හෝ නැහැ කියන එක ද?

දූෂණය කියන එක සමාජගත වෙලා, ආයතනගත වෙලා තියෙන නිසා මුලිනුපුටා දැමීම ලෙහෙසි පහසු නෑ. සතියකින් දෙකකින්, අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. මේකට යම් කාලයක් ගත වෙනවා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ගෝඨාභය, බැසිල් සම්බන්ධයෙන් විවිධ චෝදනා ඉදිරිපත් වෙලා තියෙනවා. අද නඩු වාරය කැඳවුවාම ආයෙ කැඳවන්නෙ තවත් මාස හයකට පස්සෙ. ඒකට හේතු තියෙනවා. නඩු ගොඩගැහිලා, විනිශ්චකාරවරු මදි, අධිකරණ ක්‍රියාවලිය ඉතා මන්දගාමීයි.

මේ දේවල් නඩු හිර වෙන්න බලපානවා. ඒවත් නිවැරැදි කරගන්න යම්කිසි කාලයක් ගත වෙනවා. හැබැයි අර කියන නායකයින් දෙන්නාගේ කැපවීම මේ කාරණයට තිබුණා නම්, ඔය කියන සෑම දෙයක්ම දෙවැනි තැනට වැටෙනවා. ඒ දෙන්නට මේ අපරාධකාරයින් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් කරන්න ඕනෑකමක් තියෙනවා නම්, මේක මාසයක දෙකක වැඩක්. අවාසනාව තමයි අපේ රටට ඒ විදිහේ නායකයින් නැහැ. අපි මේ කාරණා සිවිල් ව්‍යාපාරයක් විදිහට ජනතාවට කියනවා. දූෂණ විරෝධය කියන්නේ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට පාවිච්චි කරන සටන් පාඨයක් නෙවෙයි. අද වෙනදටත් වඩා දූෂණය ගැන ජනපතිවරයා, අගමැතිවරයා කතා කරනවා.

පෙබරවාරි 10 මැතිවරණය එන නිසා මේ අය එහෙම කතා කරනවා. හැමදාම ජනතාව අන්දන්න බෑ, මේ ජනතාව බුද්ධිමත් ජනතාවක්. අපි හැමදාම ජනතාවට මේ කාරණය කියනවා. දූෂණය කියන කාරණය නැති කරන්න ජනතාව තවදුරටත් අපිව අන්දන්න බෑ කියන එක මේ නායකයින්ට මහජනතාව මතක් කරන්න ඕන.

වත්මන් ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සාධනීය පියවරවල් රැසක් ගත්තා. ස්වාධීන කොමිෂන් සභා බල ගැන්නුවා. ඒත් දූෂණයට එරෙහිව කටයුතු කළ හැකි විගණන පනත තවමත් පාර්ලිමේන්තුවට ගෙනාවේ නෑ?

පැවැති රජයක දූෂණයක්, අක්‍රමිකතාවයක් පවතින රජයක් පරීක්ෂණ ආරම්භ කරනවා නම්, ඒ පරීක්ෂණ සාර්ථක වීම සඳහා පවතින රජය පැවැති රජයෙන් වෙනස් රජයක් වෙන්න ඕන. නමුත් අද තියෙන රජය පැවැති රජයට වඩා එක පැත්තකින් වෙනසක් පෙන්නුම් කළාට, තවත් පැත්තකින් සමානකමක් පෙන්නුම් කරනවා. හේතුව දූෂණ චෝදනා විශාල ප්‍රමාණයක් තියෙන හිටපු ඇමැතිවරු මේ රජයේ සිටීම. ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලකයෝ පවා මේ රජයේ ඉන්නවා. එතකොට කොහොමද පැවැති රජයේ දූෂණවලට එරෙහිව කටයුතු කරන්නේ. එතැනම නොගැලපීමක් තියෙනවා. අද මේ ආණ්ඩුවට දූෂිතයන්ට එරෙහිව කටයුතු කරන්න අපහසු වෙලා තියෙන්නේ ඒ නිසා. පළාත් පාලන මැතිවරණයේ දී අපේක්ෂකත්වය දූෂිතයන්ට. සමාජය ප්‍රතික්ෂේප අයට දීලා දූෂණ විරෝධය ගැන කතා කරනවා.

දූෂණය නවත්වන්න නම් ඒකට අවශ්‍ය මූලික ව්‍යුහය සැකසෙන්න ඕන. මේ අවුරුදු තුන ඇතුළත මේ රටේ ජනතාවගේ ලොකු පිබිදීමක් තියෙනවා. අද සමාජය දැනුවත්. බැඳුම්කර වංචාව ගැන අද ගොඩක් දෙනෙක් කතා කරනවා. වර්තමානයේ සමාජය විවෘත කරගත්තු මේ නිදහස දියුණුවේ ලක්ෂණයක්. දූෂණය වැළැක්වීමට කොයි තරම් කාලයක් ගත වෙයිද කියලා කියන්න බෑ. හැබැයි සමාජය මේ සම්බන්ධයෙන් ඝෝෂා කරනවා. ඒ ගැන රජයට, පාලකයන්ට ඇහුන්කන් දෙන්න වෙනවා.

පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරු රාජ්‍ය නිලධාරින් ගස් බැදලා, ගුරුවරු දණගැස්සුවා. මේ රජයේ පළාත් මහ ඇමැතිවරයෙක් විදුහල්පතිවරියක් දණගැස්සුවා. හැබැයි ජනපතිවරයා යනවා සියලු දූෂිත වරදකරුවන්ට දඬුවම් දීලා පුටුවෙන් බහිනවා කියලා?

ඒක තමයි තියෙන ප්‍රශ්නය, මේ අය යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවෝ වුණාට පස්සේ ඒ අයට විරුද්ධව කටයුතු කරන්න බෑ. ජනපතිවරයා මේ දූෂිතයන්ට දඬුවම් කරලා යනවා නම් ඔය පුටුවේ තවත් අවුරුදු 50ක්වත් ඉන්න වෙයි. නමුත් ජනපතිවරයා පොරොන්දු වුණේ මේ ජනපති තනතුරේ එකවරක් ඉන්නවා කියලයි. ඒ නිසා ඔහුට කියන්න බෑ මේක ඉවර කරලා යනවා කියලා, මොකද මේ දූෂණය ඉවර කරන බවක් පේන්න නෑ. ඉවර කරනවා නම් තමන්ගෙ ගෙදරින් පටන් ගෙන ආදර්ශමත් වෙන්න ඕන. බැඳුම්කර මගඩිය හොයන්න පටන් ගත්තා වගේ, ජනාධිපතිතුමාත් තමන්ගෙ ගෙදරින් පටන් ගන්න ඕන. ඔය දේශපාලකයන් සම්පූර්ණයෙන් දේශපාලනයෙන් නෙරපන්න ඕන. එහෙම නොකරන තාක් මම දූෂණයට එරෙහිව පෙනී ඉන්නවා කියලා කිව්වට වැඩක් නෑ.

කොහොම නමුත්, දූෂිත දේශපාලකයින් ප්‍රතික්ෂේප කිරීමේ වගකීම පැවරෙන්නෙ ජනතාවට. මේ ගෙවෙන්නේ මැතිවරණ සමයක්. ඒ මැතිවරණය පැරැණි කොට්ඨාස ක්‍රමයත්, සමානුපාතික ක්‍රමයත් එක්ක එන මැතිවරණයක්. ඒ ගැන ඔබේ මතය කුමක් ද?

දූෂණය කියන කාරණයට වගඋත්තරකරුවන් දෙපිරිසක් ඉන්නවා. පළමු වගඋත්තරකරු පාලකයා, දෙවැනි වගඋත්තරකරු පාලිතයා. අපි පක්ෂවලට කියනවා දූෂිතයන් මැතිවරණයට ඉදිරිපත් කරන්න එපා කියලා. පක්ෂ ඒවට ඇහුන්කන් දෙන්නේ නෑ. ඊළඟ අවස්ථාව එන්නෙ ජනතාවට, දූෂිතයෝ පරද්දන්න දැන් ජනතාව, බුද්ධිමත්ව ශක්තිමත් වෙන්න ඕන . අපේ රටේ ජනතාව බුද්ධිමත් වුණාට ඒවා නිරූපණය කරන්නේ නෑ. උදාහරණයක් විදිහට, මේ ලෝකේ දෙයක් දන්නෙ නැති නිළියෝ මැතිවරණ දිනලා පාර්ලිමේන්තු යනවා. එතකොට ප්‍රශ්නය තියෙන්නෙ කොහෙද? මේ ප්‍රශ්නය තියෙන්නේ අපේ මහජනතාව ළඟ. කතාවක් තියෙනවා ජනතාවගේ හැටියට තමයි පාලකයෝ ලැබෙන්නේ. යකාගේ හැටියට තමයි විමානය කියලා. ඒ නිසා තමයි ජනතාව වෙනස් කරන ව්‍යාපාරයක් ගෙනියන්න ඕන.

ආණ්ඩුවට තවත් වසර දෙකක් තියෙනවා. අපේ සමාජ ක්‍රමය වෙනස් කරන්නත්, අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නත් හැකියාවක් ලැබෙයි ද?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගන්න බැරි වුණොත්, අපි දේශපාලනික වශයෙන් විශාල පසුබෑමකට ලක් වෙනවා පමණක් නොවෙයි, සහගහන දේශපාලන අපරාධයක හවුල්කාරයෝ බවට අපි පත් වෙනවා. මේ ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. අපි කතා කරන හැම දූෂණයක පිටු පස තියෙන්නේ මේ ජනාධිපති ක්‍රමයයි. ඒ අනුව බැලුවම මේ ඇවිත් තියෙන මැතිවරණ ක්‍රමය විශාල සාධනීය පියවරක්. ඒ විදිහේ ක්‍රම අපි හදා ගන්න ඕන. මේ රට ඉස්සරහට තල්ලු කරලා, ආණ්ඩුවේ 2015 ජනවාරි පොරොන්දු ඉටු කර ගැනීමට බලපෑම් කිරීමට ජනතාව පෙළගැසිය යුතුයි.

 

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප-වාසිත පටබැඳිගේ 


නව අදහස දක්වන්න