අභීත සංඝ පෞරුෂත්වයේ සංකේතයක් වූ බෙල්ලන්විල විමලරතන අනුනාහිමි | දිනමිණ

අභීත සංඝ පෞරුෂත්වයේ සංකේතයක් වූ බෙල්ලන්විල විමලරතන අනුනාහිමි

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පමණක් නොව රටෙත් ජාතියේත් ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් අභීතව හා ස්වාධීනව සිය මතය ප්‍රකාශ කරමින් තමන් වහන්සේටම ආවේනික වූ අනන්‍යතාවයක් හා පෞරුෂත්වයක් ගොඩනගා ගත් මහා යතිවරයකු වශයෙන් අපවත්වී වදාළ අතිගරු බෙල්ලන්විල විමලරතන අනුනායක මාහිමිපාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය.

මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙන, පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙන වැනි කීර්තිමත් පිරිවෙන් ඇසුරින් එම ආයතනවල වැඩ විසූ සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන් හෙබි මහා යතිවරයාණන් වහන්සේලා ඇසුරින් අධ්‍යාපනය හදාළ උන්වහන්සේ විද්‍යාලංකාර, විද්‍යෝදය හා එංගලන්‍තයේ ලැන්කැෂ්ටර් විශ්වවිද්‍යාල ඇසුරින් දර්ශන විශාරද උපාධිය දක්වා අධ්‍යාපනය හදාරමින් පෙර - අපර දෙදිග භාෂා ශාස්ත්‍රයන්ගේ ඥානයෙන් පෝෂිත වූහ. පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙන, රත්මලාන පරම ධම්ම චේතිය මහා පිරිවෙන හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යන ආයතනයන්හි සුවිශාල අධ්‍යාපනික මෙහෙවරක නිරතවූ උන්වහන්සේ දහස් සංඛ්‍යාත ගිහි - පැවිදි පිරිසකගේ දයාබර ගුරු දේවයෙකු ද වූහ.

බෙල්ලන්විල රාජමහා විහාරය හුදු ආගමික පුදබිමක් වශයෙන් පමණක් නොව සුවිශාල සමාජ මෙහෙවරක නිරත ආයතනයක් බවට පත් කිරීමට අදහස් කළ උන්වහන්සේ බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම පිහිටුවමින් පාසල් හැරයන තරුණ දරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට මඟපෙන්වූ අතර විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කැප වූහ. විහාරස්ථානයේ නිල විහාරාධිපති ධුරය හොබවන සිය සොයුරු ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් වෙනුවෙන් විහාරස්ථානයේ සියලු වගකීම් දරමින් ඉටුකළ සේවාවද බෙල්ලන්විල රාජමහා විහාරස්ථ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.

ආගමික කටයුතුවලට පමණක් සීමා නොවී ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවකම කතුවරයකු වූ උන්වහන්සේ පුවත්පත්, සඟරා ඔස්සේ සිය ගැඹුරු දැනුම සමාජගත කිරීමට ද ක්‍රියා කළ අතර ගුවන්විදුලිය හා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ජන හදවත් ධර්මයෙන් සුවපත් කිරීමට ද සමත් වූහ. රට, ජාතිය, ආගම හමුවේ ඇතිවන කවර හෝ අභියෝගයක් හමුවේ නොබියව හා ස්වාධීනව අදහස් පළ කළ උන්වහන්සේගේ මතය එවන් අර්බුද අවස්ථාවන්හි කාගේත් සුවිශේෂී අවධානයට යොමු වූහ.

