බෝතල් කළ ගවමුත්‍ර සහ ටින් කළ දුම්පානය | දිනමිණ

බෝතල් කළ ගවමුත්‍ර සහ ටින් කළ දුම්පානය

 

මිනිසුන් විවිධ පාන වර්ග භාවිතයට ගන්නේ, හුදෙක් පිපාසය සංසිඳුවා ගැනීම සඳහා පමණක් නොවේ. ලෝකයේ විවිධ ජන කොටස් බීමට ගන්නා පාන ද එකිනෙකට වෙනස් ය. එසේ වුවත්, පුදුම හිතෙන විධිහේ පාන වර්ග භාවිතයට ගන්නා මිනිසුන් ද ලොව වෙසෙයි. ඔවුන් ඒ පාන වර්ග භාවිත කරන්නේ විවිධ අරමුණු සපුරා ගන්නට ය. මේ එබඳු පාන වර්ග දහයකි.

1. දේදුනු වර්ණ බීර

ජපානයේ හොක්කයිදෝ දූපතේ ස්ථාපනය කර ඇති අබශිරි මධ්‍යසාර නිෂ්පාදන සමාගම, දේදුනු වර්ණවලින් යුත් බීර නිෂ්පාදනය කරයි. ඊට වර්ණ හතරක බීර ඇතුළත් වේ. බ්ලු රියුහියෝ, රෙඩ් හමනසු, ග්‍රීන් ෂිරෙටොකෝ සහ පර්පල් ජ්‍යාගා යනු එම බීර වර්ග හතර ය. හොක්ක්යිදෝ දූපතට බලපාන ඍතු අනුව , බීරවලට වර්ණ ලබා දී තිබෙන බව සඳහන් වේ.

ඒ එක් එක් බීර වර්ගය සැකසීමට ගන්නා අමුද්‍රව්‍ය ද එකිනෙකට වෙනස් ය. බ්ලු රියුහියෝ බීර සකසන්නට වැඩිපුරම යොදා ගන්නේ, මුහුදු පැළෑටි සාරය ය. ග්‍රීන් ෂිරෙටොකෝ සකසන්නේ පැසවීමට ලක් කරන ලද මුහුදු පැළෑටිවලිනි. රෙඩ් හමනසු නිපදවන්නට යොදා ගන්නේ, පලතුරු විශේෂයකි. දම් පැහැ අල වර්ගයකින් නිපදවෙන ජ්‍යාගා ඩ්‍රාෆ්ට් බීරවලින් අස්වනු අඩුවීම නිරූපණය වෙතැයි විශ්වාස කෙරේ.

2. සත්ව පුරුෂ ලිංගේන්ද්‍රිය යොදාගෙන සැකසෙන වයින්

මුවන්ගේ පුරුෂ ලිංගේන්ද්‍රිය යොදාගෙන වයින් නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ චීනයේ ය. එලෙස සකසන පානය හැඳින්වෙන්නේ, “ඩියර් පෙනිස් වයින්” යනුවෙනි. මේ පානය වැදගත් වන්නේ, මළල ක්‍රීඩකයන්ට ය. ඒ, එය ශක්ති ජනක පානයක් හැටියට චීන සම්ප්‍රදායික වෙදකම් තුළ හැඳින්වෙන බැවිනි. මළල ක්‍රීඩකයන්ට සිදුවන තුවාල වීම්වලින් ඉක්මන් සුවය ලබන්නට මේ පානය වැදගත් බව සඳහන් වේ.

සිය රටේ පාරම්පරික වෙදකමේ සඳහන් මේ කරුණු විශ්වාස කරන චීන මළල ක්‍රීඩකයෝ, “ඩියර් පෙනිස් වයන්” පානයට හුරුව සිටිති. 2008 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වුණු චීන ක්‍රීඩකයන්ට මේ අරුම පානය භාවිතය කිරීම සපුරා තහනම් කරන්නට, චීන ක්‍රීඩා බලධාරීන්ට වෙසෙසින්ම සිදුව ඇත.

මුව, සුනඛ සහ සීල් මත්ස්‍ය පුරුෂ ලිංගේන්ද්‍රිය බහා සකසන වයින් වර්ගයක් ගැනත් චීනයෙන් වාර්තා වේ.එම පානය වාජීකරණ පානයක් හැටියට භාවිතයට ගන්නෝ අදටත් චීනයේ සිටිති.

