විද්වත් මාහිමියෙනි, ඔබ වහන්සේ සකල බෞද්ධ ලෝකයාටම අයිති පොදු වස්තුවක් | දිනමිණ

විද්වත් මාහිමියෙනි, ඔබ වහන්සේ සකල බෞද්ධ ලෝකයාටම අයිති පොදු වස්තුවක්

බෙල්ලන්විල ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන සහෝදරයන් රාශියක් මැද මෙලොව එළිය දුටු අපේ කථානායකයාණන්ගේ පියපාර්ශ්වය බෙල්ලන්විල ඇතුළු අවට ප්‍රදේශ රාශියකටම අතුපතර විහිදා තිබෙන 'ඕමත්තගේ' පරම්පරාවකට උරුමකම් දුන් පැරණි පවුල් පෙළපතක දරුවෙක් විය. එක් ජ්‍යෙෂ්ඨ සොහොයුරෙකු වූ බෙල්ලන්විල ධම්මරතන විහාරාධිපති හිමියෝද ශාසනයට ප්‍රවිශ්ඨ වූ පසු අපේ අපවත් වූ විමලරතන හිමියෝ ද තම සිත තුළ පැනනැඟුණු මහත් ධර්ම පිපාසාව හේතුවෙන්ම පැවිද්දට ඇතුළු වූහ.

සිය මවුපියන් ආශිර්වාද මැද එවකට බෙල්ලන්විල රජමහා විහාරයේ වත්මන් පුනරුදයේ නිර්මාතෘවරයා වූ රත්මලාන පාර්ශ්වයේ සංඝනායක වූ 1984 දී අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය දෙනම හැටියට ශාසනප්‍රාප්ත වූහ.

පිරිවෙන් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමකර එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද රැගෙන මෙරටට පැමිණෙන අප හිමියෝ අප ගැටවර තරුණයන් ලෙස එදින විහාරස්ථානයේ දී පිළිගනු ලැබූයේ බෙල්ලන්විල විද්‍යාලයේ සිසුන් ලෙස නෙලුම් මල් අතැතිව බාළකයෝ ලෙසිනි. මඟ දෙපස රැස්වී පොරකමිනි.

වමේ දේශපාලන ව්‍යාපාරයට මහත් ඇලුම්කමක් දැක්වු උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවනේ හා එවකට විද්‍යොදය විශ්වවිද්‍යාලයේදී තරුණ භික්ෂුන් වහන්සේ නමක් හැටියට රටෙහි තීරණාත්මක සන්ධිස්ථානවලදි නොබියව අදහස් ඉදිරිපත් කළහ. මේ සමාජ-දේශපාලන අභියෝගයන්හිදි උන්වහන්සේ කිසිවිටෙකත් ‘ජාතිවාදී’ ස්ථාවරයක නොපිහිටා කටයුතු කිරීම ප්‍රසංසනීය කටයුත්තකි. මා සමග කිපිවිටෙකදි පවසා ඇති පරිදි රටෙහි සිදුවන යම් යම් කරුණු කාරණාවලදි උන්වහන්සේ දැඩි ලෙස කලකිරිමට ද පත්වුහ. උන්මත්තක ක්‍රියාවන් ගැන උපහාසයෙන් කතා කළහ. එහෙත් කම්පාවටම ඉඩ නොහැර නොනැවතී සිය උස් ස්වරය තීවිර කළේ කාටත් නොබියවය. එපමණක් නොව කෝට්ටේ කල්‍යාණි ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුම් අනුනායක පදවියක්ද හෙබවු උන්වන්සේ එම සභාවට ද ලබාදුන්නේ අයෝමය ශක්තියකි.

ධර්ම ශාස්ත්‍ර සේවාව

උන්වහන්සේ ධර්ම ශාස්ත්‍ර සේවාව විද්වත් ලෝකයාගේ මහත් අභිසම්භාවනයට පාත්‍ර වුයේ උන්වහන්සේ සතු දැනුම, ඥානය මැනවින් ප්‍රකට කරවමිනි. ‘බුදුදහම හා වෙනත් ආගම්’, 'බුද්ධ පිළිම විකාශය', 'විහාරලිපි සරණීය', 'පාරමිතා සරතැස' ඇතුළු බෞද්ධ සාහිත්‍යයට සම්බන්ධ කෘති ගණනාවකම කර්තෘවරයා වුයේ උන්වහන්සේයි. ඒ අතරම උන්වහන්සේ පරිවර්තනය කරනු ලැබු (Unshaken Mind) ‘නොසැලෙන මනස’ කෘතිය සංස්කරණ දහයකට වඩා අලෙවි වුයේ උන්වහන්සේ එම සාරගර්හ කෘතියේ යොදාගත් සිංහල බස්වහර හේතුවෙන්මය. එය එවකට ජාතික පුවත්පත්වල ද ප්‍රසිද්ධියට පත් කෙරුණේය.

