රටට අසමසම සේවයක් කළ සඟරුවනක් | දිනමිණ

රටට අසමසම සේවයක් කළ සඟරුවනක්

- ඇමැති ජෝන් අමරතුංග

ජාති ආගම් භේදයකින් තොරව රටට අසම සම සේවාවක් ඉටු කළ බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ හදිසි අපවත්වීම ලෝකවාසී බෞද්ධ ජනයාට ඉමහත් පාඩුවක් බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.

අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමියන් වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අමරතුංග මහතා එසේ පෙන්වා දෙයි.

එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමින් වහන්සේගේ හදිසි අපවත්වීම මුළු මහත් ලෝකවාසිබෞද්ධයන්ට මෙන්ම අප රටට ද ඉමහත් පාඩුවකි.

ආගමික වශයෙන් හෝ ජාතික වශයෙන් හෝ කිසිදා බේදයක් නොමැතිව මුළු මහත් ජාතියටම ඉතා අනුපමේය සේවාවක් උන්වහන්සේගෙන් ඉටු වූ බව අප සියලු දෙනාම අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යකි.

උන්වහන්සේ අපවත් වූ අවස්ථාවේ සිටම උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉතා විශාල ජනකායක් බෙල්ලන්විල විහාරස්ථානය කරා පැමිණීමෙන්ම එය මනාව පැහැදිලි වේ.

රටේ බොහෝ ප්‍රශ්නවලදී රජයක් මගින් ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳව නොබියව තම මතය ප්‍රකාශ කිරීමට උන්වහන්සේ ඉදිරිපත් වූ අතර උන්වහන්සේ එවැනි අනුශාසනා අනුව කටයුතු කිරීම දේශයේ යහපතට නිරන්තරයෙන්ම උපයෝගි විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන්ද, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ලේකම් වශයෙන් අප රටේ අධ්‍යාපනයටත්, බෞද්ධ ශාසනයටත් උපරිම සේවාවක් උන්වහන්සේ ඉටු කළ අතර බුද්ධ ශාසන අමාත්‍යංශයේ අනුශාසනික ධුරයෙන්ද උන්වහන්සේ පුදනු ලැබීය.

බෞද්ධ ජනතාව අතර පමණක් නොව අන්‍යාගමිකයන් අතරද උන්වහන්සේ ගෞරව ආදරයට පාත්‍රවීය.

මෙවන් අසමසම සේවයක් අප ලක් දෙරණට ඉටු කළ මේ යතිවරයාණන්ට නිවන් සුව පතමු. 

නව අදහස දක්වන්න