පතී නික්ම ගිය පසු | දිනමිණ

පතී නික්ම ගිය පසු

ධර්ම­සේන පති­රාජ

ආචාර්ය ධර්මසේන පතිරාජ සූරින් අප අතරින් වියෝවීමත් එක්ක රටේ පුවත්පත් ගණනාවක එතුමන් ගැන එක එක විදිහේ ලිපි කිහිපයක්ම ලියැවී පළවී තිබුණා. ඒ අතර ඇතැමුන් කියා තිබුණේ එතුමන්ට ජීවතුන් අතර සිටියදී නිසි ඇගයීමක් නොලැබුණු බවයි. කලාකරුවෙක් මිය ගිය පසු කෙරෙන ශෝකාලාප, ඇගයීම්, උපහාර උළෙලවල්, අනුස්මරණ වැඩසටහන් එක එක විදිහට සිද්ධවෙන බව සැබෑවක්. බොහෝ කලාකරුවන්ට නිසි තැනක්, ගෞරවයක් ලැබෙන්නේ මිය ගිය පසුව බවත් ඇත්තක්. ඒත් ඒ කාරණය පතිරාජට අදාළව ඒ විදිහටම ගළපා ගන්න බැරි බැව් මං පුද්ගලිකව දන්නවා. ඒ මොකද කියනවනම් එතුමන් මිය යන්නට පෙරාතුව රෝගාතුරුව සිටියදී යාපනය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වා සම්මාන ප්‍රදානය කොට යාපනයේ ජනතාවට තාමත් ‘පොන්මනී‘ මතක බැව් තහවුරු කරනු ලැබුණා. ඒ මොහොතේ යාපනයේ ද්‍රවිඩ ජනයාගේ ගෞරව බුහුමන් ලැබීමට තරම් වාසනාවන්ත වීමට ඔහුට හැකිවුණා. අනෙක් අතට බොහෝ දෙනෙකු පතිරාජ සූරින් හඳුනා ගනු ලබන්නේ සිනමාකරුවෙකු ලෙස වුවත් ‘කොරා සහ අන්ධයා‘ නාට්‍ය රචනය, ‘පුටු‘නාට්‍ය නිෂ්පාදනය කිරීම ආදිය තුළින් ඔහු ‘නාට්‍යකරුවකු‘ ලෙසින් කළ සේවය අගයමින් මෑත කාලයේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවති ඇගයීම් උළෙලත් ඔහුට සතුටට කාරණයක් වූ බව පැහැදිලියි.

‘මං බිස්නස්කාරයෙක් වුණේ නෑ. ලාබ හොයන්න කලා කෘති කරන්න ඕන නෑ‘ පතිරාජ ඒ දවසේත් තමන්ගේ ආස්ථානය ඉතාමත් පැහැදිලිව ලකුණු කළ බැව් ඒ මොහොතට එක්වුණු හැමෝටම මතකයි. අනෙක් අතට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පැවති උපහාර උළෙලේදීත් ඔහුට නිසි ගෞරවය ලැබුණා සේම ඔහුගේ ආස්ථානය තව දුරටත් පැහැදිලි කිරීමට ඔහුට ඒක ලොකු උදව්වක් වුණා. කොහොම වුණත් මේ කාරණයට අදාළව නැවත නැවතත් කිව හැක්කේ බොහෝ කලාකරුවන්ට තම දිවියේ අවසාන අදියරේ නොලැබුණු විදිහේ සැලකිල්ලක් පතිරාජට ලැබුණු බවයි. ඒත් ඉතිං ඒක පුද්ගලික අදහසක්. හැමෝම ඒකට එකඟ වෙන්න ඕන නෑ.

“මොනව වුණත් සිනමාවට කලාවට හෙවණ දුන්නු පරණ හයිය තියෙන ගස් එක දෙක කඩා වැටීගෙන යනවා. අලුතෙන් ක්ෂේත්‍රයට එන අය ගැන නම් කියල වැඩක් නෑ“ ඉස්කෝලෙ මහත්තයා කියනවා.

“ඇයි ඉස්කෝලෙ මහත්තයා එහෙම කියන්නෙ? ජෙමා ඇහුවා.

“පරණ උදවිය කරපු දේවල්ම අලුත් අයත් කරන්න ඕන කියලා නියමයක් නෑනෙ. අනික ඉතිං එක පිරිසක් කරපු දෙයක් ඒ විදිහටම තවත් පිරිසක් කරන එකෙන් ඇති වැඩකුත් නෑනේ.“ මාත් නිකමට කීවා.

“ඔහෙල ඉතිං හැමදේම බලන්නෙ රුයිතෙට නොවැ“ ඉස්කෝලෙ මහත්තයා කියනවා.

“මං හිතන්නෙ ඉස්කෝලෙ මහත්තයාම තමයි එහෙම බලන්නෙ. ඒ කියන්නෙ අලුත් පරම්පරාව දිහා රුයිතෙටමයි බලන්නේ“ ජෙමා උත්තර දෙනවා.

