වඳුරු ගැටලුව! | දිනමිණ

වඳුරු ගැටලුව!

 වඳුරු ප්‍රශ්නයක් ඡන්දයට බලපා තිබේ. බලපෑමක් යැයි කියූව ද ඒ වනා හී ඉල්ලීමකි. කතරගම හා සෙල්ල කතරගම ජනතාව තමන්ගේ කුටුම්භයට බෙහෙවින් බලපාන වඳුරු ප්‍රශ්නය විසඳා දෙන්නැ’යි ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිති. එම ප්‍රශ්නය විසඳන කෙනකුට තමන්ගේ ඡන්දය ලබාදෙන බව ද ඔව්හු කියා සිටිති. මෙබඳු ගැටලුවක් ඡන්දයකට බලපෑම් කරන පළමු අවස්ථාව මේ යැයි කිව හැකි ය. එයින් සමාජගත වන්නේ කතරගම ප්‍රදේශයේ ජනතාවගේ ඇත්ත ගැටලුවකි. වඳුරෝ සියලු භව - භෝග විනාශ කරති. ඒ හැරෙන්නට උන්ගේ හැසිරීම ද මහජනයාගේ ජීවිතවලට කරදරයකි. ඉල්ලීම නරක නැත. එය විසඳන කෙනකුට ඡන්දය ලබා දීම ද සාධාරණ යැයි කියන්නට පුළුවන.

කතරගම ප්‍රදේශය ආශ්‍රිතව වඳුරන් හා රිලවුන් තුන් දහසකට අධික සංඛ්‍යාවක් සිටින බව කියති. රංචු පිටින් වතුවලට කඩා වදින රිලවු හා වඳුරෝ සියල්ල කා දමති. නැතහොත් විනාශ කරති. මේ අනුව කතරගම ප්‍රදේශයේ කිසිදු වගාවක් සිදු කළ නොහැකි බව ජනතාව කියා සිටිති. එය ජන ජීවිතයට බෙහෙවින් බලපායි. මේ පළාත්වල බොහෝ දෙනකුගේ වෘත්තිය ගොවිතැනය. විශේෂයෙන් ධාන්‍ය වර්ග හා එළවළු වර්ග ඔව්හු වවති. දැන් ඔවුන් පසුවන්නේ මේ කිසිවක් කරගත නොහැකි අසරණ වටපිටාවක ය. සමහරු තම ගොවි බිම් හා හේන් අතහැර වෙනත් පළාත්වල පදිංචියට යති. තව සමහරු තම හේන් හා වගාබිම් අතහැර කුලී වැඩට යති. තවත් සමහරු කිසිවක් කරගත නො හැකි ව අසරණ වී සිටිති.

වන සතුන්ගේ උවදුර අද - ඊයේ ඇති වූවක් නොවේ. එහෙත් අතීතයේ දී මේ ගැටලුව උග්‍ර තත්ත්වයක පැවැතියේ නැත. කතරගම හා සෙල්ල කතරගම පමණක් නොව; රටේ බොහෝ පළාත්වල මේ ගැටලුව පවතී. ඇතැම් පළාතක රිලවු හා වඳු‍රෝ ය. තව පළාතක වල් ඌරෝ ය. තවත් පළාතක දඬු ලේන්නු ය. තව ද සමහර පළාත්වල මොනරු වගා බිම් පාළු කරති. මේ සත්ත්ව සමූහයාට ජීවත්වීමේ අයිතියක් ඇත. එය පිළිගත යුතු ය. එහෙත් සත්ත්වයන් මනුෂ්‍ය ජීවිතවලට තර්ජනයක් නම්; ඒ සඳහා විසැඳුමක් තිබිය යුතුය. ජනගහනය අධික වීම හා නාගරීකරණය නිසා කැලෑ හා මූකළාන් එළි - පෙහෙළි වෙයි. එවිට සත්ත්ව සමූහයාට ජීවත් විය හැකි ක්‍රමයක් නැත. එවිට සත්තු ගම්වලට කඩා වදිති.

ජනගහනය අධික වීම හෝ නාගරීකරණය හෝ නැවැත්විය හැකි දෙයක් නොවේ. එය මිනිසාගේ දියුණුවේ සලකුණක් ලෙස සැලැකිය හැකි ය. දියුණු රටවල් මේ තත්ත්වයට මුහුණ දුන් අතර දෙපාර්ශ්වයටම යුක්තිය ඉටුවන උපාය මාර්ග ක්‍රියාත්මක කරති. එබඳු විද්‍යාත්මක වැඩසටහන් ලෝකය පුරා ප්‍රචලිත ය. දඩාවතේ යන බල්ලන්ගේ ගහනය අධික වන විට බලු ගහනය අඩු කිරීම සඳහා වඳ සැත්කම් සිදු කරයි. තවත් විටෙක ආරක්ෂිත වනාන්තරවලට සතුන් ගෙන ගොස් දමයි. එවැනි විසැඳුමක් වඳුරන් හා රිලවුන් සඳහා වඩා උචිත ය. බල්ලන් වනාන්තරවලට මුදා හැරීමේ සිරිතක් නැතත් රිලවුන් හා වඳුරන් සඳහා එම උපාය මාර්ගය හොඳින් ගැළපෙයි.

