රට ඉදිරියට ගෙනයාමට එජාපයට ගමේ ආණ්ඩුවත් දෙන්න | දිනමිණ

රට ඉදිරියට ගෙනයාමට එජාපයට ගමේ ආණ්ඩුවත් දෙන්න

ශිරෝමි අබයසිංහ
උපාලි කරුණාරත්න

 අපිට ආර්ථිකය ස්ථාවර කිරීමට සිදුව තිබෙනවා. ඒ සඳහා ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගත යුතුයි. මේ බලය තහවුරු කරනවාද නැතිනම් අපි ජයග්‍රහණය ආරක්ෂා කර ගන්නවා ද? නැත්නම් ජයග්‍රහණය අතහරිමින් පසු බසිනවා ද යන්න 2018 පෙබරවාරි 10 වැනිදා තීරණය කළ යුතුයි.

නිදහස් අලුත් සමාජයක් මෙන්ම ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කරමින් රට සංවර්ධනය කරා ගෙන යන වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිය ඇති එකම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට ගමේ බලය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) පැවැසීය.

2015 සිට ඉදිරියට පැමිණි ගමනේ ජයග්‍රහණය තහවුරු කර ඉදිරියට යනවාද නැතිනම් අතහැර ආපසු ආපස්සට යනවාද කියා පෙබරවාරි 10 දා තීරණය කළ යුතු බව ද අගමැතිවරයා කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා‍ මේ බව සඳහන් කළේ කොළඹ කොස්ගස් හන්දියේ දී ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියට සහභාගි වෙමිනි.

අගමැති වික්‍රමසිංහ මහතා මාතර, ගාල්ල සහ කළුතර නගරවල පැවැති මැතිවරණ ප්‍රචාරක රැලිවලට ද ඊයේ සහභාගි වූ අතර, මේ රැලි සඳහා අති විශාල ජනතාවක් සහභාගි වූ අතර, අගමැති වික්‍රමසිංහ මහතාට එහි දී ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

එහි දී අගමැති වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

අදින් මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ඉවරයි. සම්ප්‍රදායික පරිදි මැද කොළඹින් තමයි අපි අවසන් කරන්නේ. මෙහි පැමිණ සිටින අති විශාල ජනතාවට මගේ ස්තූතිය පුද කරනවා. සෙනසුරාදාට ගිහින් ඡන්දය දාන්න තිබෙනවා. මා කියන්නේ එක දෙයයි. 2015 දී අපි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර මේ රටේ ආණ්ඩු බලය ගත්තේ රට ඉදිරියට ගෙන යාමටයි. රටක් ඉදිරියට ගෙන යාමට නිදහස තිබිය යුතුයි. නිදහ‍සේ ජීවත්වීමට අවස්ථාව තිබිය යුතුයි. එහි හොඳම උදාහරණය අලුත් ඡන්ද ක්‍රමයයි. අද කවුරුත් මරා ගන්නේ නැහැ. මුදල් බලය නැහැ. කටවුට් නැහැ. මිනී මැරුම් නැහැ. කොට්ඨාස සාමකාමියි. අපේක්ෂකයෝ ගෙවල් ගානේ යනවා. වීදි දිගේ පොඩි පොඩි රැස්වීම් තියනවා. තමන්ගේ කරුණු තිබෙනවා. ඡන්දදායකයන් සහ අපේක්ෂකයන් අතරේ සම්බන්ධය ඇති වෙලා සියලුම මැතිවරණවල දී අපේක්ෂකයන් සහ ඡන්දදායකයන් අතර සම්බන්ධය ඇති කරන ක්‍රමයක් ඇති කර තිබෙනවා. මනාප ක්‍රමය යටතේ එක්කෙනයි ඡන්ද ගත්තේ. අනිත් අය මනාපවලට සටන් කළා. ත්‍රීවීල් එකක් වගේ. එක රියැදුරයි ඉන්නේ. කොහේද යන්නේ කියා එයා තීරණය කරන්නේ. අනිත් දෙන්නා පිටුපස වාඩිවෙලා ඉන්න දෙන්නා වගේ. අවුල ඇති වුණේ එතැනින්. අද ඒ ප්‍රශ්නය නැහැ. එක කොට්ඨාසයට එක අපේක්ෂකයයි. සමහර විට දෙන්නෙක් ඉන්නවා.

