මීතොටමුල්ල වාර්තාව....! | දිනමිණ

මීතොටමුල්ල වාර්තාව....!

ශ්‍රී ලංකාවේ කුණු - කසළ ගැටලුව බෝම්බයක් සේ පුපුරා ගියේ මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑමත් සමඟ ය. කුණු කන්දක් නාය යෑම ශ්‍රී ලංකාවට අලුත්ම අත්දැකීමක් එකතු කළ අතර එහි භයානක ස්වරූපය පිළිබඳ සිතන්නට අවස්ථාවක් ද ඇති කළේ ය. මීතොටමුල්ලේ පමණක් ‍නොව; තවත් ප්‍රදේශ රැසක කුණු කඳු තිබේ. ඇතැම් පූජාභූමිවල ද කුණු ඇත. බොහෝ දෙනෙකුගේ වන්දනාවට ලක්වන ශ්‍රී පාද අඩවියේ ද කුණු - කසළ ගොඩගැසෙමින් පවතින බව පුවත්පත් වාර්තාකර තිබිණි. මේ සාධකවලින් පෙනීයන්නේ රටේ පවත්නා කුණු ප්‍රශ්නයට ස්ථිරසාර විසැඳුමක් අවශ්‍ය බව ය.

මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කැරිණි. මේ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ. මේ වාර්තාවේ වැදගත් නිර්දේශ ගණනාවක් ඇති බව දැනගන්නට ලැබේ. එක් නිර්දේශයක් වන්නේ කැළි කසළ ප්‍රශ්නය විසැඳීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවීම ය. එය වැදගත් ය. ඉහත නිර්දේශයට අනුව වෙනත් ආයතනයක් පිහිටුවන්නේ නම්; කැළි - කසළ පිළිබඳ ගැටලුවේ වගවීම දරන සෘජු ආයතනයක් ස්ථාපිත වන්නේ ය. එබඳු ආයතනයක් තමන්ගේ මුළු අවධානය කැළි - කසළ වෙත යොමු කරනු ඇත. එවිට කැළි - කසළ පිළිබඳ ප්‍රශ්න කිරීමට නිල ආයතනයක් ඇතැ’යි විශ්වාසයක් තබා ගත හැකි ය.

මේ කොමිසන් වාර්තාව පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ පරිසරයට සම්බන්ධ ආයතන හා රජයේ වෙනත් ආයතන හා කමිටු ලබා දුන් උපදේශන නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා; ගැටලුවෙහි තත්ත්වය බැරෑරුම් වූ බව ය. අනෙක් අතට ඛේදවාචකයක් ද සිදු වූ බව ය. මීට රාජ්‍ය - ආයතන ගණනාවක් වගකිව යුතු යැයි කීම නිවැරැදි ය. දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ කුණු කසළ ප්‍රශ්නයට විසැඳුම් ලබා දී ඇත්තේ තාවකාලික උපායමාර්ග භාවිතා කරමින් යැයි කියන්නට පුළුවන. කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක විශාල කුණු කඳු නිර්මාණය වන්නේ ද ඒ නිසා ය. කුණු කඳු ඉවත් කරන ක්‍රමයක් එදා පැවැතියේ නැත.

කුණු - කසළ ගැටලුව විසැඳීමට අදාළ ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ. පළමුවන්න කසළ ඒකරාශී කිරීම ය. දෙවන්න ඒවා ප්‍රවාහනය කිරීම ය. තෙවන්න කුණු - කසළ විධිමත් ආකාරයකට විනාශ කර දැමීම ය. මේ ක්‍රියාකාරකම් තුනම නිසි පිළිවෙළකට සිදුවී නැති බව පෙනී යන සත්‍යයෙකි. ජනාධිපති කොමිසන් වාර්තාව ද ඒ බව පෙන්වා දෙයි. දියුණු රටවල් කුණු - කසළ දහනයෙන් දෙවන නිෂ්පාදනයක් ද ඇති කරයි. ඇතැම් රටවල් කුණු - කසළවලින් පොහොර නිෂ්පාදනය කරයි. තවත් රටවල් කුණු - කසළ යොදාගෙන ජීව - වායුව නිෂ්පාදනය කරයි. ශ්‍රී ලංකාව තුළ මෙබඳු වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ අත්හදාබැලීමේ මට්ටමින් යැයි කියන්නට පුළුවන.

කොමිසන් වාර්තාව පෙන්වා දෙන තවත් වැදගත් සාධකයක් තිබේ. එනම්; මීතොටමුල්ල හා කොළොන්නාව ප්‍රදේශවල කුණු - කසළ බැහැර කිරීම සඳහා යොදාගෙන ඇති මුදල් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ය. මේ මුදල් කුණු බැහැර කිරීම සඳහා බාහිර ආයතනවලට ගෙවා ඇත. මේ සඳහා 2014 දී රු. මි.64ක් වැය කර ඇත. 2015 දී රු.මි 182ක් වැය කර ඇත. 2016 දී රු. මි. 232ක් වැය කර ඇත. ගෙවන මුදල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ. කුණු ප්‍රශ්නය රට පුරා ඔඩු දිවූ අතර කුණු බැහැර කිරීම සඳහා දුර පළාත්වලට ප්‍රවාහනය කිරීමටත් සිදු විය. ඒ නිසාම මේ මුදල ඉහළ යන්නටත් පුළුවන. කෙසේ වුව මේ මුදල් වැය කළ ආකාරය පිළිබඳ සොයා බැලීම වටී.