ඇතැම් ප්‍රදේශවල වන අලින්ගේ තර්ජන බහුල ය. වන අලි වගා බිම් විනාශ කරනවා පමණක් නොව; මිනිසුන්ට පහර දී මරා දමති. ඇතැම් විට ගෙවල් දොරවල් ද කඩා දමති. සමහර අලි නිවෙස්වල අසුරා ඇති වී ගෝනි කඩා ඒවා කෑමට පුරුදු වී සිටිති. තවත් වන අලි ගෙවල් කඩා ලුණු සොයති. පාසල් යන දරුවන් වන අලින්ගේ පහරදීමට ලක් ව මිය ගිය අවස්ථා ගණනාවක් වාර්තා වී ඇත. වන අලි ගැටලුවට ඉදිරිපත් වී ඇති එක විසැඳුමක් වන්නේ විදුලි වැට ඉදිකිරීම ය. එය සාර්ථක ව සිදුවන බවක් පෙනෙන්නට නැත. විදුලි වැටවල් උපක්‍රමශීලී ලෙස කඩාගෙන එන වන අලි ද සිටිති. වන අලි ගැටලුවට ලබාදෙන තවත් විසැඳුමක් වන්නේ උන් අල්ලා රක්ෂිතවලට මුදා හැරීම ය. එය ද සාර්ථකව සිදුවන බවක් පෙනෙන්නට නැත. අලි - මිනිස් ගැටුම දිනෙන් - දින උග්‍ර වෙයි.

පරිසර සංවිධාන හා සත්ත්ව හිංසනයට එරෙහි සංවිධාන ඇතැම් විසැඳුම්වලට විරුද්ධව ක්‍රියා කරති. වඳ සැත්කම් වැඩසටහනට බොහෝ දෙනෙක් විරුද්ධ වෙති. ඒ සඳහා ආගමික බලපෑම් ද තිබෙන බව පෙනී යයි. සත්ත්ව හිංසනයට විරුද්ධ වීම නරක දෙයක් නොවේ. පරිසරය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම ද නරක දෙයක් නොවේ. එහෙත් මිනිස් ජීවිතයට හා මිනිස් ක්‍රියාකාරකම්වලට බාධාවක් ලෙස පවතින සත්ත්ව ගහනය සඳහා විද්‍යාත්මක විසැඳුමක් අවශ්‍ය වේ. එබඳු විසැඳුම්වලට එරෙහි වීම සුදුසු දෙයක් නොවේ. වල් ඌරන් නිසා වගා පාළු වන්නේ නම්; ගොවියාට තුවක්කු ලබා දී වල් ඌරු ගහනය අඩු කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. එහෙත් විවිධ විරෝධතා නිසා එය ඉටු වූයේ නැත.

එක්කෝ වන - සත්ත්ව විෂය භාර අමාත්‍යාංශය මීට මැදිහත් වී විද්‍යාත්මක විසැඳුමක් ක්‍රියාත්මක කළ යුතුය. නැතහොත් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය තම - තමන්ගේ ප්‍රදේශවල මෙබඳු ගැටලු විසැඳීම සඳහා ඉදිරිපත් විය යුතුය. ඒ එකක්වත් හරිහැටි සිදුවන බවක් පෙනෙන්නට නැත. කතරගම ජනතාවගේ ඉල්ලීමෙන් ඒ බව හොඳ හැටි පැහැදිලි වෙයි. වැඩි දෙනකු මේ ගැටලුව හරි හැටි වටහාගෙන නැති බව ද පෙනී යයි. ඇතැම් ප්‍රදේශවල ජනතාව සිය නිවෙස් හා වගාබිම් අතහැර වෙනත් ප්‍රදේශවල පදිංචි වන්නේ සතුන්ගේ කරදර දරා ගත නොහැකි නිසා ය. එහෙත් ඇතැම් දේශපාලකයන් එබඳු ගැටලුවක් ඇති බව හෝ දන්නේ නැත. ජනතාව වෙනුවෙන් සේවයට එන අය ජනතාවගේ සැබෑ ගැටලු හඳුනා ගත යුතුය.

කතරගම සිද්ධියෙන් දේශපාලකයන්ගේ ඇස් ඇරෙනු ඇතැ’යි සිතන්නට පුළුවන. කතරගම ජනතාව මේ ගැටලුව මීට පෙර දේශපාලකයන්ට ඉදිරිපත් කරන්නට ඇත. ආයතනවලට දැනුම් දෙන්නටත් ඇත. එහෙත් විසැඳුමක් ලැබී නැත. මේ පළාතේ ආයතන නිලධාරීන් මෙන් ම දේශපාලකයන් ද ප්‍රශ්නය මඟහැර ගොස් ඇතැ’යි සිතන්නට පුළුවන. පව නිසා හෝ බිය නිසා හෝ ප්‍රශ්නවලින් මග හැර යෑමට අයිතියක් දේශපාලකයන්ට නැත. නිලධාරීන්ට ද එබඳු අයිතියක් නැත. අවසන් ලෙස මේ දෙපිරිසම ජනතාව මත රැ‍ඳෙති. බැලූ බැල්මට විහිළුවක් සේ පෙනුන ද, නියමිත අවස්ථාවේදී නියමිත පුද්ගලයන් වෙත ගැටලුව ඉදිරිපත් වී ඇත. අපි බලා සිටිමු. කතරගම වඳුරන්ට හා රිලවුන්ට සිදුවන්නේ කුමක් ද?

 

නව අදහස දක්වන්න