අලුත් තාලයේ අදරවන්තී | දිනමිණ

අලුත් තාලයේ අදරවන්තී

තම ගුවන් සේවා කාර්ය මණ්ඩලයට තෝරාගත යුත්තේ කෙබඳු තරුණියන්ද හැඟීමක් ඇබග්නේල්ට තිබුණේ නැත. නමුත් තමාගේ වැනි මනංකල්පිත කාර්ය මණ්ඩලයක නොසිටිය යුත්තේ කවර ආකාරයේ ගුවන් සේවිකාවන්ද යන්න ගැන ඇබග්නේල්ට හොඳ වැටහීමක් තිබිණි. ඉතාම දැවැන්ත,මහා පරිමාණයේ වංචාසහගත සැලැස්මකට තමා නොදැනුවත්වම කොටස්කාරියක වී ඇති බව දැනගත් විට සිහිය විකල්වූවා මෙන් හැසිරෙන තරුණියක් තමාට අවශ්‍ය නැති බව හේ දැන සිටියේය.

මේ නිසා බැලුබැල්මට මෝඩ අඳුරදර්ශී මෙන් පෙනුණු තරුණියන් ඇබග්නේල් සිය ලැයිස්තුවෙන් කපා හැරීමට දෙවරක් සිතුවේ නැත. මනා පෞර්ෂයකින් යුතු, සුරූපී එහෙත් සෘජු චරිතයකින් යුතු වූවන්ගේ නම ඉදිරියේ ඔහු ප්‍රශ්නාර්ථයක් ලකුණු කළේය. ඔහු කිසිදු අවිනිශ්චිතතාවකින් තොරව එකවරම තෝරා ගත්තේ පහසුවෙන් රැවටෙන සුලු, කිසිදු උවදුරක් හමුවේ කලබල නොවන, කොටින්ම ‘ඕනෑම දෙයකට ඔට්ටු‘ කෙල්ලන් පිරිසකි. තුන්වන දිනය අවසන් වන විට ඇබග්නේල් තමාට හරියටම හරියන අන්දමේ තරුණියන් දොළොස්දෙනෙක් තෝරාගෙන තිබුණු අතර එය අටදෙනෙක් දක්වා සීමාකර ගැනීමට ඔහුට හෙන්ඩර්සන්ගේ සහායද ලැබිණි.

ඒ සිසුවියන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපිගොනුද ඇබග්නේල්ට ලබාදීමෙනි. තෙවන දිනය අවසානයේදි තෝරාගැනීමේ කටයුතු නිමාවත්දි ඇබග්නේල් සිටියේ තමා ගැනම උපන් ආඩම්බරයකිනි. උසස් විද්‍යාල අධ්‍යාපනයවත් අවසන් කර නොසිටි ගැටවරයකු වන තමා අත තිබෙන තමා විසින්ම සකස්කරගත් ලිපිගොනු විස්තර, තමාට සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය පමණක් නොව පශ්චාත් උපාධියක්ද ලබාදීමට සමත් බව ඔහු මෙනෙහි කළේය.

පසුදින ඔහු තෝරාගත් තරුණියන් අටදෙනා අමතා තම ‘උපාධි නිබන්ධනය‘ ඔවුන් හමුවේ දිගහැරියේය.

“මුලින්ම ඔයාලා දැනගන්න ඕනෑ ඔයාලව පෑන් ඇම් ගුවන් සේවිකාවන් විදිහට තවම ස්ථිරවම බඳවාගෙන නැහැයි කියලා.Ó මෙහිදි කෙල්ලන් පිරිස කලබලයටත් කම්පනයටත් පත්වු අතර, ඇබග්නේල් අපේක්ෂා කළ නාට්‍යයෝචිත ස්වරූපයක් ඔහුගේ දේශනයට ලැබිණි. තමා දෙස දෑස් අයා බලා සිටින බොළඳ කෙල්ලන්ට සිනහවකින් සංග්‍රහ කළ හෙතෙම යළි සිය කතාව ඇරඹීය.