පොදුවේ සංඝ සමාජයේ යහ පැවැත්ම හා අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ උන්වහන්සේ විශේෂයෙන් තමන් වහන්සේ අයත් වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවට ඉටු කළ මෙහෙවර සදානුස්මරණීයය. තත් සංඝ සභාවේ කර්මවාගාචාර්ය ප්‍රධාන ‍ලේඛකාධිකාරී, රත්මලාන විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය හා ප්‍රධාන සංඝනායක ධුරය ද හෙබ වූ උන්වහන්සේ උතුම් අනුනායක පදවියක් ද හොබවමින් තමන්වහන්සේ නිසා සංඝ සභාවට ඉමහත් ගෞරවයක් හා කීර්තියක් ගෙන දුන්හ. සංඝ සභාවේ සියලුම කටයුතුවලදී උන්වහන්සේගේ අදහස් කෙරෙහි කාගේත් අවධානය යොමු වූ අතර අප සංඝ සභාවට උන්වහන්සේගේ හදිසි අපවත්වීමෙන් ඇතිවූ හිඩැස කවරාකාරයකින්වත් පිරිමැසිය නොහැකිය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ලේකම් ධුරය ද හොබවමින් දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද සුවිශේෂී ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක නිරත වූ උන්වහන්සේගේ සේවාව නිසා බෙල්ලන්විල ග්‍රාම නාමය ලොව පුරා ප්‍රචලිත වූවා පමණක් නොව ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයට ද ඉමහත් කීර්තියක් ඇතිවූ බව කිව යුතුය. ආගමික සහයෝගිතාවය වෙනුවෙන් ද කැප වූ උන්වහන්සේ ජාති ආගම් භේදයකින් තොරව කාගේත් ගෞරවාදරයට ලක්ව වැඩවිසූ යුග කාරක මහා තෙරනමකි. උන්වහන්සේගේ හදිසි අපවත්වීම බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට හා කෝට්ටේ මහා සංඝ සභාවට පමණක් නොව සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකික ජන සමාජයට හා සමස්ත ශාස්ත්‍රීය හා බෞද්ධ ලෝකයාටම සිදු වූ මහත් පාඩුවක් බව සඳහන් කරමින් අපවත්වී වදාළ අතිගරු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

කොළඹ 08, කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාමාධිපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ රාජමහා විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය, කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති දේවහන්දියේ පඤ්ඤාසේඛර නාහිමි


බෙල්ලන්විල සමිඳු නාහිමි නොමැති ලොව ගනඳුදුරෙන් වැසුනා

සසුනඹර පුන්ස‍ඳෙහි සඳරැස් වලාකුළකින් වැසී නිවුනා
බණ පොතෙහි පිටු බිඳී ගැලවී ඉරි යන ගති - නිමිති පෙනුනා
සසර - ඕඝ තරණයට මාහැඟි ඔරු ක‍ඳෙහි කොල්ලෑව බිඳුනා
බෙල්ලන්විල විමලරතන නාහිමි නොමැති ලොව ගනඳුරෙන් වැසුනා

සමිඳු නාහිමි පෑව සෙනෙහස කාට කොතනද නොමැත වෙනසක්
රාජ මන්දිර සෙවිලි පැල්පත දොරටුවෙහි නැත කිසිදු වෙනසක්
රට ට සමයට දැය ට හිත - පා පවිටුවන් හට පෑව එඩියක්
එබඳු උතුමන් යතිවරුන් නැති රට ට කවදා වේද එළියක්

රටක් සැදුමට පවිටු නොදහම් කරනවුන් පිටුපා දමව් යන
බස සැබෑ කෙරුමට මහත් විරිය දැරූ උතුමන්ට හිමි වන
කුළුණු ගුණයෙන් ජාති ආගම් භේද නොතකා දෙසූ බුදු බණ 
මිනිසුනේ පිළිපදිමු නිබඳුව සමිඳු නාහිමි ගුණය සමරණ

රටක් මුළු රට වැසියන් ට උරුමය කුමකට ද අඬ දබර අප
හටවතක් ලෙස ගුණ දහම් වඩමුය එක මවගෙ දරු කැලක් විලසට
බතක් ඉදෙනා ගෙයක් සැදුමට පෙරට යමු එකමුතුව සදහට 
කියාදුන් බුදු පුතුනි ඔබ හට යෑම දුර නැත අමා නිවනට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර
පාරමිතා බෞද්ධ විහාරාධිපති
පල්ලෙවෙල දේවරක්ඛිත හිමි