මේ ඡන්ද ක්‍රමයේ තව වාසියක් කාන්තා අපේක්ෂිකා‍වන්ගේ නියෝජනය වැඩි වීම. අවම වශයෙන් සියයට විසි පහක් තිබිය යුතුයි. ඊළඟ සැරේ මීටත් වඩා වැඩි වේවි. පළමු වතාවට රටේ බහුතරයක් වන කාන්තාවන්ට අවම නියෝජනයක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂය නිසායි. මෙය නවීන ක්‍රමයක්. අද නිදහසේ ජීවත් වෙන්න හැකි සමාජයක් තිබෙනවා.

සන්ධානය මේ රට පාලනය කළේ කොළඹ අමතක කරලා. මම කොළඹ ජනතාවට සේවය කරන්න බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශය ඇති කළා. කොළඹ ජනතාව සඳහා අවට ප්‍රදේශවල තට්ටු නිවාස 50,000ක් අප පළමුව හදනවා. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරය කොළඹින් පිටතට ගෙන යනවා. කොළඹ නගරය පිළිබඳව වැඩි අවධානය යොමු කර ක්‍රියා කරනවා. ඒ සඳහා අංශයක් ක්‍රියාත්මක කරනවා. ජාතික පාසල් දෙකක් උතුරු කොළඹ සහ මැද කොළඹ හදනවා.

අද ස්වාධීන මැතිවරණ කොමිසමක් තිබෙනවා. රජයේ දේපළ ඡන්දයට පාවිච්චි කරන්න බැහැ. අපි අමාත්‍යාංශවල වාහන සහ නිලධාරීන් ඡන්ද වැඩට යොදා ගන‍්නේ නැහැ. ඡන්ද ප්‍රචාරයට රජයේ මාධ්‍ය යොදා ගන්න බැහැ. අපිට අවශ්‍ය විදියට පොලිස් නිලධාරීන් මාරු කරන්න බැහැ. ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අපි ස්වාධීන මැතිවරණ කොමිසමක් පිහිටෙවුවා.

එම ස්වාධීන මැතිවරණ කොමිසමට ශක්තිය දෙන්න ස්වාධීන අධිකරණයක් ඇති කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය රජයට විරුද්ධව තීන්දු දෙනවා. ඒත් අගවිනිසුරු ඉවත් කරන්නේ නැහැ. ඒගොල්ලෝ පන්නන්නේ නැහැ. ඒ අයට දොස් කියන්නේ නැහැ. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ඒ නිසයි.

අපි නිදහස් මාධ්‍යයක් ඇති කළා‍. එදා ආණ්ඩුවේ බලපෑම නිසා පුද්ගලික මාධ්‍ය මහින්ද රාජපක්ෂට කඩේ ගියා. අද කඩේ යන්නේ නැහැ. පුද්ගලික මාධ්‍ය අද අපිට පහර ගහනවා. ඒත් අපි ඒ ගොල්ලන්ව බය කරන්නේ නැහැ. මාධ්‍යවේදීන් උස්සන්නේ නැහැ. මාධ්‍යවේදීන් මරන්නේ නැහැ. මාධ්‍ය ආයතන ගිනි තියන්නේ නැහැ. අපි ඒ එකක්වත් කරන්නේ නැහැ.

අද නිදහස් සමාජයක ජීවත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. තමන් කැමති අදහසක් ඉදිරිපත් කරන්න. කැමති විදියට ජීවත්වී‍මට හැකියා ලැබී තිබෙනවා. වෙබ් අඩවිවලට යන්න. තරුණයන් කැමති ලෝකය ඇති කරන්න අවශ්‍ය නිදහස අපි ඇති කර තිබෙනවා.

ඒත් නිදහස විතරක් මදි. ඒ සමඟ සංවර්ධනය සිදු විය යුතුයි. රට දියුණු විය යුතුයි. රැකියා තිබිය යුතුයි. ආදායම් තිබිය යුතුයි. ඒ සඳහා ස්ථාවර ආර්ථිකයක් තිබිය යුතුයි. මහින්ද රාජපක්ෂ ණය ගෙන අ‍පේ ආදායමෙන් ඒවාට පොලිය ගෙවීමට බැරි වුණා. මුලින් අපි අමාරුවෙන් රට ගෙන ගියා. අපි ආර්ථිකය හදා ගත්තා. ආදායම තිබෙනවා. දැන් අපි ණය ගෙවනවා. සංවර්ධනය කරනවා. ආර්ථිකය ස්ථාවර කිරීමට අවුරුදු දෙකක් ගියා. එමගින් තරුණ තරුණියන්ට රැකියා බිහි කරනවා. රට ඉදිරියට ගෙන යන්නේ නැතිව තරුණයන් ඉදිරියට ගෙන යන්න බැහැ.

