අද කාලේ ඇහෙන්නේ පාන් බටර් ගීත | දිනමිණ

අද කාලේ ඇහෙන්නේ පාන් බටර් ගීත

අමල් පෙරේරා

අමල් පෙරේරා යනු මෙරට සංගීත ක්ෂේත්‍රයේ නම්දැරූ චරිතයකි. සිය පියාගේ ගීතවලට පමණක් සීමා නොවී, කලින් කලට විවිධත්වයකින් යුතුව ගීත ගයමින්, තම අනන්‍යතාව ගොඩනගා ගත් ඔහු, මේ දිනවල 'විරාග රාගය' නමින් නවතම සංගීත කර්තව්‍යයක් ඔස්සේ රසිකයන් අතරට පැමිණ සිටී.

*මේ දිනවල තරමක් කාර්යබහුලයි නේද?

විශේෂ වැඩ කටයුතු කියලා නැහැ. පසුගිය දා මගෙ අලුත් ගීතයක් එළි දැක්වුණා.

* විරාග රාගය කියන්නේ ?

ඒ තමයි මගේ අලුත්ම නිර්මාණය.

* අපි ඒ ගැන කතා කරමු?

එය බන්දුල නානායක්කාරවසම්ගේ පද රචනයක්. තනු නිර්මාණය සුරේෂ් මාලියැද්ද.

* මේ නිර්මාණය, කාලෙකින් නිර්මාණය වූ වෙනස්ම ආරේ ගීතයක්?

ඔව්. මගේ ඉල්ලීමකට අනුවයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. මෑත කාලයේ පිරිමි යුග ගීතයක් ගායනා නොවුණු නිසා මට අවශ්‍යය වුණා අමරසිරි පීරීස් මහත්තයා එක්ක එක්කාසු වෙලා, එවැනි ගීතයක් කරන්න. ඔහු මගෙ පියාගෙ මිතුරෙක්. පද රචනය සහ තනුවේ තිබුණු විශේෂත්වය නිසා, ඔහු මේ නිර්මාණයට බොහොම කැමැත්තෙන් එකතු වුණා.

* රැල්ලට යන ගීත එක්ක මේ ගීතයට තැනක් තිබේවිද?

අද තියෙන්නෙ කඩේට ගිහින් පාන් ගෙඩියක් ගෙනත්, බටර් ගාලා කාලා නිදාගමු වගේ ගීත නේ. ඒ ගීතවල වචනත් එහෙමයි. සංගීතයත් එහෙමයි. සූකිරි බටිල්ලෝ වගේ. ඒ වගේ කාලේක මේ වගේ ගීතයක් නිර්මාණය කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ රැල්ලෙන් පිට වෙනම රසික පිරිසක් සහ වෙනම රසඥතාවක් මේ නිර්මාණය වටා එක්කාසු වෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි.

* ගීතයේ රූප රාමු නිර්මාණය වෙන්නේ ඔබේ සංකල්පයකට අනුවද?

ඔව්. ඒ වචන, තනුව සහ ගායන, මේ සියල්ල එක්කාසු කරගෙනයි රූප රාමු නිර්මාණය වෙන්නේ .

එකිනෙකට වෙනස් හඬ සහ පද එක්ක , පරිණත චරිත තුනක් යොදා ගන්න මට අවශ්‍ය වුණා. මේ චරිත සියල්ල තෝරා ගන්නේ මගේ ඒ අදහසට අනුවයි.

* ඔබ මේ ක්ෂේත්‍රයේ දිගු කාලීනව රැඳි සිටින ගායන ශිල්පියෙක්. ඒත්, ඔබේ නිර්මාණ බොහොම අඩුයි?

විශේෂ හේතුවක් නැහැ. ඒකට හේතුව මගේ කම්මැලිකමයි.

*ඔබේ ඊළඟ නිර්මාණයට තව කොතරම් කාලයක් ගනීවිද?

මගේ ගීත හතරක් පහක්ම මේ වෙද්දි පටිගත කරලා තිබුණේ. ඒත්, මේ ගීතය ඉක්මනින් එළියට එන්නේ, අර මං කලින් කියපු සෑහෙන කාලෙකින් පිරිමි යුග ගීතයක් නිර්මාණය නොවීමේ හේතුව නිසයි. මේ ගීතය හරහා ඉස්සරහට තවත් වෙනස් දේ වෙන්න පුළුවන්. අපි බලමු.

* පුතු නදීමාල් පෙරේරාට, ඔබෙන් ලැබෙන මඟපෙන්වීම ගැන කතා කළොත්?

ඔහුට මඟ පෙන්වන්න කියලා මං අමුතුවෙන් දෙයක් කරන්නේ නැහැ. මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට මඟ පෙන්වන්න ගියොත්, ඒ මඟ පෙන්වීම මඟහැරුණු දවසට, ඔහු අතරමං වෙනවා. ඒ නිසා, ඔහුම ඔහු හඳුනාගෙන, ඔහු යන පාර සොයා ගන්න වෙනවා. මගේ තාත්තාත් මට එහෙම මඟ පෙන්වීමක් කළේ නැහැ. හැබැයි යම් යම් දේ කියලා දිලා තියෙනවා. ඒත්, ඒ බොහොමයක් දේ මං ඇහුවෙ නැහැ. මගේ පුතාට මං යම් යම් දේ කියනවා. ඔහු තේරුම් අරන් ඔහුගේ ගමනක් යනවා කියලා තේරෙනවා.

* සජීවි සංගීතයට නදිමාල්ගේ තිබෙන වැඩි නැඹුරුව ඔබෙන් ලැබූ ආභාසයක් වෙන්න ඇති?

ඔව්. එහෙම වෙන්න ඇති. ඒ ඔහුට දැනෙන විදිහ. ඔහු අපේ ගීත අහලා තියෙනවා. අපි කරපු ගීත දැකලා තියෙනවා. ඒ ආභාසයත් එක්ක ඔහු ඒ පැත්තට නැඹුරු වෙන්න ඇති.

* පිය පුතු එක්ව නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

දැනට නම් එහෙම අදහසක් නැහැ. ඉදිරියේදි බලමු

ටානියා මෝසස්

නව අදහස දක්වන්න