අන්තංපුරයක් සමඟ ලෝක සවාරියක්! | දිනමිණ

අන්තංපුරයක් සමඟ ලෝක සවාරියක්!

23 වැනි කොටස

“සති දෙකකට වරක් ඔයාලට, පෑන් ඇම් චෙක්වලින් ගෙවීම් කරනවා. නමුත් යුරෝපයේදී මේ චෙක් මුදල් කරගැනීම හරිම අමාරුයි. ඒ නිසා හොඳම දේ ඔයාල ඒ චෙක් මගේ නමට ලියන එක. එතකොට මට පුළුවන් පෑන් ඇම් එක්ක ගනුදෙනු කරන ආයතනයකින් හරි හෝටලයකින්, බැංකුවකින් හරි මුදල් කරලා දෙන්න. අනවශ්‍ය කරදරවලින් ගැලවෙන්න ඒක හොඳම ක්‍රමයක්. කාට හරි මේ දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනවාද?"

“ඔයාලට පෙනෙනවා ඇති ඔයාලගේ පෑන් ඇම් හැඳුනුම්පත්වල සටහන් වෘත්තිය වෙලා තියෙන්නේ ‘‘ගුවන් සේවිකා කියලා.අපි නවාතැන් ගන්න හොටල්වලදීයි, ඡායාරූපශිල්පීන් අතරෙයි ඒක එහෙමයි. නමුත් මතක තියාගන්න, අපි සංචාරය කරන්නේ සිවිල්වැසියන් හැටියට.ඔයාලා නිල ඇඳුමින් සැරසෙන්න ඕනෑ කොයිවෙලාවටද කියන එක තීරණය කරන්නේ මම.ඒකට හේතුව. ඔයාලා තේරුම්ගන්න ඕනෑ ඔයාලාට මේ ලැබිලා තියෙන්නේ හරිම විරල වටිනා වාසනාවක්. කිසිම වැඩක් නොකර, ගෙවීමකුත් ලබාගෙන, ලෝකේ වටේ නොමිලේ සවාරි යන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලව දකින අනෙක් පෑන් ඇම් ගුවන් සේවකයන් අතර යම් ඊර්ෂ්‍යාවක් අසහනයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිකමට හරි ඔයාලට පෑන් ඇම් නිලධාරියෙක් හමුවුණොත් එයාලත් එක්ක වැඩි කතාවට යන්න එපා. ඔයාලා නිව්යෝක් කාර්යාලයේ ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වෙනවා. ඒක පෑන් ඇම් සමාගමේ විශේෂ වැඩසටහනක්. එච්චරයි. ඊට වඩා වැඩි දෙයක් කියන්න යන්න එපා. එයාලා වැඩි කතාවට ආවොත් කෙළින්ම මට යොමු කරන්න. වැඩේ ඉවරයි.

“ ඉන් අනතුරුව ඇබග්නේල් ගෙවීම් කරන ආකාරය විස්තර කරන්නට ගත්තේ මේ හැම දෙයක්ම සම්බන්ධයෙන් ආරම්භයේදීම එකඟතාවකට පැමිණීම ‘මහා පෑන් ඇම් යුරෝපා මගඩියේ‘සාර්ථකත්වයට රුකුලක් බව ඇබග්නේල් විශ්වාස කළ නිසාය.

“සති දෙකකට වරක් ඔයාලට, පෑන් ඇම් චෙක්වලින් ගෙවීම් කරනවා. නමුත් යුරෝපයේදී මේ චෙක් මුදල් කරගැනීම හරිම අමාරුයි. ඒ නිසා හොඳම දේ ඔයාල ඒ චෙක් මගේ නමට ලියන එක. එතකොට මට පුළුවන් පෑන් ඇම් එක්ක ගනුදෙනු කරන ආයතනයකින් හරි හෝටලයකින්, බැංකුවකින් හරි මුදල් කරලා දෙන්න. අනවශ්‍ය කරදරවලින් ගැලවෙන්න ඒක හොඳම ක්‍රමයක්. කාට හරි මේ දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනවාද?"