“ඒ ඔයාලා තවම අධ්‍යාපනය සම්පුර්ණ නොකරපු කණිෂ්ඨ සිසුවියන් නිසයි. නමුත් ඔයාලගේ විශ්ව විද්‍යාල අවසන් වසරේදි ඔයාලට ගුවන් සේවිකා වෘත්තීය ගැන කෙටි පුහුණුවක් දෙන්න පෑන් ඇම් සමාගම බලාපොරොත්තු වෙනවා. ඊට කලින් ඔයාලා අටදෙනාව අපේ සමාගමේ අලුත්ම ව්‍යාපෘතියකට සම්බන්ධ කරගන්න අපි තීරණය කරලා තියෙනවා. ලබන වසන්ත සෘතුවේදි අපි කරන්න හිතන් ඉන්න ප්‍රවර්ධන වැඩසටහනකට ඔයාලව වෙළඳ නියෝජිතයින් හා මහජන සම්බන්ධතා නිලධාරින් ලෙස යොදා ගන්නවා. අලුත් කිව්වට මේක මීට පෙර අපි ඕනෑතරම් කරලා තියෙන එකක්. හැබැයි ඒ අපේම ඇත්තම ගුවන් සේවිකාවන් යොදාගෙන. නමුත් සේවයේ නිරත වෙලා ඉන්න ගුවන් සේවිකාවන් වෙළඳ දැන්වීම්වල ඡායාරූපවලට නිරූපිකාවන් ලෙස යොදා ගැනීම අපිට ගැටලුවක්.අපිට වැඩ වැඩි ම වසන්ත සෘතුවේදි ගුවන් සේවිකාවන්ව මේ වගේ අමතර වැඩවලට යොදා ගන්න ගියාම අපිට පාඩුයි. අනික තමයි ඔයාලව යොදාගැනීමෙන් අපිට පෑන් ඇම් ගුවන් සේවය ඇත්තටම ක්‍රියාත්මක වෙන නගරවලම මේ ප්‍රවර්ධන කටයුතු කරන්න පුළුවන්.

මේ වෙනුවෙන් ඔයාලට ගුවන් සේවිකාවකට ලැබෙන වැටුපට සමාන වැටුපක් විතරක් නෙවෙයි සමාගමේ වියදමෙන් නොමිලේ යුරෝපා සංචාරයකුත් ලැබෙනවා.අපේ ඇත්තම ගුවන් සේවිකාවක් වගේ නිල ඇඳුමෙන් සැරසෙන්නත් අවස්ථාවත් ලැබෙනවා. නමුත් ඔයාලා ඇත්තම පෑන් ඇම් ගුවන් සේවිකාවන් වන්නේ නැහැ. ඒත් පත්වීමේ ලිපියක් ලැබෙනවා. මේක හරිම වැදගත්. මොකද අනාගතයේ දවසක ඔයාලා පෑන් ඇම් සේවයට එක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ලියුම නිසා ඔයාලට අයදුම්කරුවන් අතරින් ප්‍රමුඛත්වය ලැබෙනවා.

ඔයාල මේ සැලැස්මට එකඟ ද?“

.........තරුණියන් සියලුදෙනාම එකග වූහ. ඇබග්නේල් සාර්ථකව කෙල්ලන් පිරිස සිය වසඟයට ගෙන තිබිණි. කෙල්ලන් පමණක් නොව ඔවුන්ගේ ප්‍රධානියාවු හෙන්ඩර්සන් පවා ඇබග්නේල්ගේ මෙම සැලැස්මෙන් අතිශය ප්‍රමෝදයට පත්ව සිටියේය. ඇබග්නේල්ට සමුදීම සඳහා තරුණියන් පිරිස එක්ව හෙන්ඩර්සන්ගේ ප්‍රධානත්වයෙන් තරුපහේ සාදයක්ද සංවිධානය කොට තිබුණේ එනිසාය. ඉන් සතියකට පසු තෝරාගත් තරුණියන් පිරිසට පත්වීමේ ලිපි තැපැල් කළ ඇබග්නේල් ඒ සමඟ ඔවුන්ගේ නිල ඇඳුම් සඳහා පිරිවිය යුතු පෝරමයක්ද යැවීය. ඉන් පසු ඔහු යුරෝපා සංචාරය සඳහා කළමනා සූදානම් කර ගැනීම ඇරඹීය.