“මේ ජෙමා, ඔහේට කාපූ බීපු ඒවායෙ සල්ලි එපාද? ඉස්කෝලෙ මහත්තයා විහිළුවට වගේ එහෙම කියාගෙන තමන් බිබී හිටපු තේ කහට කෝප්පයේ අවසන් ස්වල්පය වීසි කරලා සීනි ටික කටට හළා ගත්තා.

“ඇත්තම කියනවනම් ඉස්කෝලෙ මහත්තයා, පතිරාජ මහත්තයා දැවැන්ත නිර්මාණ කීපයක්ම රටට, ලෝකයට දායාද කරලා තියෙනවා. ඒ ගැන අපරාදෙ කියන්න බෑ. අනෙක් අතට මැරෙන මොහොත දක්වාම තමන් විශ්වාස කරපු පරමාදර්ශ, ප්‍රතිපත්ති පාවාදුන්නෙ නෑ. නිර්මාණ කෙරුවේ තමන්ටයි මිනිස්සුන්ටයි මිසක් වෙළෙන්දන්ට නෙවෙයි. අන්න ඒක ඉතාමත් වැදගත්. ඒත් පතිරාජ මහත්තයා කරපු වැඩ අලුත් පරම්පරාවෙ සිනමාකරුවන්ගෙන් බලාපොරොත්තුවීමම වැරැද්දක්. පතිරාජ කියන්නෙ ලංකාවේ සිනමාවෙ එක යුගයක්. ඉතිං ඒ යුගය නියෝජනය කරන්නට ඊයෙ පෙරේදා ක්ෂේත්‍රයට ආව අයට බෑ. ඒත් ඒකෙන් අලුත් පරම්පරාවෙ නිර්මාණකරුවන් දක්ෂයන් නෙවෙයි කියන්න බෑ. ඒ අයට ඒ අය නියෝජනය කරන යුගයේ ප්‍රශ්න ගැන කතා කරන්න ඉඩ දෙන්න ඕන. ඒකෙ වැරැද්දක් නෑ“ මං කීවා.

පෙට්ටිකඩේ හිටපු හැමෝම වගෙ මගේ කතාව අනුමත කෙරුවා. ඉස්කෝලෙ මහත්තයා නිශ්ශබ්ද වුණා මිසක් කතාව අනුමත කළේවත් විරුද්ධ වුණේ වත් නෑ. ඒත් නිශ්ශබ්දතාව ඇතුළේ අනුමත නොකිරීම කියන කාරණය නම් තියෙනවා.

“මොනව වුණත් හරිම සරල මිනිහෙක්. තමන්ගෙ අවසන් කටයුතු පැය විසි හතරක් ඇතුළ තමන්ගෙ ගම් පළාතෙම කරන්න කියලා ඉල්ලලා තිබුණා.“ජෙමා, සීනි බනිසයක් පුංචි රත්තාට දෙන ගමන් කීවා.

“ඒක ඇත්ත. එතුමාව දන්න හැමෝටම පැය විසි හතරක් ඇතුළත නුවරට යන්න බැරි නිසා ගොඩක් දෙනෙක් අවමඟුලට ගියේ නෑ. ඒත් බොක්කෙන්ම යා යුතු බව විශ්වාස කරපු අය කොහොම හරි ගියා.“ ඉස්කෝලෙ මහත්තයා කීවා. මං ඒකට මොකුත් කියන්න ගියේ නෑ.

පතිරාජ සූරින්, මරණින් මතු ජීවිතයක් ගැන හීන දැක්කෙ නෑ. ඒත් එතුමන් මිය ගිය පසු බොහෝ දෙනෙක් එතුමන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරලා තිබුණා. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ. ඒ මොකද කියනවනම් ප්‍රාර්ථනයකදී සිද්ධවෙන්නේ ප්‍රාර්ථනා කරන කෙනාගෙ විශ්වාසය හා ඇදහීම කල එළි බැසීමක් මිසක් ප්‍රාර්ථනයට ලක්වෙන්නා ඒක විශ්වාස කරනවාද යන්න ඒකට ඒච්චර අදාළ නෑ. අනික භෞතිකවාදීන් යයි කියා ගන්නා පිරිස් ‘සුභ ගමන්‘ වගේ දේවල් කීවත්, ඒ ගමන ‘සුබද, අසුබද? කියලා කවුරුවත් දන්නෙ නෑ. මොකද ගිය කෙනෙක් ගිහින් ඇවිත් ඒ ගැන මොකුත්ම කියලා නැති හින්දා. ඒ හින්දා ඉතිරි කරලා යන ‘දේ‘ ට ‘මතකයට ස්තූතියි‘ කියන එක නම් කොයි අතින් බැලුවත් වටිනවා. මොකද ඇත්තටම ඉතුරු වෙන්නෙ එච්චර නිසා.

බණ්ඩි රාල

නව අදහස දක්වන්න