මං දඩාවතේ ගිය ගෑනියෙක් නෙවෙයි | දිනමිණ

මං දඩාවතේ ගිය ගෑනියෙක් නෙවෙයි

දැන දැන ම හිත මුරණ්ඩු වෙනකොටත් ඒ හිතට වැට බඳින්න මට ඕනකමක් නොතිබුණේ හිත රවට්ටන අමුතු ආදරේට මුළු හිතින් ම මං වහ වැටිලා හිටිය නිසා. අවසානය සුබ එකක් නොවෙන බව දැන දැනත් රට්ටුන්ගෙ කතන්දර ඇති පදම් අහගෙන, අවලාද අපවාද සේරමත් දරාගෙන, හති වැටීගෙන දිව්වෙ මං ළං නොවෙන මිරිඟුවක් පස්සෙ. අයිති නැති අනාගතයක් ගැන හීන දකින්නැතුව ම තේරුමක් නැති බලාපොරොත්තු පොදි බඳින්නැතුව ම අතට අහුවුණු වර්තමානේ විතරක් ම දෝතින් ම බදාගත්තා.

අතපොවන්න බැරි තැනක තිබුණු සැප සම්පත්, දෙපා මුලට ඇවිත් හීනියට හිනාවෙන කොට අහක බලන් යන්න බැරි තරමට ලෝබ වුණා මං ඒ හැමදේකට ම. භවනක් වගේ වාහනයක්, මාළිගාවක් වගේ ගෙයක්, රැජිණක් වගේ ජීවිතයක්... මගෙ හීනවල විතරක් තිබුණු දේවල් රෝයි මගෙ ජීවිතේට ළං කළා. ඒත් ඒ වෙනුවෙන් එයා මහ ගොඩක් දේවල් මගෙන් බලාපොරොත්තු වුණා.

අසම්මත ආදරේ මහ ගොඩක් දුර යනකොට රටේ ලෝකේ උන්ගෙ උකුසු ඇස්වලින් වහන් කරගෙන ඉන්න බැරි වුණා. රෝයි නිතර ගෙදර ඇවිත් යන විත්තියත් මං හොරෙන් ගිහින් තැන තැන එයාව මුණගැහෙන විත්තියත් කනින් කොනින් ඇහිලා තිබුණත් ඒ හැමදේම හරියට ම තිමිරගෙ අතට අහුවුණ දවසෙ නොසෑහෙන්න ගුටිකන්න වුණා. තිමිර ඒ තරම් තිරිසන් විදිහට හැසිරෙනවා මං දැකලම නෑ.

"වල් බැල්ලී තෝ මට ලැජ්ජ කළා. කියපං... මොනවයින්ද තොට අඩුවුණේ...ආ... තොට අරුත් එක්ක දහදුරාවෙ යන්න තරම් මොනවයින්ද මං තොට අඩුවක් කළේ? ඈ බැල්ලියෙ... තෝ හිටියෙ නම් කොහොමද හරියට පත්තිනි අම්මා වගේ...දැන් හරිනෙ රටේ ම උන් දැනගත්තනෙ තොගෙ කෙරුවාව... දැන් ඉතිං උඹ තවත් මෙහෙ බත් කන්න ඕනෙ නෑ. බැහැපං දොට්ට... අරුත් එක්ක ම පල...පලයං ඉතිං මගෙ දෑහට නොපෙනී... තවත් මෙතන ඉඳලා මාව තිරිසනෙක් කරගන්න එපා.." කියන කියන වචනයක් ගාණෙ තිමිරගෙ තොල් වෙව්ලන හැටි, කඳුළු පිරුණු ඇස්වලින් මං බලන් හිටියා. ඒ ඇස්වලින් ගින්දර පිටවුණා. මුළු ඇඟ ම දාඩියෙන් තෙත් වෙලා. ගෙදර බඩුමුට්ටුත් පොළොවෙ ගහහා තිමිර මට ගහන සද්දෙට චූටි දූ කාමරේ කර්ට්න් එකෙන් එබීගෙන බලන් හිටියා. සාලෙ මැද තිබුණු ලොකු ලී පුටුව උස්සලා මට ගහන්න ගිය තිමිර අමාරුවෙන් ඒ පාර නවත්තගත්තේ චූටි දූ කෑගහලා අඬන සද්දෙට. මං හිටියේ සීතල වෙලා, පණ බයේ ගැහි ගැහී... එතනම ගල්වෙලා. ඒත් වැදුණ වැදුණ හැම පාරක් ගානෙ ම මට දැනුණෙ මං ශක්තිමත් වුණා කියලා. අන්තිමේ දෙගිඩියාවෙන් හිටිය මං රෝයි එක්ක යන්න, එදා රෑ හිත හදාගත්තා. කොහොමත් මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ඒ වෙනකොට මං දහදුරාවෙ ගිය ගෑනියෙක් විත්තිය වටපිටේ හැමෝමත් දැනගෙනයි හිටියෙ... වැදගත් විදිහට ඔළුව උස්සගෙන අඩි දෙකක් යන්න බැරි ලේන් එකට මං සමුදෙන්න තීරණය කළා.