ගුවන් ගමන් බලපත්‍රය ඒ සඳහා ඇබග්නේල්ට තිබූ අංක එකේ අවශ්‍යතාව විය. දැනටමත් ඔහුට කිටී කොර්බට්ට පින් සිදු වන්නට තාවකාලික බලපත්‍රයක් තිබුණත් එය නිව්යෝක් හි ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කරන කාර්යාලයකට ඉදිරිපත් කිරිමෙන් ලබාගත හැකි වූයේ ෆ්‍රෑන්ක් ඩබ්. ඇබග්නේල් යන නමින් යුතු බලපත්‍රයකි. එය ‘ෆ්‍රෑන්ක් ඩබ්. විලියම්ස් - පෑන් ඇම් ගුවන් නියමු‘ යන්නට ගැලපුණේ නැත.එවැන්නක් තනා ගැනීමටද කදිම උපක්‍රමයක් ඇබග්නේල් සතු විය. ඊස්ට් කෝස්ට් නගරයේ පුද්ගල වාර්තා ගබඩාවේ උදේ වරුවක් ගතකළ ඇබග්නේල්ට ඔහු සෙවු දෙය හමුවිය. ඒ 1939 දී මාස විස්සක වයසකදී මියගිය ෆ්‍රැන්සිස් ඩබ්.

විලියම්ස් නැමැති ළදරුවකුගේ විස්තරයකි. එම ළදරුවගේ නමින් උප්පැන්න සහතිකයක් ලබාගැනීම ඇබග්නේල්ට සුළු දෙයක් විය. වැය වුයේ ද ඩොලර් තුනකි. කැලිෆෝනියාවේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ වෙනත් කාර්යාලයකට එය යළිත් ඉදිරිපත් කළ ඇබග්නේල් පෑන්ඇම් ගුවන් නියමු නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූපයක් සහිත නියම ගුවන් ගමන් බලපත්‍රයක සාඩම්බර හිමිකරුවෙක් බවට පත්විය. දැන් ඔහු තමාගේම ගුවන් කාර්ය මණ්ඩලයක් ඇතිව ලෝක සවාරියක නියැලීමට සූදානම්ය. නමුත් තවත් මාස කිහිපයක් ඉවසා සිටීමට ඔහුට සිදුවිය. ඒ වසන්ත සමය එළැඹෙන තුරුය. එම කාලය ද අපතේ නොහැර සාක්කුවට උපරිම වාසි සැලසෙන තවත් වංචාසහගත සැලසුමක් ක්‍රියාත්මක කිරිමට ඇබග්නේල් පුල පුලා බලා සිටියේය.