3. කිම්චි සෝඩා

සාමාන්‍යයෙන් අප පානය කරන සෝඩාවලට වඩා වෙනස් මේ සෝඩා පානය නිෂ්පාදනය කරන්නේ ජපානයයි.වහාබි, කිම්චි මෙන්ම කුළුබඩු වර්ගත් , රසකාරකත් එකතු කර මේ සෝඩා නිෂ්පාදනය කෙරේ. බබල්ගම්, සුදු ෂැම්පේන්, බ්ලූබෙරි සහ ධාන්‍ය ආදී විවිධ රස වර්ග එකතු කෙරෙන්නේ, ඒ ඒ රසයවලින් යුත් කිම්චි සෝඩා නිපදවා ගැනීම සඳහා ය. කිම්චි සෝඩා බෝතලයක් මිලි ලීටර 200ක පමණ ධාරිතාවයකින් යුක්ත ය. බෝතලය විවෘත කළයුතු වන්නේ ද සුවිශේෂී ආකාරයකට බව සඳහන් වේ.

4. පේරුවේ ගෙඹි යුෂ

ගෙඹි යුෂ පානය ප්‍රකටව තිබෙන්නේ පේරු රාජ්‍ය වැසියන් අතර ය. මේ පානය “පේරු ව්‍යාඝ්‍රා”යනුවෙන් හැඳින් වේ. පානය සැකසීමට යොදා ගන්නේ,

ටෙල්මටෝබියුස් කොලෙයුස් (Telmatobius culeus) යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන ගෙඹි විශේෂයකි. මේ ගෙම්බකු අල්ලාගෙන විත්, ඌ මිය යන තුරු හෝ සිහිසුන් වනතුරු හෝ පහර දෙනු ලැබේ. අනතුරුව ගෙම්බාගේ සම ගලවා පවිත්‍ර කර ගැනේ.

ගෙඹි යුෂ ගන්නේ ගෙම්බා ද, ධාන්‍ය තැම්බූ ව්‍යංජනයක් ද, පැණි ද, කෝමාරිකා සහ ශාක මුල් ද බ්ලෙන්ඩරයට දමා ගසා ගනිමිනි. ඒ විධිහට පිළියෙළ කර ගන්නා පානය “මිල්ක් ෂේක්” එකක් හැටියට හැඳින්වේ. මේ අසාමාන්‍ය ගෙඹි පානය නිසා ටෙල්මටෝබියුස් කොලෙයුස් ගෙඹි විශේෂය වඳ වී යෑමට ලක්ව ඇති බව, ලෝක සංවිධාන පෙන්වා දෙයි.

5. දියරමය දුම් පානය

දියරමය දුම් පානය 2008 වසරේදී ලෝකයට හඳුන්වා දුන්නේ යුනයිටඩ් ඩ්‍රින්ක්ස් ඇන්ඩ් බියුටි කෝපර්ෂන් නමැති නෙදර්ලන්ත සමාගම විසිනි. මේ දුම් පානය තුළ නිකොටින් අන්තර්ගත නැති බව සමාගම පෙන්වා දී ඇත. 14 වැනි සියවසෙහි ජීවත් වුණු වනගත මිනිසුන් භාවිතයට ගත්තේ යැයි කියන ශාක වර්ගවල මුල් පමණක්, මේ පානය සැකසීමට යොදා ගෙන තිබුණි. එම ශාක දකුණු අප්‍රිකාවේ වැවෙන ශාකයකි. මිලි ලීටර 275ක දියරමය දුම් පානය ප්‍රමාණයක් මඟින්, කැලරි 21ක පමණ ශක්තියක් ලබා දෙන බව සඳහන් විණ. කෙසේ වුවත් මේ පානයට දිගින් දිගටම විවේචන එල්ල වන්නට පටන් ගෙන ඇත. එකී පානය පමණක් නොව, එය නිෂ්පාදනය කළ සමාගමත් අද නැත.

6. පැන්ඩා මළ පානය

පැන්ඩා මළ පානය සකස් ෙරෙන්නේ චීනයේ ය. ඊට යෝධ පැන්ඩාවන්ගේ මළ යොදා ගැනේ. පැන්ඩා මළ විශේෂ ආකාරයකට සකස් කර, තේ කුඩු හා සමාන තත්ත්වයකට සකසා ගනී. එමඟින් තේ හා සමාන පානයක් සකස් කර ගන්නට පුළුවන. ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් යුතුව සකස් කර ගන්නා පැන්ඩා මළ “තේ කොළ” කිලෝ ග්‍රෑමයක්, අමෙරිකා ඩොලර් 72,000ක් පමණ වන බව සඳහන් වේ.

යෝධ පැන්ඩාවන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ, උණ ශාකයේ කොටස් ය. ආහාර වේලෙහි අඩංගු පෝෂණ කොටස්වලින් 30%ක පමණ ප්‍රමාණයක් ඔවුන්ගේ දේහයට අවශෝෂණය කෙරේ. ඉතිරි 70%ම

මළ සමඟ බැහැර වන බව සඳහන් වේ. මේ නිසා , එම මළවලින් නිෂ්පාදනය කෙරෙන පානය, පෝෂණ ගුණය අතින් ඉහළ ය.