මීට අමතරව, ජාත්‍යන්තර සඟරා ආරාධනයෙන් ලිපි දායකත්වය ලබාදුන් උන්වහන්සේ ප්‍රස්තුත විෂයට අදාළව ප්‍රබන්ධ කිරිමේ හැකියාවක්ද දැක්වු මහ සඟනමකි. ඉදිරි මාස කිහිපයකදි නව ආරකට ලියු තවත් කෘතියක් දොරට වඩමවන්නට රචනා කරමින් ඉතා කාර්යබහුලව සිටිනා මොහොතක මට උන්වහන්සේව හමුවී නව ග්‍රන්ථය ගැන පිළිවිසියෙමි. “තව පරිච්ජේද දෙක තුනක් ඉවර කරගන්න තියෙනවා. කොහෙද ඉතින් කාමරයේ දොර ඇරලා තියාගෙන මේක කරන්න නම් කොහොමටවත් බැරිවෙනවා” යැයි උන්වහන්සේ පැවසු අයුරු කදුළු මතින් මා සිහියට නැගේ. ඒ තරමටම දිනපතා එම කුටියට ඇතුළු වන පිරිස බොහෝය. කලාකරුවන්, විද්වතුන්, දායක සභාවේ පිංවතුන්, නුල්බඳින්නට ඇදෙන්නන්, උපකාර පතා පැමිණෙන්නන් ගෙන් අඩුවක් නොවීය. එහෙත් කිසි විටෙක ඒ කුටිය කාහටවත් වැසි තිබුණේ නැත. එමෙන්ම, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් ලෙස දේශන පැවැත්විම්, දහම් සමුළු, දහම් පාසල් උත්සව, සංඝ සභා උත්සව, ආදියට උන්වහන්සේ ගේ විසල් මෙහෙවර සුළුපටු නොවිණි.

සමාජ සේවා භූමිකාව

මෙරට බලධාරින් හෝ අන් අයෙක් නොසිතු කාල අවධියක විදුහල්වලින් පිටවෙන තරුණ පිරිස් වෘත්තිය පුහුණුවකට යොමු කිරිම අරභයා විහාරස්ථානයේ ගොඩනැගිල්ලක බිහි කළ 'ප්‍රජා සංවර්ධන පදනම' අද මහා වෘක්ෂයක් බවට පත්වී වසරකට සිය ගණනක් වෘත්තිය ඥානයන් ප්‍රගුණ වූ තරුණයන් වැඩදායි පුරවැසියන් හැටියට රැකියා වෙළඳපොළට යොමු කරවති. එපමණක් නොව, ඉතා මෑතකදි උන්වහන්සේගේම උත්තුංග අදහසකින් ආරම්භ වූ වෛද්‍ය ආධාර ක්‍රමය මේ වන විට ලක්ෂ 100 වඩා මුදලක් රෝගි මිනිසුන් සුවපත් කරවීමට යොමු කර ඇත

විදේශීය ධර්ම දූත මෙහෙවර

ලෝක සංඝ සම්මේලනයේ උප සභාපතිවරයා හැටියට හා විටෙක එහි මහාලේකම්වරයා හැටියට සේවය සැලසු උන්වහනේසේ විදේශිය ධර්මදුත කටයුතු සඳහා ආරාධනා ලැබ නිතර එංගලන්තය, ඉන්දියාව, ඉන්දුනිසියාව, වැනි පෙර අපරදින රටවල් රාශීයකට වැඩම වූ අතර, එමගින් ශ්‍රී ලාංකීය භික්ෂුන්ගේ කාර්යභාරය උන්වහන්සේ ව්‍යක්ත ලෙස ආදර්ශනය කළේ විස්මය දනවන අයුරිනි. එවැනි විදේශිය ආගමික සමුළුවලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උන්වහන්සේ ලබාදුන් කිර්තීය ආගමික සංහිදියාවට අසමසම රුකුලක් විය.

