පොහොට්ටුවෙන්-ජනසෙත පෙරමුණෙන් දුන් නාමයෝජනා බල රහිත කරන්න ශ්‍රීලනිප මහ ලේකම්ගෙන් පෙත්සමක් | දිනමිණ

පොහොට්ටුවෙන්-ජනසෙත පෙරමුණෙන් දුන් නාමයෝජනා බල රහිත කරන්න ශ්‍රීලනිප මහ ලේකම්ගෙන් පෙත්සමක්

නෙල්කා මැදගෙදර

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජන සෙත පෙරමුණෙන් ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු තිදෙනකු ඊයේ (05) ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළහ.

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ සඳහන් එක් අපේක්ෂකයකු වන හතකපුරාලලාගේ හර්ෂ ලක්මාල් දයාරත්න නමැත්තාගේ නම ජනසෙත පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේද සඳහන්ව ඇති බවට පෙත්සම මගින් පැමිණිලි කර ඇත. එබැවින් එම අපේක්ෂකයා එම මැතිවරණයට තරග කිරීමට නුසුදුසු බවට පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක, එම පක්ෂයේ අතිරේක ‍ලැයිස්තුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා තරගවදින අපේක්ෂකයකු වන කේ. ප්‍රදීප් සංජීව ප්‍රනාන්දු සහ එම පක්ෂයෙන් රන‍්පොකුණුගම කොට්ඨාසයෙන් මැතිවරණයට තරඟවදින උදය කීර්ති කොරතොට විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එම කොමිසමේ සාමාජිකයන්, ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට දේශපාලන පක්ෂ 9කින් සහ ස්වාධීන කණ්ඩායමකින් තරග වදින අපේක්ෂකයන් 105 දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට අපේක්ෂිත අපේක්ෂකයන්ගේ නාමයෝජනා පත්‍ර ඉකුත් 2017 වසරේ දෙසැම්බර් මස 20 දින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් බාරදුන් බව පෙත්සමෙහි දැක්වේ.

එම අපේක්ෂක ලැයිස්තු ජනවාරි මස 25 දින පෙත්සම්කරුවන්ට ලැබුණු අතර ජනසෙත පෙරමුණෙන් ‘කහටෝවිට’ කොට්ඨාසයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයෙහි නම සඳහන් අපේක්ෂකයකුගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ‘රන්පොකුණුගම’ කොට්ඨාසයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයෙහිද සඳහන්ව තිබෙන බව දැනගන්නට ලැබුණු බව පෙත්සමෙහි දැක්වේ. එම නාමයෝජනා පත්‍රවල අදාළ අපේක්ෂකයාගේ ජාතික හැඳුනුම්පත් අංක ලෙස 19810751916 සහ 810751916 V ලෙස සඳහන් වන අතර එම අංක දෙකම අයත් ජාතික හැඳුනුම්පත් එකම පුද්ගලයකුට අයත් බව සඳහන්වේ.

මැතිවරණ කොට්ඨාස දෙකකට පක්ෂ දෙකකට එක අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පළාත් පාලන මැතිවරණ පනතට පටහැනි වන අතර ඒ අනුව එම අපේක්ෂකයා නුසුදුසු අපේක්ෂකයකු බවට සඳහන් වෙයි. එම අපේක්ෂකයා නුසුදුස්සෙකු වීම නිසා එම පෙරමුණු දෙකෙහිම නාමයෝජනා පත්‍රවල නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව සම්පූර්ණ නොවන නිසා ඒ හේතුව මත එම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කළ හැකි බව පෙත්සම්කරුවන් පෙන්වා දෙති.

එබැවින් එම නාමයෝජනා පත්‍ර බලරහිත කරන ලෙසද එම පෙරමුණු දෙකෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට තේරීපත්වීම වළක්වන ලෙසද, ඔවුන් එම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත් කිරීම වළක්වන ලෙසද මෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඡායාරූප - සාලිය රූපසිංහ


නව අදහස දක්වන්න

Or log in with...