අප ඉදි කරන්නේ ජනපති මන්දිර නොව යොවුන් මන්දිර | දිනමිණ

අප ඉදි කරන්නේ ජනපති මන්දිර නොව යොවුන් මන්දිර

එදා තාරුණ්‍යයට හෙටක් උදා වුණේ රජ පැටවුන්ට වුණත් අද එය ගමේ තරුණයන්ට උදා වෙමින් පවතිනවා යැයි නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

තිස්සමහාරාම, පන්නෙගමුවපොළ පැවැති එ.ජා.ප. යොවුන් ‍ජන හමුව අමතා ඇමැතිවරයා එසේ පැවැසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"එක්සත් ජාතික පක්ෂය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ ජීවිතය, අනාගතය අප භාර ගන්නවා. පෙබරවාරි 10 වැනිදාට සතුට භුක්ති විඳින්නේ සැණකෙළි, සංදර්ශන පවත්වා නොවෙයි. තරුණ තරුණියන් දස දහස් ගණනකට රැකී රක්ෂා ලබා දෙමිනුයි.

පසුගිය ර‍ජයේ තොත්ත බාබාගේ රේස් පිටියේ අද ස්වරපති අමරදේව අනුස්මරණ ගම්මානය සහ එච්. ආර්. ජෝතිපාල අනුස්මරණ ගම්මානය ඉදි වෙනවා. එම ගම්මාන ආරම්භ කළේ අපයි. තොත්ත බාබාගේ රේස් පිටියේ ඉතිරි ඉඩම් සියල්ලක්ම යෞවුන් පරපුරට බෙදා දීමට අප කටයුතු කළා. මේ පූජා භූමිය සූදු පිටියක්, අශ්ව රේස් පිටියක් බවට එදා පත් වුණා. ඒ කාලය දැන් අවසන්. ඒ සඳහා වෙන් වූ සියලු ඉඩම් අපගේ යොවුන් පරපුරට බෙදා දෙන බව මා වගකීමෙන් යුතුව පවසනවා.

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 44ක පාසල් අධ්‍යාපනය අවසන් කළ දූ දරුවන්ට අප නිවහනක් ඉදි කරනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෞවුන් සේනාංක සංකල්පය මතයි. තිස්සමහාරාම, තිස්සපුර ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 1000ක් වැය කර යොවුන් සේනාංක මූලස්ථානය මේ වන විටත් ඉදි වෙමින් පවතිනවා. යොවුන් සේනාංක මූලස්ථානයේ මාස 06ක අධ්‍යාපනය සහ පුහුණුව ලබන දූ දරුවන්ට පුහුණු වන කාලයේ දී එක් මසකට රුපියල් 3000ක දීමනාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කළා. පුහුණුව සඳහා වැය වන මුදල දරුවන්ට මවුපියන්ගෙන් ලබාගැනීමට අවශ්‍ය වන්නේ නෑ. එම පුහුණුව අංගසම්පූර්ණව ඔවුන්ට නොමිලේම ලැබෙනවා. පුහුණු කාලයේ දී ආහාර ලබා දෙනවා. සාර්ථක පුහුණුවකින් පසුව පෞද්ගලික ආයතනයක හෝ තාක්ෂණික විද්‍යාලයක ඉගෙනුම ලබන්නට ඒ දරුවන්ට මසකට අප රුපියල් 10,000ක් ලබා දෙනවා.

විරුද්ධවාදීන් දැන් අහනවා, සතුටුද, සැපද, වෙනස හොඳද කියලා. දූ දරුවන්ට ලබා දෙන වෙනස මෙයයි. තාරුණ්‍යයේ හෙට දවස මෙයයි. එදා පාලකයා තාරුණ්‍යයට හෙටක් ගෙනැවිත් රජ පැටවුන්ට හෙටක් නිර්මාණය කළා. අප ඉදි කරන්නේ ජනාධිපති මන්දිර, අරලියගහ මන්දිර නොව යොවුන් ඔබගේ හෙට දවස වෙනුවෙන් යොවුන් මන්දිරයි. රජයේ රැකියා 15,000ක්, යොවුන් ශක්ති බැංකුව, යොවුන් ශක්ති වැඩපිළිවෙළ, ස්වයංරැකියා ණය ආධාර වැඩසටහන් අප ක්‍රියාවට නංවනවා. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභාවක පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින දරුවන්ට උපකාර පන්ති නොමිලේ පවත්වනවා. මේ දේ පවසන විට ඡන්දය ඉල්ලන ටියුෂන් ගුරුවරුන්ට හීන්දාඩිය දමාවි. කරන්න දෙයක් නෑ. ඔබගේ උපකාර පන්ති සියල්ල වෙන ප්‍රදේශයක පවත්වන්න. තිස්සමහාරාම ප්‍රදේශයේ ඉගෙනගන්නා දු දරුවන් තවදුරටත් මුදලට අලෙවි කරන්නට අප ඉඩ තබන්නේ නෑ. දරුවන් වෙනුවෙන් අප ඒ යුතුකම ඉටු කරනවා.

ගෙවල් මට්ටමින්, කඩපිල්, බෝක්කු ගානේ යමින් ගොස් තුන්ඩු බෙදූ, මිනී මැරූ කණ්ඩායම් මේ දේ සිදු කරන්නේ කෙසේද කියා ප්‍රශ්න කරාවි. මේ සඳහා මුදල් කොහෙන්ද. ‍මේ වැඩසටහන් කරන්නට ප්‍රාදේශීය සභාවට මුදල් තිබෙනවා ද කියා ඔවුන් අසාවි. ඔවුන් මේ සම්බන්ධයෙන් බොරු කටකතා පතුරවන්නටත් පුළුවන්.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද නැතිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද කියා මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට ඔහුට කටඋත්තර නෑ. තොල් වෙව්ලන්න ගන්නවා. ඇයි මගෙන් ඔය දේවල් අහන්නේ. මට ඔය දේවල් වැදගත් නෑ යැයි පවසා ඒ ප්‍රශ්නයෙන් පලා යනවා. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකත්වය නැති කරගැනීමට බයයි. එම අනුශාසකත්වයෙන් ඔහු ඉල්ලා අස් වී නෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී පොහොට්ටුවට යන්නැයි ඔහු ගමට ගොස් ජනතාවට පවසනවා. රජකු, සේනාධිනායකයකු නම් 'ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටුවා සිට' විය යුතු නේද මා ඔහුගෙන් විමසනවා.

පොහොට්ටුවට ඡන්දය දෙන්න යැයි ජනතාවට පැවැසීමට පෙර තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් විය යුතුයි නේද. ඔහු එසේ කරන්නේ නෑ. ඔහුගේ පාක්ෂිකයන් බිල්ලට දී හෝ පොහො‍ට්ටුවට විකුණා හෝ තමන්ටයි, තම පුතාටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැන රැකගැනීමයි ඔහුගේ අරමුණ. මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු ව්‍යාපාරය සිදු කරන්නේ රටේ ජනතාවට සුගතියක් අත්කර දීමට නොව ඔහුගේ පුතනුවන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය සින්නක්කරව ලබාගැනීමේ අරමුණ ඇතිවයි." 

නව අදහස දක්වන්න