නමුත් තවමත් ජිවිත පාසැලේ අත්දැකීම් අල්ප මේ හිරිමල් තරුණියන් ඇබග්නේල්ගේ සටකපටකම් අවබෝධ කරගැනිමට තරම් මෝරා සිටියේ නැත. එවේලේ ඔවුන් සිටියේ මේ අලුතින්ම කරන්නට යන වික්‍රමය ගැන උපන් කුතුහලය මුසු වූ උද්යෝගයකිනි. එදින ඔවුන් සියල්ලන්ම නින්දට ගියේ පසුදින ලන්ඩනය බලා යන ගුවන් සවාරිය ගැන සිහින දකිමිනි. තම සැලැස්මේ සංකීර්ණත්වයත්, වගකීම් විරහිතභාවයත් ගැන ඇබග්නේල්ටද හැඟීමක් තිබු‍ණේ නැත. තිබුණත් ඔහු එය සිය විනෝද චාරිකාවේ සතුටට බාධාවක් කරගත්තේ ද නැත.

ලන්ඩනයේදී කෙල්ලන් පිරිස සාප්පු සවාරියකට පිටත් කර ඇබග්නේල් පෑන් ඇම් ඡායාරූපකරණ සැසියට කටයුතු පිළියෙළ කරන්නට විය. දුරකතන නාමාවලියකින් ලන්ඩන් නුවර වෘත්තීය ඡායාරූප ආයතනයක් සොයාගෙන ඔහු ඔවුන්ට ඇමතීය.

“හෙලෝ! මම ෆ්‍රෑන්ක් විලියම්ස්, පෑන් ඇම්වල මහජන සබඳතා අංශයේ නියෝජිතයෙක්. අපේ සමාගමේ ගුවන් සේවිකාවන් යොදාගෙන ප්‍රවර්ධන වැඩසටහනක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකට අපිට ඡායාරූප ටිකක් ඕනෑ. කෙන්සිංටන්වල රෝයල් ගාර්ඩ්න්ස් හෝටලයේ අපේ ගුවන් සේවිකාවන් අටදෙනෙක් දැනට නවාතැන් අරන් ඉන්නවා. අපිට ඕන කරන්නේ එයාලා ලන්ඩන්වල තේම්ස්, පිකැඩිලි වගේ විශේෂ වැදගත්කමක් තියෙන තැන්වල තියලා ඡායාරූප ගන්න. ඔයාලට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද ?“

“අපොයි පුළුවන් “ ඡායාරූප ශිල්පියා කතා කළේ උද්යෝගය වෑහෙන හඬකින් බව ඇබග්නේල් තේරුම් ගත්තේය. “මම අපේ ඡායාරූප ශිල්පියෙක් රෝයල් ගාර්ඩ්න්ස්වලට එවන්නම්. අපි කරපු ඔය වගේ ව්‍යාපෘතිවල සාම්පල ටිකක් එක්ක. එතකොට ඔබතුමාටම අපේ සේවය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. මට විශ්වාසයි අපිට හොඳ ගනුදෙනුවක් කරන්න පුළුවන් වෙයි කියලා මිස්ටර් විලියම්ස් "

ඇබග්නේල් එදින දහවල් ආහාරය ගත්තේ ඡායාරූප ශිල්පියා සමඟ ඔවුන්ගේ ඉදිරි ව්‍යාපෘතිය ගැන කතාබහ කරමිනි. නොදැනුවත්ව වුවද ඔහු තෝරාගෙන තිබුණේ ලන්ඩනයේ නම ගිය ඡායාරූප සමාගමක් බව හෙළි වූයේ එම කතාබහා අතරතුරේදීය. ඔවුන් පෑන් ඇම් සමාගම වෙනුවෙන්ද කිහිපවරක් සේවය ලබා දී තිබිණී.

