උදයංග අත්අඩංගුවට ගැනීමෙන් රාජපක්ෂ රෙජිමය කැළඹිලා | දිනමිණ

උදයංග අත්අඩංගුවට ගැනීමෙන් රාජපක්ෂ රෙජිමය කැළඹිලා

 රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමෙන් රාජපක්ෂ රෙජිමය කැළඹීමට පත්ව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා‍ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන ‍අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පෙරේදා (04) සහ ඊයේ (05) හම්බන්තොට, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයන් හි වීරකැටිය, බේරුවල, කොළොන්න, උඩවලව සහ රන්වල යන ප්‍රදේශවලදී පැවැති ජනහමුවලට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, “පසුගිය රජය සමයේ සිදු වූ දූෂණ වංචා පිළිබඳ විභාග කිරීම සඳහා නව අධිකරණ 03ක් ස්ථාපිත කරනවා. එමගින් එම නඩු විභාග කඩිනම් කරන්න පුලුවන්. මෙම මැතිවරණය හිටපු ජනාධිපතිවරයාට ගල උඩ සටනක් වෙලා. ඡන්දය දිනා ගැනීමට හොරකම් කරපු මුදල් විශාල ලෙස වැය කරනවා. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ කුමන ආකාරයෙන් හෝ මෙම රජය බිඳ දැමීමයි. හිරේ විලංගුවේ වැටෙන එක නතර කර ගැනීමයි. පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා රටෙන් පැනලා ඉන්නේ. ගමේ මැතිවරණයට ඔහු එන්නේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙවර ඇමරිකාවට පැනලා ගියේ ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයෙන් නෙවෙයි. ඇමරිකාවේ විදේශ ගමන් බලපත්‍රය උපයෝගි කර ගනිමින්. ගුවන් ටිකට්පත් ලබාගත්තේ වෙනම තැනකින්. එම ජනාධිපති අපේක්ෂකයා 12 වනදා පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල බලලා තමයි ලංකාවට එන්නේ. මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේ මූල්‍ය වංචා හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉන්නේ. යුද්ධය මුවාවෙන් රණවිරු ගැහිල්ලක් ගහලා තිබෙන්නේ. අපිත් යුද ජයග්‍රහණයට උදවු කළා.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සැඟවී සිටියේ. එයා හිතුවා සොයාගන්න බැරිවෙයි කියලා. සියලු තොරතුරු අපට ලැබුණා. මිග් යානා ගනුදෙනුවේ අතරමැදියෙක් ලෙස මෙම හිටපු තානාපතිවරයා කටයුතු කර තිබෙනවා. එම නිසා එම ගනුදෙනුව පිළිබඳ සියලු තොරතුරු අපට ලබාගන්න පුලුවන්. මෙම මිග් යානා ගනුදෙනුවේ ගිවිසුම් දෙකක් තිබෙනවා. එකක් නිවැරදි ගිවිසුම, අනෙක ව්‍යාජ ගිවිසුමයි. උදයංග වීරතුංග මහතා ඩුබායිවල සැඟවී සිටියේ. ඔහු ඇමරිකාවේ සිටින ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තමයි යාමට සූදානම් වු‍ෙණ්.

ඔහු ලංකාවට ගෙන ඒම සඳහා පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩුබායි බලා (05) පිටත්ව ගියා. මිග් යානා ගනුදෙනුවේ හොඳම සාක්ෂිකරුවා උදයංග වීරතුංගයි. මම කරුණු හෙළි කරනවිට මට විරෝධය එල්ල කරනවා. නමුත් මම සියලු තොරතුරු හෙළි කරනවා. සියලු පරීක්ෂණ නිසි පරිදි සිදු කිරීමට සහයෝගය ලබාදෙනවා. රාජපක්ෂලාගේ ඉරණම මෙම වසරේදී තීරණය වෙනවා. මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙනවා.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන යන සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන අවසන්. උදයංග වීරතුංග හිටපු ජනාධිපතිවරයාගේ ඥාතියෙක්. තවත් හොරෙක් ඇමරිකාවේ හැංගිලා ඉන්නවා. ඒ ජාලිය වික්‍රමසූරියයි. සොරකම් කරලා බයේ පැනලා ඉන්නේ. උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමෙන් රාජපක්ෂලා බියවෙලා ඉන්නේ. වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණත් ක්‍රියාත්මකයි. නූතන විහාරමහා දේවිය අරලියගහ මන්දිරයේ සිට තාජුඩීන් ඝාතනයට දුරකථන ඇමැතුම් 46ක් ලබාදුන්නා. විහාරමහා දේවිය ජනතාව බේරා ගැනීමට මුහුදට බිලි වුවත්, නූතන විහාරමහා දේවිය දරුවන් ඝාතනය කිරීමට තමයි සහයෝගය ලබාදුන්නේ. ඒ පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම ජනහමුවලට අධිකරණ සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුර සේනාරත්න මහතා හේෂා විතානගේ මහතා, ආසන සංවිධායකවරුන්, අපේක්ෂකයින් ඇතුලු අතිවිශාල ජනකායක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න