7. ගව් ජල් , කව් වෝටර් හෙවත් ගව මුත්‍රා

ගව මුත්‍රා සහ ගව මළ භාවිත කර රෝග රාශියක් සුව කළ හැකි බව, ඉන්දීය ආයුර්වේදයෙහි සඳහන් වේ. එලෙස සුව කළ හැකි රෝග අතර අක්මා රෝග, දියවැඩියාව සහ පිළිකා ඇත. ගව මුත්‍රා, මෘදු පානයක් ලෙස භාවිතයට ගත හැකිද යන්න පිළිබඳ ඉන්දියාවේ ඇතැම් විද්වත්හු මේ නිසා ම සොයා බැලූහ. එහි ප්‍රතිඵලයක් ලෙස “ගව් ජල්” යනුවෙන් හැඳින්වෙන පානය සකසන්නට ඔවුන්ට ඉඩ ලැබිණ. “ගව් ජල්”පානයට, ඉතාලිය ආදී බටහිර රටවල වැඩි ඉල්ලුමක් ඇති බව සඳහන් වේ.

8. කුරුලු කැදලි පානය

චීනයේ ජීවත් වන වැහි ලිහිණි විශේෂයක කූඩු යොදාගෙන මේ පානය සකස් කර ගනී. මේ කූඩු තුළ එම වැහි ලිහිණි විශේෂයේ ඛේටය ඝන තත්ත්වයට පත්ව තිබෙනු දැකිය හැකි ය. එවැනි වැහි ලිහිණි කූඩු සොයාගෙන විත් විකිණීම, චීනයෙහි ව්‍යාපාරයකි. එම වැහි ලිහිණි කූඩුවක් අමෙරිකා ඩොලර් 500ක් වැනි මුදලකට අලෙවි වේ. වැහි ලිහිණි කූඩු කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල අමෙරිකා ඩොලර් 2000 පමණ වන බව සඳහන් වේ. යට කී වැහි ලිහිණි කූඩු ජල්ලිමය ස්වභාවයකින් යුක්ත ය. එවැනි කූඩු ජලය සහ අවශේෂ දෑ සමඟ මුසු කරගෙන පානය සකසා ගැනේ. එම වැහි ලිහිණි කූඩු පිස ව්‍යංජනයක් හැටියට ගැනීම, චීනයේ ප්‍රකට ක්‍රමයකි.

9. ප්ලැසෙන්ටා 10000 සහ ප්ලැසෙන්ටා ප්‍රෝ

මේ පානය සකස් කර ගැනෙන්නේ, මිනිස් වැදෑමහ භාවිතයට ගනිමිනි. දරුවකු මවු කුස තුළ වර්ධනය වනවිට, එම දරුවාට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ කොටස් ලබා දීමට මුල් වන්නේ වැදෑමහයි. එමෙන් ම, කුස තුළ සිටින දරුවාගේ අපද්‍රව්‍ය ඉවත් කිරීම එහි තවත් කෘත්‍යයකි.

යකඩ, විටමින් B 12 සහ හෝර්මෝන වර්ග එහි අඩංගු ය. වැදෑමහ යොදාගෙන සකස් කරන පානය, දරු ප්‍රසුතියෙන් පසු මව්වරුන්ට නිර්දේශ කිරීමේ ප්‍රවණතාවක් දැන් නිර්මාණය වී තිබේ. ඒ, එමඟින් මව්කිරි නිෂ්පාදනය වැඩි වීමක් සිදුවන බව තහවුරුව තිබෙන නිසා ය. එමෙන් ම , දරු ප්‍රසූතියෙන් පසු මවට ඇතිවන විශාද තත්ත්ව මැඩීමට එය හේතු වන බව සඳහන් වේ.

10. ස්නේක් වයින්

ස්නේක් වයින්, නැතිනම් සර්ප වයින් පානය නිෂ්පාදනය කෙරෙන්නේ චීනයේදී ය. මේ සඳහා යොදාගන්නේ විෂ සහිත සර්පයන් සහ සහල්වලින් සකස් කර ගන්නා ලද වයින් බව සඳහන් වේ. ජීව ග්‍රහයෙන් අල්ලා ගන්නා සර්පයන් කොටස් කර, එම කොටස් වයින්වල බහා ස්නේක් වයින් නිෂ්පාදනය කිරීම එක ක්‍රමයකි. තවත් සමහරුන් කරන්නේ, සර්පයා සම්පූර්ණයෙන්ම වයින්වල බහා පැහෙන්නට හැරීම ය. මේ දෙ ආකාරයෙන් කුමන ක්‍රමයට නිෂ්පාදනය කළත්, ස්නේක් වයින් මිනිසාට විෂ වන්නේ නැති බව නිෂ්පාදකයෝ පවසති. මෙවැනි වයින් තායිවානයේ තායිපේ නගරයේ බහුලව අලෙවි වන බව සඳහන් වේ.

මංජුලා විජයරත්න 

 

නව අදහස දක්වන්න