වැලි මාලිගාවේ කිරුළක් නැති රජු | දිනමිණ

වැලි මාලිගාවේ කිරුළක් නැති රජු

ඔහුට මාලිගාවක් මිස පාලනය කරන්නට රටක් නැත. එසේ වුව ද, ඔහුගේ මාලිගාව තුළ ඔහු රජෙකි. හය හතර නොතේරෙන බිලිඳු වියේ මිස, මුහුදු වෙරළේ වැලි මාලිගා තැනූ මතකයක් ඔබට මට නොමැත. එහෙත් මේ රජු තවමත් වැල්ලෙන් මාලිගා තනයි. එපමණක් නොවේ, ඒවා තුළ ජීවත් වෙයි.

ඔහු නමින් මාර්සියෝ මයිසාල් මෙතෝලියස් ය. 44 හැවිරිදි මාර්සියෝ රජුගේ අපූරු වැලි මාලිගය පිහිටා ඇත්තේ, රියෝ ඩි ජනයිරෝ නුවර‍ පොහොසතුන් දිවි ගෙවන ප්‍රදේශයක පිහිටි, බ්‍රා ඩි ටිජුකා වෙරළ තීරයෙහි ය.‍ මේ ‍වෙරළ තීර‍යෙහි පදිංචිව ජීවත් වීම සඳහා විශාල මුදලක් කුලී වශයෙන් ගෙවිය යුතු නමුත්, පසුගිය වසර 22 පුරා මාර්සියෝ එහි වාසය කරන්නේ කුලී රහිතව ය.

ඔහු මුලින්ම වැලිවලින් තනා ඇත්තේ ඔහුට ජීවත් වීම සඳහා කුඩා නිවෙසකි. කෙමෙන් එය වැඩි දියුණු කරමින් මාලිගාවක්, බලකොටුවක් බවට පත් කරන්නට ඔහු සමත් විය. ටිජුකා වෙරළ තීරයේ අධික මිල ගණන් සහිත නිවාසයක් ලබා ගැනීම ඔහු වැන්නකුට සිහිනයක් වුව ද, ඒ සිහිනය ජය ගන්නට ඔහු සමත්ව තිබේ.

වැලි රජුගේ මේ බලකොටුව, සංචාරක ආකර්ෂණය තදින්ම දිනාගත් ස්ථානයකි. හුදෙකලා දිවියක් ගෙවන මාර්සියෝ, මසුන් ඇල්ලීම, පොත් කියවීම සහ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වීම වැනි විනෝදාංශවල යෙදෙමින්, ඉතා සැහැල්ලුවෙන් කාලය ගත කරයි.

හිසෙහි කිරීටයක් දරමින්, අතින් ජයකොන්තයක් රැගෙන, නියම රාජකීය ලීලාවෙන් ජීවත් වන ඔහුට, ලොව පුරා වෙසෙන වෙනත් රජවරුන්ට මෙන් පරිවාර සේනාවක් හෝ දැසි දසුන් නොමැති නිසා, ඔහු සිය මාලිගය නඩත්තු කර ගැනීම පෞද්ගලිකවම සිදු කරයි. සිය වැලි මාලිගාව විනාශ වීම වැලැක්වීමට, දිනපතා එහි නඩත්තු කටයුතු කිරීමට ඔහුට සිදුවේ.

මාර්සියෝ ජීවිත කාලය පුරාම වෙරළෙහි ජීවත් වූ අයකු වන අතර, මුල් කාලයේ ඔහුගේ ජීවිතය දැඩි දුෂ්කරතා මැද ගෙවී ගිය බව සඳහන් කරයි.

“මම හැදී වැඩුනේ ගුවනබාර බොක්කේ. මගේ ජීවිතේ ගෙවුණේ වෙරළේ. ඒ බොහොම අසීරුතා මැද. ඒත් දැන් මං කිසිම කුළියක් නොගෙවා සුව පහසු ජීවිතයක් ගෙවනවා.”

වෙරළට අපූර්වත්වයක් එක් කරන ඔහුගේ වැලි මාලිගය මඟින් සිදුවන එක ම අයහපත වන්නේ, වෙරළ උෂ්ණත්වය වැඩි වීම ය. වැලිවලට තාපය උරා ගැනීම නිසා, උෂ්ණත්වය දරා ගත ‍නොහැකි ඇතැම් රාත්‍රී කාල ගත කිරීමට ඔහුට මිතුරකුගේ නිවෙසක් වෙත යන්නට සිදු වේ. එසේ වුව ද, සිය ජීවිතය වෙනස් කිරීමේ කිසිදු සැලැස්මක් ඔහුට නැත.

සංචාරකයන්, ඔහුගේ වැලි මාලිගාව සහ ඔහු සමඟ ඡායාරූප ගැනීමට මහත් කැමැත්තක් දක්වයි.

“මම සංචාරක ආකර්ෂණයක් බවට පත්වෙලා. මෙතැනින් පිට කොහේ ගියත්, මගේ සතුට රැඳිලා තියෙන්නේ මෙතන.”

රාජකීය ලීලාවෙන් සහ සිනා මුවෙන් ඔහු පවසයි.

අන්තර්ජාලය ඇසුරින්

දිල්රූ ජයසේකර


නව අදහස දක්වන්න

Or log in with...