පැවිදි පෞරුෂය

උන්වහන්සේ විවිධ පදවි හරහා උත්තරිතර වූවද පාංශු දේහධාරි නොවුවද කිසිවිටෙක එමගින් උඩඟු වන්නට නොගියහ. ඒ උදම් තානාන්තර උන්වහන්සේ සොයා පැමිණියා මිස උන්වහන්සේ ඒ පදවිවලට ආලෝක කදම්භයක් එකතු කළේ එයින් ඵල නෙළාගැනීමට උත්සුක නොවිය. බෙල්ලන්විල, බොරලැස්ගමුව වැනි රට පුරා ඇති විවිධ සංවිධානවල උන්වහන්සේ ‘අනුශාසකවරයා’ හැටියට කටයුතු කළේ සමහර විටෙක උන්වහන්සේ පවා නොදැනුවත්මය. ශ්‍රී ජයවර්ධනපුර කුලපතිවරයා ලෙස නම් කරනු ලැබූ මොහොතේ වුවද උන්වහන්සේ දැක්වුයේ අතිශය නිහතමානි බවකි. ජනාධිපතිතුමා එම පත්වීම් ලිපිය උන්වහන්සේගේ කුටියටම රැගෙනවිත් උන්වහන්සේට පිරිනමා ආශිංසනය කරනු ලැබුයේ උන්වහන්සේගේ ආගමික සමාජ මෙහෙවර අගයමිනි.

සර්ව ආගමික මෙහෙවර

භික්ෂු ජිවිතයේ පරමාදර්ශය ප්‍රකට කළ අප හිමිපාණෝ ආගම්, ජාති භේද බැහැර කර සකලවිධි ශ්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධියට අදාලව අනුපමේය සේවයක් සැලසුහ. කවර අභියෝග මැද වුවද නොසැලි අපේක්ෂිත සාධකයට ඉටුවන තුරුම උන්වහන්සේ කතෝලික, ඉස්ලාමිය හා හින්දු පුජක ආචාර්ය වහන්සේ සැම සමඟ ඉතා සහයෝගයෙන් වැඩ කළහ. උන්වහන්සේලා සැමගේ සර්වජන ප්‍රසාදය හිමිකරගත්හ. අද වන විට ද Congress of Religious (ආගමික සමුළුව) මෙහෙයවමින් රදගුරුතුමන්ලා, මව්ලාවිවරුන් හා හින්දු පුජකතුමන් සමඟ ඇති සහෘද සුහදත්වය හේතුවෙන් පසුගිය දින 5 පුරා කාලයේ උන්වහන්සේලා සැවොම උන්වහන්සේගේ දේහයට අප්‍රමාණව ගෞරව දැක්වුයේ නෙත්වල කදුළු පුරවාගෙනය

අපේ ගමේ අපේ කාලයේ ජාත්‍යන්තරය බැබළ වූ විද්වත් මාහිමියෙනි ඔබ වහන්සේ සකල බෞද්ධ ලෝකයාටම අයිති පොදු වස්තුවක් බව අපි හොදාකාරවම දනිමු. ශිල සුසංයත කිතු ගොස රැස යුග යුග පැතිරවු ඒ උත්තරීතර සංඝ පිතෘවරයාණෝ ගේ ශ්‍රී නාමය බෙල්ලන්විල ග්‍රාමයේ ගම්වැසියන් හැටියටත් විහාරස්ථ දායක සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් වෙනුවෙනුත්, ශ්‍රී බෝධීරාජ කුළඟන සමිතියත්, තරුණ බෞද්ධ සංවිධානයේ සාමාජිකයනුත්, ඒ වාගේම තරුණ සංසදයේ සැමදෙනාත් කිසිසේත්ම ඉඩ නොතබන බව අවධාරණය කරන උන්වහන්සේගේ පාරමිතා ගමනේ ඉතිරිය පුරවා ගැනිමට අප අතරටම නිවන් දකිනා තුරු අප අතරටම වඩිනු ඇතැයි අපි පතමු.

බෙල්ලන්විල සිසිර විජේසිංහ

නව අදහස දක්වන්න