අපේ රටේ ඇති භූමි භාගය සීමා සහිතයි. තවත් කෘෂිකර්මය කරන්න බැහැ. කර්මාන්තය, වෙළෙඳාම, ධීවර කර්මාන්තය, පරිගණක කර්මාන්තය දියුණු කිරීම කළ යුතු වෙනවා. අද ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩ සටහනයි. දකුණේ තවමත් ඇත්තේ කෘෂි ආර්ථිකයක්. ඒ කෘෂි ආර්ථිකය වෙනුවට කර්මාන්තකර‍ණය සහ සංචාරක කර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක් ඇති කරනවා. අපි ඇති කළ වෙනස එයයි.

මහින්ද රාජපක්ෂ නැව් එන්නැති වරායක් හැදුවා. ඒකට ගත් ණය ගෙවාගන්න බැරි වුණා. ණය ගෙවන්න බැරි බව මා චීන ආණ්ඩුවට කිවුවා. ගිවිසුම අහෝසි කරන බව කිවුවා. ලෝකයේ ප්‍රධාන වරාය හතරක් ගෙන යන චීන මර්චන්ට් සමාගම අපි සමඟ හම්බන්තොට වරාය ගෙන යන්න කැමති වුණා. අපි චීනයට ගෙවිය යුතු මුළු මුදලම චීන මර්චන්ට් සමාගම අපිට ගෙවුවා. ලබන වසරේ නැව් හම්බන්තොට වරායට ගෙන එන බව එම සමාගම පැවැසුවා විතරක් නොවේ තව ඩොලර් මිලියන 600 ක් මේ වරාය වෙනුවෙන් ආයෝජනය කරනවා.

ගුවන් තොටුපළක් හැදුවා. එහි එන්නේ මොණරු පමණයි. ගුවන් යානා ආවේ නැහැ. දැන් ඉන්දියන් සමාගමක් ගුවන් තොටුපළ පාලනය කිරීමට කැමති වී තිබෙනවා. ඉන්දියාවේ සංචාරකයන් මෙහි ගෙන එනවා. කතරගම දේවස්ථානයට, සීතාඑළියට, රාවණා ඇල්ලට යන්න එම සංචාරකයන්ට හැකි වෙනවා. එදා පිහිනුම් තටාකය සහ මොණරු ආව තැන අද වරායක් සහ ගුවන් තොටුපළක් ඇති කර තිබෙනවා. ඒ වරාය වටේ අපි කර්මාන්තකරණය අැති කරනවා. දැනට තෙල් පිරිපහදුවක්, එල්. එන්. ජී. විදුලි බලාගාරයක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක්, වානේ කර්මාන්ත ශාලාවක්, නැව් තටාකාංගණයක් ඉදි කිරීමට මුලික අඩිතාලම දමා තිබෙනවා. මේ මූලික කර්මාන්ත ආ විට ඉතුරු ඒවාද එනවා.

හම්බන්තොට වටේ කර්මාන්ත පහක් හයක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. කොළඹ, ගම්පහ වාගේ විශාල කර්මාන්තකරණයක් අැති වනවා. ඊළඟ අවුරුදු දහය තුළ කර්මාන්ත රුහුණට ගෙන ඒමේ අඩිතාලම දමා අවසන්.

කළුතර තව කර්මාන්ත කලාපයක් ඇති වෙනවා. ගාල්ල සංචාරක මධ්‍යස්ථානයක් වෙනවා. එහි විශාල සංචාරක කලාප තුනක් ඇති වෙනවා. දේදුව, අකුරණ සහ කොග්ගල ඒවා ඉදි වෙනවා. ඒ හැම එකක්ම මාලදිවයිනේ දූපත්වලට වඩා විශාලයි. මධ්‍යම අධිවේගී මාර්ග ඉදි කිරීමෙන් මහනුවර සිට හම්බන්තොට දක්වා සංවර්ධනය වෙනවා. මහනුවරට කර්මාන්ත කලාපයක් හදන ලෙස අප ජපානයෙන් ඉල්ලා තිබෙනවා. වයඹට කර්මාන්ත කලාප දෙකක් සහ එක සංචාරක කලාපයක්. මෙමගින් අලුත් රැකියා බිහි වෙනවා. ඊළඟ අවුරුදු දහය තුළදී රුහුණේ ආර්ථිකය කණපිට පෙරළා සම්පූර්ණයෙන් කර්මාන්තකරණය සහ සංචාරක ව්‍යාපාරය දියුණු කර සේවා ආර්ථිකයක් ඇති කර අලුත් දකුණක් ඇති කරනවා.