“අපි මේ කරන්න යන දේ ටිකක් වෙනස් වගේම අලුත්. හැබැයි එක දේකටම ඔයාලා උඩින්ම කැමති වෙන බව මට විශ්වාසයි.ඔයාලගේ ගෙවිම් අපි දවස් පතා, එවෙලේම මුදල්වලින් කරනවා. මට ඒ වෙනුවෙන් ලදුපතක් දුන්නම ඇති. “ ඇබග්නේල් සිය සැලසුම හෙළි කළේය.

“එතකොට කොහොමද අපි හරි වැරදි බලන්න ඡායාරූපවල පිටපත් ඔයාලට දෙන්නේ ?“ නියෝජිතයාට දැන ගැනීමට අවශ්‍ය වූයේ ඇබග්නේල් ඡායාරූප ගැනීම මිස නැරඹීමක් ගැන කතා නොකළ නිසාය.

“මේකයි, ඔයාලාගේ ඡායාරූප එනකොට අපි ලන්ඩන්වලින් හුඟක් දුර ගිහින් තියේවි. ඒ නිසා මට ඒවා ගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඡායාරූප නිව්යෝක්වල පෑන් ඇම් මහඡන සම්බන්ධතා ඒකකයට යවලා තියන්න. එතකොට මෙහෙදී මම කරන ගෙවීමට අමතරව එයාලගෙනුත් ඔයාලට ගෙවීමක් ලැබේවි. “ඇබග්නේල් පැවසුවේය.

ජයග්‍රාහි සිනහාවක් පෑ ඡායාරූප ශිල්පියා මෙම යෝජනාවට සිය හදපිරි සතුට පළ කළේ සිවුරුහම් බාමින් ජය පැන් බීමට බියර් වීදුරුවත් ඉහළට ඔසවමිනි.

“කදිමයි. ආන්න එහෙම තමයි අපි අලුත් අලුත් දේවල් කරන්න ඕනේ. මම උඩින්ම කැමතියි."

පසුදින උදෑසන ඡායාරූප ශිල්පීන් තිදෙනෙකු හා කැමරා ආම්පන්න පටවාගත් වෑන් රියක් රෝයල් ගාර්ඩ්න් හෝටලයට සම්ප්‍රාප්ත විය. තරුණියන් පිරිස ඡායාරූප සැසියට රැගෙන යාමේ වගකීම, ඇබග්නේල් විසින් කණ්ඩායමේ ප්‍රධාන ඡායාරූප ශිල්පියාට භාරදෙනු ලැබුවේ ඔහුට කරන්නට තවත් වැඩ රාජකාරි බොහෝමයක් තිබුණු නිසාය. ඒ සඳහා ඔහුට ආධාර වුයේ, සියතින්ම සකස් කෙරුණු හොර අයකැමි චෙක්පත්, පපා ලැවලියර් විසින් අලංකාර ලෙස මුද්‍රණය කරදුන් නියම, හොර පෑන් ඇම් පඩි චෙක්පත්, හා පෑන් ඇම් ගබඩාවෙන්ම සොරාගත් ගෙවීම් අනුමත කිරිමේ පෝරමයන්ය. පසුදින උදෑසන සිය තරුණියන් පිරිස රැස් කළ ඇබග්නේල් ඔවුන්ට ව්‍යාජ පෑන් ඇම් චෙක් අටක් බෙදා දුන්නේ, ගුවන් කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් හෝටල් අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳ දීර්ඝ දේශනයක් කිරීමෙන් පසුය. විශාල වටිනාකමකින් යුතු චෙක් කෙල්ලන් ලවා යළිත් තමාගේ නමට ලියවා ගත් ඇබග්නේල් හෝටලයේ නවාතැන් බිල ගෙවීමට ඉදිරිපත් කළේ ඒවාය. ඒවායේ වටිනාකම හෝටලයේ බිල්පතේ වටිනාමකට වඩා බෙහෙවින් වැඩි වු අතර, ඔහු බලාපොරොත්තු වු පරිදිම අයකැමිවරයාට ඉතිරි මුදල් ලබාදීමට ප්‍රමාණවත් මුදලක් තිබුණේ නැත.