බෙල්ලන්විල පඬිරුවන 

ගණදුර අත වනා ජීවන මඟ මැදට
අවහිර කෙරුණු රට සුරකින ඔද - තෙදට
වැද කළුවලා බෙල්ලන්විල - පුර හඳට
හදිසිය හදිසි විය තණ අග පිනි බිඳට

සුජනිත බිමට බෙල්ලන්විල විහා- රෙට
කළ යුග මෙහෙවරෙකි ජාතික රටාවට
මහ පඬි මිණි රුවන දිදුලන දිනූ - රට
සරු දුටු පින් කෙතකි ගුණ නැණ වගාවට

සදහම් පිනි බඳුන ගෝතම මුදුන් කොතේ
නොතැබුව අනිසි තැන පුහුදුන් සතුන් අතේ
වැපුරුම අහිමි වපසරියක පහන් සිතේ
අඩුවකි පල බරට ලොවුතුරු සසුන් කෙතේ

සඟ පියනමක සතු ගුණ නැණ සපිරි තෙද
නැණ පස ගැඹර පත පොත බිහි කරන ලද
පරතෙර දුටුව විදු - තකුහුරු අරුත මැද
විදුදය සෙවණ මහැදුරු පදවියෙකි පුද

දුහුනන් ඇතුළු කළ සරසවි රුවන් ගෙට
සැතපෙන නිහඬ දැක පැදකුණු දනන් වට
කවිමල් කඳුළු පිදුමෙකි ඔබ වහන්- සෙට

ළය කම්පිතව යන පුවතට හතර අතින්
සිහදද අඩකුඹුව එසැවේ කඳුළු නෙතින්
බැස යන පඬි සඳුනි හෙළ සසුනඹර මතින්
සසරග පෙනී ලොව සනසනු මැනවි ඉතින්!

නන්දසේන පලිහක්කාර


අපවත් වී වදාළ - මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ

දසු නින් තුන් සිත් පැහැදුණු විස්වය දිණු යතිවරයාණෝ
පසු විපරම් කර ජාතික පැන විසඳුම් සෙවු සමිදාණෝ
ඇසුරින් හිමිවුණු කාටත් අම සදහම් බස් දෙසුවාණෝ
සසු නඹරෙහි පෑ පුරසඳ බෙල්ලන්විල නාහිමිපාණෝ

ගවු රව පුද දෙන්නට එති දෙවු, බඹ සක් වළ
දෙවු රම් ‍වෙහෙරක් කළ පුදබිම බෙල්ලන් විල
සිවු සස් දම් හඬ පැතිරුව ලොව සිවු මං සල
නිවු සිත පන් සැත්තෑවස් සිය දිවි මන් තල

නිවැරදි මඟ තෝරා ගෙන සිහ නද පෑ - හ
පැවැ කුණු පැරදුණු කාටත් හරි දේ කී - හ
පැවැ රුනු දෑ නිසි ලෙස හිමි සපුරා ලූ - හ
අවැ සිම සද දැයකට හිමි අපවත් වූ - හ

හෙළ සකු භාෂා පෙර දිග, බ ටහිර වැඩුවෝ
නිල මෙහෙව ර ලෙස රට රට වල දම් දෙසුවෝ
කුල මළ දෑ නොතකා සම මෙත් සිත් පිරුවෝ
හල අනු නා පදවි පවා මැදි සිත් දැරුවෝ

අග ණිය කට නොගිය ඉසුරු සම්පත් හමුවේ
හුඟ දේවල් ලියූ පත්තර පොත - පත දුටුවේ
නුග සෙවනක් වුණු කාටත් ගවුවෙන් ගවුවේ
ළඟ හිමි ශ්‍රී දේහය නෙත් කඳුළැලි පිරුවේ

