මෙහෙමත් රෙපෙයාර් | දිනමිණ

මෙහෙමත් රෙපෙයාර්

කෝච්චිය පිළිබඳ හුටපට හැමදාම නිමාවට පත්වන්නේ මහජනයාට පාඩුවක් සිදුකරමින් ය. ඊටත් වඩා පාඩුවක් හා හිරිහැරයක් මගියාට සිදු කරමින්ය. දුම්රිය සේවකයෝ තම වැටුප් වැඩිකර ගැනීම සඳහා ද පහසුකම් වැඩිකර ගැනීම සඳහාද වර්ජන කරති. ඔවුන් ‍එසේ වර්ජන කරනුයේ මගී ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් ය. දුම්රිය වැඩ වර්ජනවලින් බොහොමයක් අවසන් වී ඇත්තේ ඉල්ලීම් දිනාගැනීමෙන් පසුව ය. ආණ්ඩුවක් මේ ඉල්ලීම් දෙස ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වන්නේ මගී ජනතාව නිසා ය. මගී ජනතාව යනු බලවේගයකි. නැතහොත් ගතික ශක්තියකි. එහෙත් මේ වනතෙක් ඔවුන් දිනාගත් දෙයක් නැතැ’යි සැලැකිය හැකි ය.

දැනට සති දෙකක් තිස්සේ නැ‍ඟෙනහිරට යන ප්‍රධාන කෝච්චි දෙකක් ධාවනය වන්නේ නැත. එක කෝච්චියක් වන්නේ කොළඹ කොටුවේ සිට මඩකළපුව දක්වා උදෑසන 6.05 ට ධාවනය වූ දුම්රිය යි. අනෙක් කෝච්චිය වන්නේ මඩකළපුවේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන 6.45 ට ධාවනය වූ දුම්රිය යි. මේ දුම්රිය දෙක ධාවනය නොවීමෙන් මගී ජනතාවට වූ අපහසුව හා හිරිහැරය ගණනය වී නැත. ඊට අදාළ වෙළෙඳාම් ද ගණනය වී නැත. අමතක නොකළ යුතු කාරණයක් වන්නේ දුම්රිය තුළ වෙළෙඳාමෙන් විශාල පිරිසක ජීවත්වන බව ය. පවුල් වශයෙන් ගතහොත් මේ තත්ත්වය හොඳින් වටහා ගත හැකි ය.

නැ‍ඟෙනහිර ප්‍රධාන කෝච්චි දෙක ධාවනය නොවන්නේ රියැදුරන් හා ගාඩ් මහත්වරුන් දැක් වු විරෝධතාවක් නිසා ය. ඔවුන් ඊට හේතු ලෙස දක්වනුයේ ධාවනය සඳහා යොදවා ඇති දුම්රියවල තිරිංග හරිහැටි ක්‍රියාත්මක නොවන බව ය. එක්කෝ මේ දුම්රියවල තිරිංග සකස් කළ යුතුය. නැතහොත් වෙනත් දුම්රිය කට්ටල ඒ සඳහා භාවිත කළ යුතුය. ඒ එකක්වත් හරිහැටි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. දුම්රිය සේවක මණ්ඩල කියා සිටින්නේ තිරිංග සකස් කිරීම සඳහා වැඩ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ය. වැඩ දෙපාර්තමේන්තුව කියා සිටින්නේ මේවා සකස් කිරීම සඳහා තවත් සති දෙකක්වත් ගත වන බව ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අසංවිධිත බවද ආකාර්යක්ෂම බව ද මෙයින් මොනවට පැහැදිලි වෙයි. අප කළ විමැසුමක දී දුම්රිය අධිකාරීන් කියා සිටියේ මේ සතිය තුළ තත්ත්වය නිරාකරණය කරන බව ය. එහෙත් එය එසේ කළ නොහැකි බව දැන් පවතින තත්ත්වය අනුව පැහැදිලි වෙයි. මේ ප්‍රශ්නයට මුල් වී ඇත්තේ චීනයෙන් ගෙන්වන ලද කෝච්චි මැදිරි හා එන්ජින් යැයි තව සමහරු පෙන්වා දෙති. චීනයෙන් කෝච්චිවලට සම්බන්ධ දේවල් ආනයනය කිරීම ආරම්භ කළේ ගිය ආණ්ඩුවයි. එයින් පෙනී යන්නේ මේ ගැටලුව තුළ දේශපාලනයක් ද ඇති බව ය.

මෙහිලා ප්‍රශ්න කළ යුතු අවස්ථා කිහිපයක් ද තිබේ. එක; ගිය ආණ්ඩුව යටතේ මේ දුම්රිය සුපුරුදු ලෙස ධාවනය කළේ ය. එදා තිරිංග පිළිබඳ ප්‍රශ්නයක් මතු වූයේ නැත. එසේ නම්; ප්‍රශ්නය ගැන දේශපාලන මතයක් ඇති බව ද පැහැදිලි ය. එදා වර්ජනය නොකළ රියැදුරෝ හා ගාඩ්වරු අද වර්ජනය කරති. මෙය ආණ්ඩුව අපහසුවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් වන්නට පුළුවන. ගැටලුවට මූලික වූයේ කෝච්චියේ තිරිංග පිළිබඳ ගැටලුවක් නම්, එදා එම ප්‍රශ්නය නොවූයේ මන්දැ’යි ප්‍රශ්න කරන්නට අපට සිදුවේ. එදා චීන කෝච්චි හා මැදිරි කිසිසේත් ම නරක නැත. එහෙත් අද චීන කෝච්චි, මැදිරි පමණක් නොව තවත් දේවල්ද විරෝධයට ලක් වී තිබේ. එය ඇත්ත විරෝධයක් ද ව්‍යාජ විරෝධයක් ද යන්න ද සොයා බැලිය යුතුය.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයෙන් ලාභ ලැබිය හැකි ය. එලෙස ම එය මහජනයාට උපරිම සේවය ලබා දෙන ආයතනයක් ලෙස ද පවත්වාගෙන යා හැකි ය. මඩකළපුව - කොටුව දුම්රිය ඊට හොඳම නිදර්ශනය වේ. ඊට විශාල මගී සංඛ්‍යාවක් පුරුදු වී සිටියහ. එලෙස ම භාණ්ඩ ප්‍රවාහනයේ ලා ඉහළම තත්ත්වයක් ද සටහන් කරගෙන තිබුණේ ය. එබඳු සාධනීය තත්ත්වයක් විනාශ කළෝ කවරහු ද? එක අතෙකින් මගී ජනතාව මේ දුම්රිය දෙකට ම බෙහෙවින් ආදරය කරති. ඒ ඔවුන්ගේ දුර ගමන් පහසුව මේ මගින් විසැ‍ඳෙන බැවින් ය. තව අතෙකින් එය ලාභදායී ව්‍යාපාරයක් බවට ද පත් වී තිබිණි. එහෙත් ඉහත සිද්ධියත් සමඟ සියල්ල විනාශ වී ගියේ ය. එය යළි නඟා සිටුවිය හැක්කේ ද මගී ජනතාවගේ එකමුතුවකට පමණි.

ඉහත සඳහන් දුම්රිය දෙක වහා පණ ගැන්විය යුතුය. කොළඹ කොටුවෙන් මඩකළපුව බලා ධාවනය වන දුම්රිය ද මඩකළපුවෙන් කොළඹ බලා ධාවනය වන දුම්රිය ද තාවකාලික ලෙස අත්හිටුවීම අප දකිනුයේ අතිශය මෝඩ ක්‍රියාවක් හැටියට ය. 

 


නව අදහස දක්වන්න

Or log in with...