පෝෂණ ගුණයෙන් සපිරි දිවුල් | දිනමිණ

පෝෂණ ගුණයෙන් සපිරි දිවුල්

දිවුල්, විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන හා යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථවලින් අනූන ය. දිවුල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීරණ පද්ධතිය හා සම්බන්ධ ගැටලු සමනය වේ. එහි ඇති සංඝටක, මළබද්ධය දුරු කිරීමට සමත් වෙනවා මෙන් ම, බඩෙහි ඇති වන රිදීම්, අපහසුතා දුරු කරයි. එසේ ම එයට පාචනය, මළබද්ධය ආදී රෝග තත්ත්ව සුව කිරීමේ හැකියාව ද ඇත. එය ප්‍රති දිලීරකයක් ලෙස ක්‍රියා කරමින්, ආහාර ජීරණ පද්ධතියට ආරක්ෂාව ලබා දෙයි.

දිවුල් අනුභවයෙන්,රුධිරය පිරිසුදු කිරීමේ විශේෂ හැකියාවක් පවතී. දිවුල් හා සීනි උණු වතුරෙන් දිය කර පානය කිරීම, ඒ සඳහා යෝග්‍ය බව සැලකේ. දිවුල් මඟින් රුධිරය පිරිසුදු වනවා මෙන් ම, රුධිරය අපිරිසුදු වීමෙන් ශරීරයට සිදු විය හැකි හානි ද වළක්වයි. දිවුල් ශාකයේ මුල්, කණ ආශ්‍රිත වේදනා හා රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිත කළ හැකි ය. දිවුල් ශාකයේ කඳෙන් හා අතුවලින්, ගම් වැනි ද්‍රව්‍යයක් වෑස්සෙයි. එය දියවැඩියාව පාලනය සඳහා යෝග්‍ය ය. දිවුල් ශාකයේ කොළ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලු සඳහා සුදුසු ය. දිර්ඝ කාලීනව පවතින සෙම්ප්‍රතිශ්‍යාව, ඒ ආශ්‍රිත වෙනත් රෝග, උගුරේ වේදනාව මෙන් ම කැස්ස සඳහා ද දිවුල් කොළ භාවිත කරයි. මෙය, පලතුරක් ලෙස අහාරයට ගැනීමෙන්, ශරීරයේ ජවය වැඩි වේ. දිවුල් මදය ග්‍රෑම් 100 තුළ, කැලරි 140 ක් පමණ අන්තර්ගතව ඇත. එය ශරීරයේ ශක්තිය සඳහා යෝග්‍ය වේ. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ඉක්මන් කරවීමේ හැකියාවක් ද දිවුල් සතු ය.

දිවුල් යනු ප්‍රෝටීනවලින් සමන්විත,මාංශපේශිවල ශක්තිමත් බව වැඩි කරන පලතුරකි. එසේ ම, වකුගඩුවල සෞඛ්‍යමත් බව සඳහා මෙන් ම, අක්මාවේ සුවතාව සඳහා ද යෝග්‍ය පලතුරකි. බීටා කැරෝටින තයමින් මෙන් ම, රයිබෝප්ලේවින් ද අඩංගු දිවුල්, සර්ප දෂ්ඨනය සඳහා ප්‍රතිකාරයකි. එය, මැලේරියාව වැනි රෝගවලින් ආරක්ෂා වීමට ද උදවු වේ. දිවුල් ආහාරයට ගැනීමෙන්, පිළිකා ඇති වීමේ අවදානම අවම වේ. එහෙත්, දිවුල් වැඩි වශයෙන් ආහාරයට ගැනීම, සමහර විටෙක අහාර ජීර්ණය සඳහා අහිතකර ලෙස බලපෑ හැකි ය. එසේ ම, තයිරොයිඩ් ගැටලු ඇති පුද්ගලයන් සඳහා දිවුල් සුදුසු නැත.

යශෝධා

නව අදහස දක්වන්න