“අයියෝ කැප්ටන් ඔයා අපිව අමාරුවකනේ දාලා තියෙන්නේ ! මේ චෙක්පත් ලියලා තියෙන්නේ ලොකු ගණන්වලටනේ. ඔයාට ඉතිරි මුදල් දෙන්න අපි ගාව ඩොලරුත් නැහැ.“ අයකැමිවරිය නෝක්කාඩු කියන්නට වූවාය. “කැමති නම් පවුම්වලින් දෙන්න පුළුවන්.“

ඇබග්නේල් අපහසුතාවට පත්වු බවක් මවා දක්වමින් හැසිරෙන්නට වුවත්, සියල්ල සිදුවෙමින් තිබුණේ ඔහු සැලසුම් කළ අයුරිනි. පවුම්වලින් ඉතිරි මුදල් ලබාදීමේදී තමාටද පෞද්ගලිකව වාසියක් වන බව අයකැමිවරිය විශ්වාස කළාය. නමුත් වාසිය සිදුවුයේ ඇබග්නේල්ටය. ඔහු ඇයට දුන්නේ ව්‍යාජ චෙක් බැවිනි. නමුත් ඉතිරිය ලෙස ඔහුට ලැබුණේ පවුම් නෝට්ටුය. එදින සවස සිය පරිවාර තරුණියන් සමඟ රෝමය බලා පියසාර කළ ඇබග්නේල් එහි හෝටල්ද ගොනාට ඇන්දුවේ හොර චෙක්පත්වලින් නවාතැන් බිල් ගෙවා ඉතිරි මුදල් ලීරාවලින් ලබා ගනිමිනි.

ඇමරිකානු ඩොලර්වලින් ලියැවුණු චෙක්පත් ස්වදේශීය මුදල්වලින් මාරුකරදීමට එම රටවල අයකැමිවරුන්ද එක පයින් එකඟ වූයේ, පසුව ඒවා ඩොලර් බවට පත්කර ගැනීමෙන් තමන්ට හිමිවන මුල්‍යමය ප්‍රතිලාභය සාක්කුවට වාසි වු බැවිනි. නමුත් නොදැනුවත්කමින් තමන් සාක්කුව පුරවා ඇත්තේ ඇබග්නේල්ගේ බව ඔවුන් දැන ගන්නා විට ඇබග්නේල් බොහෝ දුර ගොස් තිබිණි.

හැකි හැම විටම ඇබග්නේල් ගුවන් මාර්ග වෙනුවට ගොඩබිම් මාර්ග තෝරා ගත්තේ සිය තරුණියන් කණ්ඩායමට සැබෑ පෑන් ඇම් ගුවන් සේවිකාවන් හමුවීම වැළැක්වීමටයි. එය ඇත්තට බොරුව මුණගැසෙන මහා විපත්තියක ආරම්භය බව හේ දැනසිටියේය. එවැනි කරදර මඟහැරීමට ඇබග්නේල් නිතර දුන් අවවාද තරුණියන් පිළිපැද්දේ සුවච කීකරු ලෙසය. මෙම කඩවසම් ගුවන් නියමුවා සැක කිරීමට ඔවුන්ට හේතුවක් නොතිබිණි. යුරෝපය පුරා කෙල්ලන් පිරිස සමඟ රවුම් ගැසීමට සු‍ඛෝපභෝගි බස් රථයක්ද කුලියට ගත් ඇබග්නේල් කදිම නිවාඩුවක් ගෙවන අතරවාරයේ කපටිකමින් මුදල් වංචාකිරීමද කරගෙන ගියේය. කෙල්ලෙක් සමඟ තනිවීමට ඇරයුමක් ලැබුණු විට හේ එයද මඟහැරියේ නැත. සෑම දෙසතියකටම වතාවක් ඔහු ඔවුන් සියලුදෙනාට නියමිත පරිදි ගෙවීම් සිදුකළේය. කෝපන්හේගන් නුවරින් සිය ‘යුරෝපා මහා වංචා සංචාරය‘ නිමා කළ ඇබග්නේල් තරුණියන් පිරිසට සමු දුන්නේ ඔවුන්ගේ සංචාරය පිළිබඳ තොරතුරු විමසන්නන්ට ලබාදිය යුතු මනබඳිනා සුළු කතාවකින්ද සන්නද්ධ කිරීමෙන් පසුය.