මයාමි බීච් හොටෙල්හි නිවසක් කුලියට ගත් ඇබග්නේල් තවත් අනන්‍යතාවක් ආරෝපණය කරගත්තේය. ඒ අලුත් වැඩකට අතගැසීමටය. එය කැලිෆෝනියා ප්‍රාන්තයේ තැරැව්කරුවකු ලෙස පෙනී හිඳිමින් මයාමිහි තරුපහේ හෝටල් හා බැංකු වෙතින් හොර චෙක්පත් මුදල් කර ගැනීමේ මහා පරිමාණයේ කූට සැලසුමකි. ඩොලර් සියයේ ‍නෝට්ටුවලින් පිරී ගිය බ්‍රිෆ්කේසයත්, කුලී පදනමට ගත් අලුත්ම පන්නයේ රෝල්ස් රොයිස් මෝටර් රථයත් එම සැලසුමේම අංගයකි. කොටස් වෙළඳ පොළ ගැන ළදරු පන්තියේ දැනුමක්වත් නොතිබුණු ඇබග්නේල්ගේ තැරැව්කරු ව්‍යාජ රංගනය ‍බොහෝ දුරට සාර්ථක වූයේ අහඹු වාසනාවන්ත සිදුවීම් නිසාය. එවැනි සිදුවීම්වලින් ලත් එඩියෙන් යුතුව ඔහු මයාමිහි හොටල් කළමනාකාරවරුන්, බැංකු හිමියන් වැනි උසස් පුද්ගල ආශ්‍රය සරුවටම කරගෙන ගියේ තමාද සම්භාව්‍ය ඝණයේ පුදගලයෙකු බවට ආකල්පයක් ඔවුන් තුළ ගොඩනංවමිනි. මයාමි නගරයේ ප්‍රධානියකු පවත්වනු ලබන සාදයකට ඇබග්නේල්ට ඇරයුම් ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිණි.

“මිස්ටර් විලියම්ස්, මට රික් ( හෝටල් විධායක නිලධාරියෙකි ) ඔබ ගැන කියලා තියෙනවා. මයාමිවල ඔයාගේම තැරැව් කාර්යාලයක් පිහිටුවන්න අදහසක් ඔයාට තියෙනවා කියලයි එයා මට කිව්වේ.“ නගර ප්‍රධානියා ඇබග්නේල් සමඟ එම සංවාදයට මුල පිරුවේ නිවාස සංකීර්ණයේ සෝපානයක් තුළදීය.

“මම එහෙම හිතාගෙන ඉන්නවා. තවම ස්ථිර නැහැ. සති දෙක තුනකින් ඒ ගැන තීරණයක් ගන්න අදහසක් තියෙනවා. “ ඇබග්නේල් පැවසීය.

“මම හිතනවා ඒ තීරණය ගන්න මට යම් උදව්වක් කරන්න පුළුවන් කියලා. මමයි මගේ බිරිඳයි ලබන සතියෙ දිහාවට සාදයක් පවත්වන්න හිතාගෙන ඉන්නවා. නගරාධිපති නගරයේ වගේම මයාමි ප්‍රාන්තයේ නම ගිය රජයේ නිලධාරින්, ව්‍යාපාරික බලවතුන්, ආණ්ඩුකාරවරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරිනුත් ඒකට එනවා. ඔයා මේ සාදයට සහභාගි එනවා නම් ඒක මට කරන ගෞරවයක් වගේම තීරණය ගන්නත් උදව්වක් වෙයි කියලා මට සහතිකයි. “

නගර ප්‍රධානියාගේ ඉල්ලීම බැහැර කරන්නට ඇබග්නේලට හේතුවක් තිබුණේ නැත. ඇතැම් විට තමාගේ අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීමට උදව්වන පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට මෙය කදිම අවස්ථාවක් විය හැකි බව ඔහුට වැටහිණි. ඔහු බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි, ‘සුන්දර වාසියක්‘ මෙම සාදයේදී ඔහුට හිමි වූයේ අතිශයින්ම සුරූපී, සරාගී නිරූපිකාවක වූ චෙරිල් නිසාය. චෙරිල් යනු මෙබඳු සාදවලට නැතිවම බැරි, විනෝදය සපයන්නියක බව පවසමින් ඇය ඇබ්ගනේල් හඳුන්වා දුන්නේද නගර ප්‍රධානියාය.