පෙළින් පෙළට ඇදෙති දනෝ දිව රෑ එක‍සේ
කලින් වගේ නොදෙසති! බණපද හිමි පෙරසේ
මලින් මලට යන බිඟු සෙන් මල් හැර හුරුසේ
මුලින් මැ විත් අරුණෝදයෙ නමදිති ර හසේ

අපමණ පොත් ලියු සුරතකි භාෂා ගණනක
නොමියෙන ඒ සැම පවතියි කල් කප් සහසක
මුතුමිණ සේ බැබැලුණු වැඩ සිටියෙද කොතැනක
නඳු යන පියුමෙන් පුදදෙති දෙවිවරු ලොවනෙක

සවන් නිවාලූ දම් දෙසු වැඩ හිඳ අසුනේ
නුවන් සැනසවු හිමි රුව බෝසත් අරනේ
පවන් රැලක් සේ විහිදුණු හිමි ගුණ දෙරණේ
නිවන් පුරට වැඩි දුර නැත! මේ යන ගමනේ

රාජ්‍ය කල්‍යාභූෂණ කිවිපති
ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි


‍බෙල්ලන්විල නා සමිඳුනි

දනගෙ ගරු බුහුමනට පත් වුන අපේ නාහිමි සඳුනි ගරුතර
කරපු සේවය අමරණීයයි ලොවේ පොදු හැම දනට නිරතුර
නිහඬවම අද නිවන් පුරයට වැඩිය හින්දා සැවොම අතහැර
හඬා වැලපී පාද පත්මයෙ පුදකරමි කවි කුසුම් මනහර

අපේ නාහිමි ගුණය හමුවේ උසස් නිලදරු දනින් වැටුනා
රටේ රජවරු ඇමැති මැතිවරු පා පියුම ලඟ සිරස නැමුනා
හිතා ගන්නට නොහැකි ගුණ කඳ නිරතුරුව හදවතෙහි රැඳුනා
ලොවට අභිමානයක් ගෙන දුන් දැයේ රන්මිණි පහන නිවුනා

සිනහවෙන් මුව සරස ගනිමින් ලොවට පහදා වියත් බණ පද
ලියපු පොත පත කියා බැලුවිට සැමට වැටහෙයි, මහිමි ගුණකඳ
අයුක්තියකට නොමැත කිසිවිට බුරුල දුන්නේ මගේ හිමියැද
ඇයිද? මෙලෙසට සැතපුනේ අද අපේ බෙල්ලන අරමෙ පින්කඳ

සිතුව දේ නොව නොසිතු දේ අද අපේ අභියස සිදුවුනා
සසුන අඹරෙහි දිලුන පුන්සඳ වළාකුලකට යටවුනා
විමල රත්නා සමිඳු වියොවින් සියලු කටයුතු බොඳ වුනා
සසුන් විල මැද පිපුන සුවඳැති කුසුම නටුවෙන් ගිලිහුනා

හැමගෙ නෙතහට කඳුළු එක් විය අපේ මේ මනුලොව උපන්
නිසල දේහය වටා රොක් වී ඇවිත් දෙව්ලොව දෙව් බඹුන්
හඬා වැලපී සාධු නද දී සැවොම එක් වී එක හඬින්
පතති, ගරුතර මගේ නා හිමි සඳුට නිති අම මහ නිවන්

වඩින ගමනට දස දිගන්තයෙ සුවඳ දී කුසුමන් පිපේවා
විමල රත්නා සමිඳු නාමය සදාකල්හිම ලොව රැ‍ඳෙවා
මෙවන් විපතක් සසර වසනා තුරා කිසි‍වෙකු හට නොවේවා
වියත් නාහිමි සමින්දාණනි, ඔබට නිවනේ දොර ඇරේවා

පබඳුම - මග්ගොන දිවියාගල ශ්‍රී අභිනවාරාමාධිපති
අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක
කාව්‍ය ශ්‍රී පාලන්දනුවර ජිනසේන නාහිමි

නව අදහස දක්වන්න