අප දන්නා ආකාරයට කුණු - කසළ පිළිබඳ ජාවාරමක් ද පසුගිය කාලය තුළ පැවැතිණි. කුණු - කසළ තැන්පත් කිරීම සඳහා ඉඩම් ලබාදීම, කුණු - කසළ ප්‍රවාහනය කසළ අලෙවි කිරීම යන අංශ ගණනාවක් මීට ඇතුළත් ය. මේ ජාවාරම ඔස්සේ ඇතැම් නිලධාරීන් මුදල් ඉපයූ බව ද, ඇතැම් දේශපාලකයන් මුදල් ඉපයූ බවටද චෝදනා තිබිණි. කුණු කසළ ගැටලුව බලවත් අර්බුදයක් බවට පරිවර්තනය වූයේ මේ ජාවාරම නිසා යැයි ද මතයක් තිබිණි. වර්තමානයේ දී ජාවාරම්වලට ඉඩක් නැතැ’යි විශ්වාස කරන්නට පුළුවන. එම විශ්වාසය රැක ගැනීම සඳහා කොළඹ මහ නගර සභාව ඇතුළු අනෙකුත් ආයතන ක්‍රියාකළ යුතුව තිබේ.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවර‍යකුගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ කොමිසම ගැටලුව විසැඳීමට අදාළ කෙටිකාලීන නිර්දේශ හා දිගුකාලීන නිර්දේශ ද ඉදිරිපත් කර ඇත. කෙටිකාලීන ලෙස කුණු කඳු ගැටලුව විසැඳිය යුතු ය. දිගුකාලීන ලෙස කුණු ප්‍රශ්නයට ස්ථාවර විසඳුමක් තිබිය යුතු ය. කොමිසන් වාර්තාව විශේෂයෙන් සඳහන් කර ඇත්තේ කුණු - කසළ දහනය කරන යන්ත්‍ර පිහිටුවීමේ වැදගත්කම ය. අපට ගැළපෙන හා ඔරොත්තු දෙන සුළු පරිමාණයේ දාහක යන්ත්‍ර ඒ - ඒ ප්‍රදේශවල පිහිටුවීම පලදායක දෙයක් බව පෙනී යයි. එක අතෙකින් ඒවා පවත්වාගෙන යෑමද, නඩත්තු කිරීම ද පහසු ය. එබඳු යන්ත්‍ර ප්‍රාදේශීය වශයෙන් ස්ථාපිත කිරීමෙන් ඒ - ඒ ප්‍රදේශවල කුණු ප්‍රශ්නය වැඩි වියදමකින් තොරව විසඳාගත හැකි වනු ඇත.

කුණු කසළ ප්‍රශ්නයේ බැරෑරුම් අවස්ථාවට මුහුණ දී ඇත්තේ බස්නාහිර පළාත යැයි කීම නිවැරැදි ය. කොළඹ නගරයෙන් පමණක් දිනකට කුණු - කසළ ටොන් ගණනක් එකතු වෙයි. ගම්පහ, කළුතර වැනි ප්‍රදේශවලින් ද කටුනායක - මීගමුව වැනි ප්‍රදේශවලින් ද තවත් විශාල කුණු ප්‍රමාණයක් එකතු වෙයි. මේවායෙහි ප්‍රමාණය දිනෙන් දින ඉහළ යනු මිස; පහළ යන්නේ නැත. අපට මේ ගැටලුව විසැඳීම සඳහා ස්ථාවර හා ශක්තිමත් වැඩසටහන් අවශ්‍ය වන්නේ ඒ නිසා ය. කොළඹ මහ නගර සැලැසුම යටතේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ඒ සමඟ කොමිෂන් වාර්තාවේ නිර්දේශ ද ක්‍රියාත්මක කළ හැකි ය. මේ ගැටලුවේ දී සලකා බැලිය යුතු ප්‍රධාන සාධක දෙකක් තිබේ. එක; කුණු කඳු ඇතිවීම වැළැක්විය යුතු ය. දෙක; කුණු කසළවලින් ප්‍රති නිෂ්පාදනයක් කළ යුතු ය.

මීතොටමුල්ල ඛේදවාචකයට මුහුණ දුන් වින්දිතයන්ට වන්දි ගෙවීම ගැනත්; නැවත පදිංචිය සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීම ගැනත් රජයට කෘතඥතාව පළකළ යුතු ය. ඒවා කෙටි කාලයක් තුළ සම්පාදනය කිරීමට රජය සමත් විය.


නව අදහස දක්වන්න

Or log in with...