“ඔයාලගේ නිල ඇඳුමයි, හැඳුනුම්පතුයි පරෙස්සම් කරලා තියා ගන්න. සමාගමට ඒවා ඕනෑනම් ඔයාල අමතාවි. ආපහු පුරුදු විදිහටම ඉස්කෝලේ යන්න. මොකද ඔයාලාගේ ඉගෙනීමේ කටයුතු අවසන් වෙනකම් පෑන් ඇම්වල ස්ථීර සේවයට බඳවා ගැනෙන්නේ නැහැ. ඒ කටයුතු අවසන් වුණාම ඔයාලව පෑන් ඇම් සමාගමෙන් ආපහු අමතාවි. ඒ මම නොවෙන්න පුළුවන්. නමුත් මගේ එකම බලාපොරොත්තුව ඔයාලා මගේ යානයේම කාර්ය මණ්ඩලය විදිහට පත්වෙලා ඒවි කියලයි. ඔයාලත් එක්ක යුරෝපයේ ගත කරපු කාලය තමයි මගේ ජිවිතයේ හොඳම කාලය. “ ඇබග්නේල් තරුණියන්ට සමුදුන්නේ එලෙසය. ඔවුන් සමඟ ගත කළ කාලය සැබවින්ම ඇබග්නේල්ගේ ජිවිතයේ හොඳම කාල පරිච්ඡේදයක් විය. කදිම විනෝදයකට අමතරව ඔවුන් ඩොලර් තුන්ලක්ෂයක් පමණ නොදැනුවත්වම හොර චෙක්පත්වලින් ඇබග්නේල්ට උපයාදී තිබූ බැවිණි.

ඇබග්නේල් පැවසු පරිදිම පෑන් ඇම් සමාගම තරුණියන්ව අමතා තිබිණි.ඒ සංචාරයෙන් තෙමසක් වැනි කෙටි කලකින් පසුය. ඒ එකම තරුණියන් පිරිස යුරෝපයේ නා නා විධ නගරවල විවිධාකාරයේ ඉරියව්වලින් පෙනීසිටින ඡායාරූප මාස තුනක් මුළුල්ලේ වැල නොකැඩී පෑන් ඇම් සමාගම වෙත ගලා ඒමෙන් පසු එහි වෙළඳ ප්‍රචාරණ නිලධාරින් ඒ සම්බන්ධයෙන් ඇරඹු විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය. ඇබග්නේල්ට පසුව දැන ගැනීමට ලැබුණු පරිදි තරුණියන් පිරිස එම සිදුවීමට මුහුණදී ඇත්තේ කලබලවීමකින් තොරවය. එදා තමා තරුණියන් තෝරා ගැනීමේදි අනුගමනය කළ පටිපාටිය හරියටම හරි බව ඇබග්නේල්ට අවබෝධවන විට ඔහු සිටියේ ඇමරිකාවේය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා

හෙට : මිදි උයනේදී හිවලා කොටු වෙයි

නව අදහස දක්වන්න