“මම දැක්කා ඔයා සාදයට එනකොටම.“ ඇය ඇබග්නේල්ට කියා සිටියේ සුන්දර සිනහවක් පාමින් සහ ආචාර කිරීමට අත ඔහු වෙත දිගු කරමිනි. “ඔයාගේ රෝල්ස් රොයිස් එක නම් හරිම අගෙයි. ඒක ඔයාගේමද නැතිනම් සාදය වෙනුවෙන් කුලියට ගත්තක්ද ?“

“ඒක මගේ රෝල්ස් රොයිස්වලින් එකක්“ ඇබග්නේල් ඇඟට පතට නොදැනී එලෙස කියද්දි ඇගේ දෑස් විශ්මයෙන් වටකුරුවනු ඔහු බලා සිටියේ සිත යටින් සිනාසෙමිනි. නියත ලෙසම ඇය ලෞකික සැප සම්පත් කෙරෙහි අතිශය ගිජු තැනැත්තියක විය යුතු බව හේ අනුමාන කළේය.

“ඒ කියන්නේ ඔයාට තවත් රෝල්ස් රොයිස් තියෙනවා?“ ඇය විමසුවේ ඇහිබැමි උඩ යවමිනි.

“ඇත්තම කියනවා නම් රෝල්ස් රොයිස් එකතු කිරිම මගේ විනෝදාංශයක්.“ ඇබග්නේල් ඇය දිනාගත්තේ එලෙසය. පාන්දර යාමයේ සාදය අවසන්වන විට ඇබග්නේල් ඇය සිය නවාතැනට ද ආරාධනා කළේය.

“මේ බලන්න දැන් මේ සාදය ඉවර වේගනයි එන්නේ. ඇයි ඔයා මගේ නවාතැනට ඇවිල්ලා උදේ භෝජන සංග්‍රහයකට මාත් එක්ක එකතු වෙන්නේ නැත්තේ ?“ ඇබග්නේල් විමසුවේ වෙනත් යටි අරමුණක් ඇතිව බව ඇයට එක්වරම ඒත්තු ගියේය.

Òඑන්න පුළුවන් ඔයා මට කීයක් ගෙවනවාද ?“ ඇගේ එම පිළිතුර ඇබග්නේල්ට දැණුනේ තමාගේ ප්‍රතිරූපයට එල්ලවු පහරක් ලෙසය. එවැන්නක් ඔහු ඇගෙන් හෝ වෙනත් කිසිදු කාන්තාවකගෙන් බලාපොරොත්තු වූයේ නැත.

“මම හිතුවේ ඔයා නිරූපිකාවක් කියලයි “ ඇබ්ග්නේල් සිය විමතිය පළ කළේ අවංකවමය.

“සමහර නිරූපණ වෙනත් නිරූපණවලට වඩා ගොඩක් මිලයි. ඔයා ඒ බව දැනගන්න ඕනෑ.“

තමා සමඟ යහන්ගතවීම සඳහා මීට පෙර කිසිදු තරුණියකට ඇබග්නේල් මුදල් ගෙවා තිබුණේ නැත. වෘත්තීය වශයෙන් සිදුකෙරෙන ලිංගික සේවා සැපයීම් ඔහුට අලුත් දෙයක් විය. චෙරිල් වැන්නවුන් සම්බන්ධයෙන් අත්දැකීම් නොතිබුණු ඇබග්නේල් අවසානයෙදි කීයක් ගෙවා හෝ ඇයව තමා සතුකර ගැනීමට අදිටන් කර ගත්තේ ඇය සරාගී සුරූපිණියක වූ නිසාම නොව ඔහුට එවැන්නක් වෙනුවෙන් අත දිග හැර වියදම් කිරිමට ඕනෑතරම් මුදල්ද තිබු බැවිනි.

“ඩොලර් තුන්සීයයි.මොකද කියන්නේ ?“

ඇය හිස සෙළ වූයේ ප්‍රමාණවත් නොවන බව අඟවමිනි.

ඇබග්නේල් එවර විමතියට පත්විය. බලාගෙන යන විට තමා මෙතෙක් කල් මෙබඳු සැප සම්පත් විඳ ඇත්තේ සැබෑ වටිනාකම නොදැන බව ඔහුට අවබෝධ විය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත

Catch Me If You Can කෘතිය සහ

අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා
හෙට : රස පහසටත්
හොර චෙක් එකක්

නව අදහස දක්වන්න