ගස් කඳකින් තෑග්ගක් | දිනමිණ

ගස් කඳකින් තෑග්ගක්

නෑදෑ හිතවතුන්ට, මිතුරන්ට තෑග්ගක් දෙන විට, එය සිත් ගන්නා සුළු ආකාරයට ඔතා දුන්නොත්, තෑග්ගේ වටිනාකම වැඩි වෙනවා වගේම, ත්‍යාගලාභියාට එය ඉමහත් සතුටක් වන්නට පුළුවන්. එමඟින් බැඳීම වැඩි වෙනවා වගේ ම,සතුට වැඩි කරවනවා. ත්‍යාගය කොළයක ඔතා හෝ පෙට්ටියක බහා දෙනවාට වඩා, වෙනස් ආකාරයකින් ත්‍යාගය ලබා දුන්නොත් ,එහි වටිනාකම වැඩි වේවි. එවැනි නිර්මාණයක්, නිවෙසේදී වුණත් සකසා ගන්න පුළුවන්. මේ ඒ ආකාරයට නිර්මාණය කළ, වෙනස් විදියේ ත්‍යාග බහාලනයක් ගැනයි . මේ බහාලනය සුදුසු, ස්වර්ණාභරණ බහාලන්නයි. ඒ අතරිනුත් ඇතැඟිලි මුදු තැන්පත් කර තබන්න විශේෂිතයි.

මේ නිර්මාණය කිරීම සඳහා, හොඳ අරටුවක් තිබෙන ගසක කඳන් කැබැල්ලක් අවශ්‍යයි. ඒ කඳන්, සිලින්ඩරාකාරයට වසා තැබීමට හැකි වන පරිදි, උඩු පියන් සහ යටි පියන් දෙකක ආකාරයෙන් බෙදා වෙන් කර ගැනීම පළමු පියවරයි. මේ නිර්මාණය සැකසීමේදී, ස්වභාවිකත්වය රැකෙන පරිදි ගසේ පොත්ත කොටස ඉතිරි කර ගන්න . කැමැති වර්ණයක් යොදා ගන්නත් පුළුවන්. ඒත්, ගසේ කඳ කොටසක් කියන පෙනුම නැති වුණොත්, නිර්මාණයේ සැබෑ අලංකාරය ගන්න බැරිවේවි. දැන්,

මුදුව හෝ වළලු හෝ මාලය තැන්පත් කිරීම සඳහා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කවුළු කපා ගන්න. එය ලී වර්ග කැපීම සඳහා භාවිත කරන උපකරණයකින් සකසා ගත්තොත් වඩාත් පිළිවෙළයි. දැන් පියන් දෙක එක් කිරීම සඳහා සරණේරුවක් භාවිත කරන්න. නැති නම් පියන් දෙක එක්කර වසා ගන්නා ආකාරයට, දාර කපා සකසා ගන්නත් පුළුවන්. තමන් කැමැති ආකාරයට මේ ස්වර්ණාභරණ බහාලනය නිර්මාණය කර ගත හැකියි. එසේ සකසන නිමැවුම, ඔබේ ත්‍යාගලාභියාට නම් සතුට ගෙන දෙන්නක් වේවි.

චින්තා රණසිංහ 

නව අදහස දක්වන්න