සරණාගතයා ගේ භාෂාව | දිනමිණ

සරණාගතයා ගේ භාෂාව

අද යුරෝපය පුරා විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් දක්නට ලැබේ. මින් බොහෝ දෙනෙක් තමන් ගේ රටවල පවතින ගැටුම් නිසා සරණාගතයන් ලෙස යුරෝපයට ගොඩබට පිරිස් වෙත්. තමන්ට කරන්නට හරිහමන් රැකියාවක් නැති තැන, මින් බොහෝ දෙනෙක් නවතින්නේ මහ පාරේ ය. එසේ ම, අරාබි ජාතිකයන් ක්‍රිස්තියානු පල්ලිවල සරණින් ජීවිතය ගැට ගසා ගැනීම දෛවයේ සරදමක් මෙනි. එවන් අවස්ථා මා බොහෝ දැක ඇත්තෙමි.

මෑත දිනක මම ලංඩන් නුවර පැඩින්ටන් ප්‍රධාන දුම්රිය ස්ථානය අසල මාවතක ගමන් කරමින් සිටියෙමි. මගේ හෝටලය පැවැතියේ දුම්රිය ස්ථානය ආසන්නයේ ය. මා ඉදිරියෙන් ගිය සුදු මහතා, කුඩා බල්ලෙක් සමඟ ගමන් කරමින් සිටියේ ය. සාමාන්‍යයෙන් රැකියාවට, ආහාර පිණිස හෝටලයකට යෑමේ දී පමණක් නොව, පොදු වාහනවල ද තම සුරතල් සතුන් ගෙන යාම යුරෝපයේ සුලබ දසුනකි. උන් හාම්පුතා සමඟ හෝටල්වලට ගියත්, තමන්ට දිරවන්නේ නැති ආහාර ඉල්ලා ශබ්ද කරන්නේ නැත.

මහ පාරේ දී හමුවන බල්ලෝ ඉතා මිත්‍රශීලි ලෙස එකිනෙකා සමඟ මුසු වෙති. අව්ව තපින්නට උද්‍යානයට ගෙන යන බල්ලෝ අයිතිකරුවන්ගෙන් මිදී, අනෙකුත් බල්ලන් සමඟ සෙල්ලම් කිරීම සුලබ දසුනකි. උන් කිසි විටෙකත් එකිනෙකා සපා ගන්නේ නැත. තම ස්වාමියා ගේ සංඥාවකින් ක්ෂණිකව නිවෙස වෙත යන්නට උන් කිසිදු අකමැත්තක් පෙන්වන්නේ ද නැත.

ලංඩනයේ මා ගමන් ගත් මාවතේ සිට අනෙක් මාවතකට හැරෙන ස්ථානයේ, යමෙක් සිඟමන් යදිනවා මා පෙර දින මම දැක්කෙමි. මෙදින ද එම පුද්ගලයා එම කර්තව්‍යයේ නියැළී සිටිය අතර, අපිරිසුදු මිනිසා සමඟ අපිරිසුදු බල්ලෙක් ද විය. මොහු සරණාගයෙක් බවට කිසිදු සැකයක් නො වී ය. සුදු මහතා ගේ බල්ලා එම ස්ථානය පසු කරනවාත් සමඟ ම, සරණගතයා ගේ බල්ලා ඌට කඩා පැන්නේ ය. මෙය මා අසරණ කරන අවස්ථාවක් වූයේ, යුරෝපයේ දී ශ්‍රී ලංකාවේ මෙන් බල්ලෝ කා ගන්නා අවස්ථා මා දැක නොමැති නිසා ය. සුදු මහත්තයාට කරකියා ගත හැකි දෙයක් නොවූයෙන්, තම බල්ලා වහා ඔසොවා ගත්තේ ය. එහෙත්, අපිරිසුදු බල්ලා උඩ පනිමින් අනෙක් බල්ලා හපා කන්න උත්සාහ කෙළේ ය. සුදු මහතාට කේන්ති ගිය බවකි.

”කරුණාකර ඔබ ගේ බල්ලා අහකට ගන්න. ඌ සපා කන්න හදන්නේ.”

සරණාගතයා කුමක්දෝ භාෂාවකින් තදින් කථා කෙළේ ය.

”මම කියන්නේ ඔබේ බල්ලා අල්ලා ගන්න කියලා. තෙරෙන්නේ නැද්ද මම කියන දේ?” සුදු මහතා මෙවර දැඩි ස්වරයකින් කියා සිටියේ ය.

සරණාගතයා නැවතත් මහා හයියෙන් කෑ ගසන්නට පටන් ගත්තේ ය. ඔහු ගේ අපිරිසුදු බල්ලා ද තමන් ගේ හඬ වඩාත් වැඩි කෙළේ ය. සුදු මහතාට කළ හැකි දෙයක් නැත. ඔහු කෝට් එකක් ඇඳගෙන සිටිය ද, බල්ලා ඉතා ඉහළට ඔසොවා, තමන්ගේ පපුව දෙසට තද කරගෙන, ඌට ආරක්ෂාව සපයා දුන්නේ ය.

සරණාගතයා සහ සුදු මහතා අතර දැඩි වාග් සංග්‍රාමයක් ඇති විය. දෙදෙනා කථා කළත්, එකිනෙකාට තමන් ගේ භාෂාව නොතේරෙන බවකි. සුදු මහතා හෙම්බත්වී ඇති සැටියකි.

”නුඹ මගේ රටේ ඉන්නාව නම්, අපි දෙන්නාට තෙරෙන භාෂාවකින් කථා කරපන්. උඹේ බල්ලාටත් ඒ බව කියා දීපන්. නැති නම් ඒක විශාල ප්‍රශ්නයක්.”

ඔහු එතැනින් ඉවත් ව ගියේ ය. සුදු මහතා ගේ බල්ලා ඔහු ගේ උරහිසට උඩින් අසරණ බැල්මක් හෙලා, කෙඳිරිල්ලක් නැගී ය. සරණාගතයා නැවතත් සිඟමන් යැදීම පිණිස හිඳ ගත්තේ, කෙළ පිඬක් කාරා , මිනිසුන් ඉදිරියට දමා ගසමින් ය.

මින් අපට උගත හැකි පාඩම් බොහෝය.

රංජිත් ගුණරත්න

නව අදහස දක්වන්න