දඩාවතේ ගිය ගෑනියෙක් විදිහට තමුන්ගෙ ම මිනිහා ඉස්සරහා හංවඩු ගැහෙනකොට මට මං ගැන ම ලැජ්ජ හිතුණා. ඒත් මං ඒ හැමදේ ම හිතින් සාධාරණීකරණය කළා. කසාද බැන්දට පස්සෙ ගෑනියෙක්ට තවත් මිනිහෙක් ගැන ආදරයක් ඇති වෙන්න බැරිද? පොතක අත්සනක් දාපු පළියට ගෑනියෙක්ට වුණත් පුළුවන්ද සදහට ම ඒ හිත එකම පිරිමියෙක් ළඟ නවත්තලා තියාගන්න. හොඳයි ඒ මිනිහා නරක මිනිහෙක් නම්...? ඒත් ගෑනු කසාද බැම්ම රැකගෙන දුක් විඳින්න ඕනෙද? හරි ම කෙනා මුණගැහුණෙ කසාද බැන්දටත් පස්සෙ නම්...? දරාගන්න බැරි තරම් ආදරයක් හිත ඇතුළෙ මෝදුවෙනකොටත් දුක් විඳගෙන ඉවසගෙන, රාමුවක් ඇතුළෙ ඉන්න ඕනෙද ගෑනියෙක්? ඇත්තට ම එහෙම ඉන්න ඕනෙ ගෑනු විතරද? හිත අකමැති බැඳීමක් කඩාගෙන තවත් බැඳීමකට යන එක වරදක්ද එතකොට?

මං මාව ම සාධාරණීකරණය කරන්න, ලැජ්ජාවෙන් ඇකිලෙන හිත යටින් එක එක විදිහෙ තර්ක ගෙනාවා. ඒත් මං වැරදියි. මොන මොන හේතු ගෙනාවත් මං වුණත් ඒක දැනන් හිටියා. කොයි දේ කොහොම වුණත් මං කරපු ලොකු ම අපරාධෙ හයහතර නොතේරෙන මං පුංචි දරුපැටියව දාලා ආව එක. එදා රෑ තිමිරගෙන් ගුටි කාලා රිදුම් විතරක් අරන් දොට්ට බහිනකොට චූටි මගේ ඇගේ එල්ලීගෙන අඬ අඬා හිටියත් මට එයා දාලා එන්න වුණා.

"ඔයා ඕන වෙලාවක මගෙ ළඟට එන්න. හැබැයි දරුවා ගේන්න බෑ." රෝයි කලින් ම අනතුරු අඟවලයි තිබුණෙ. වහවැටිච්ච ආදරයක් ළඟ අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා අමතක වුණා.

මිනිහත් දරුවත් දාලා අවලමේ ගිය ගමන ටික ම ටික දවසක් හරි ලස්සන පාරවල් දිගේ ලස්සනට ඉස්සරහට ඇදුණා. ඒත් අන්තිමේ නතර වෙන්න වුණේ හීනෙකින්වත් හිතපු නැති තැනක. හිටිහැටියෙ බිස්නස් වැඩකට පිටරට යනවයි කියපු රෝයි මාව එයාලගේ නැන්දා කෙනෙක්ගෙ ගෙදරක නතර කළා. මොකක්ද කියලා කියන්න නොතේරුණාට මොකද ගිය දවසෙ ඉඳන් ම මට එහෙ මොකක්දෝ අමුත්තක් දැනුණා. දවස දෙක යනකොට හැමදේ ම වතුර වගේ පැහැදිලි වුණා. එහෙ මං වගේ තව ගෑනු හිටියා. කොහෙවත් යන පාදඩයන්ට රැවටිලා ජීවිතේ හොයාගෙන ආපු ගෑනු, කාගෙවත් බඩකට පුරවන්න දවසින් දවස අලුත් මිනිහෙක් එක්ක යහන්ගත වුණා. රෝයි ආපහු ආවෙ නෑ. මට ඒ බිත්ති හතරෙන් එහා ලෝකෙ දකින්න ලැබුණෙත් නෑ. සැනසීමෙන් ගෙවෙන්න තිබුණු ජීවිතයක් විහින් කාලකන්නි කරගත්තට දවස ගානෙ මං මට ම සාප කළා. මැරෙන්න බැරුවට ජීවත් වුණා... හැම රෑක ම තිමිරවයි දූවයි මතක් කරලා කොට්ටෙ තෙමෙනකම් අඬන එක මගේ ජීවිතේ පුරුද්දක් වුණා.

(කාංචනා සිරිවර්ධන)


නව අදහස දක්වන්න

Or log in with...