අපි ඡන්දය ඉල්ලන්නේ මේවා ඉදිරියට ගෙන යාමටයි. තරුණයන් ඉදිරියට ගෙන යා හැක්කේ රට ඉදිරියට ගෙන යාමෙනුයි. මේ වැඩපිළිවෙළින් අපි තරුණයන්ගේ අනාගතය ස්ථිර කරනවා.

මේ වැඩ කටයුතු කරන්න ශක්තිය ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කිරීමට හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ආර්ථිකය ස්ථාවර කරමින් අපි ඉදිරියට යනවා. එයට එකතු වෙන්න. එයට සහයෝගය දෙන්න. අපි නිදහස ඇති කර සංවර්ධනය ඇති කර අලුත් සමාජයක් ඇති කර තිබෙනවා. 2025 වන විට පොහොසත් ශ්‍රී ලංකාවක් ලබා දීමට අප ක්‍රියා කරනවා. ර‍ට දියුණු කිරීමට අපට මෙවැනි වැඩසටහන් තිබියදී අපිට ගමේ ආණ්ඩුවත් ලබා දෙන්න. ප්‍රාදේශීය සභා අපට විරුද්ධ නම් ගම දියුණු කරන්න බැහැ.

ගමට සංවර්ධනය ගෙන ඒමට ගමේ ආණ්ඩුවත් මහ ආණ්ඩුව සමඟ වැඩ කළ යුතුයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට ගමේ බලය ලබා දෙන්න.

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දී රට ඉදිරියට ගෙන යාම තහවුරු කරන්න.

එක්සත් ජාතික පක්ෂය අවුරු 10ක් විපක්ෂයේ සිටියා. අපි නැවතත් බලයට පැමිණෙන්නේ නැති බව ඇතැමුන් හිතුවත් අපි නැවත බලයට පැමිණියා. 2015 දී මේ රට ඉදිරියට ගෙන යාමට අපි බලය ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිට අපි ආණ්ඩුව දක්වා ගෙන ආවා. බලය ලබා ගෙන අපි රටේ බොහෝ ප්‍රශ්න විසඳා තිබෙනවා. තවත් බොහෝ දේ ඉටු කළ යුතුව තිබෙනවා. රැකියා ලබාදුන්නා වගේම තවත් පිරිසක් රැකියා බලාපොරොත්තු වෙනවා. දේශපාලන පළිගැනීම් කොටසකගේ විසඳුවා වගේ කොටසකට විසඳන්න තිබෙනවා.

මේ සියල්ල වසර 02 කින් සිදු කිරීමට බැහැ.

අපිට ආර්ථිකය ස්ථාවර කිරීමට සිදුව තිබෙනවා. ඒ සඳහා ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගත යුතුයි. මේ බලය තහවුරු කරනවාද නැතිනම් අපි ජයග්‍රහණය ආරක්ෂා කර ගන්නවා ද? නැත්නම් ජයග්‍රහණය අතහරිමින් පසු බසිනවා ද යන්න 2018 පෙබරවාරි 10 වැනිදා තීරණය කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂය වසර 10ක් විපක්ෂයේ සිටියේ වියළි කලාපයේ නියඟයට හසු වූ ගසක් පරිද්දෙනුයි. මේ ගස මැරී යනු ඇතැයි ඇතැමුන් කල්පනා කළා. නමුත් 2015න් පසු අපේ ගසට නැවත පොහොර, වතුර ලැබී තිබෙනවා. දැන් එම ගසේ අතුරිකිලි දලුලමින් තිබෙනවා. තවත් වසර දෙකක් පමණ ගත වන විට මේ ගස මල් බරවී පළ දරනවා. අපි ගසේ ගෙඩි හට ගන්නට දෙනවා ද? අපි ගෙඩි හැදෙන්න දෙනවා? ගස විනාශ කරනවාද? එක්සත් ජාතික පක්ෂය නමැති ගස ආරක්ෂා කිරීමට පෙබරවාරි 10 වැනිදා ඔබේ ඡන්දය ලබා දී ගමේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න. අපි මේ රට ඉදිරියට ගෙන යනවා.

2020 දී ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර 2025 දක්වා අපි ගමන් කළ යුතුයි. අප මේ ගමන ආරම්භ කළේ අතරමඟ නතරවීමට නොවෙයි. එම නිසා පෙබරවාරි 10 වැනිදා ඔබේ ඡන්දය අපේ පක්ෂුයට ලබාදෙමින් ඔබේ නැදෑ හිතමිතුරන්ටත් එම පණිවුඩය ලබාදෙමින් රටේ ආණ්ඩුව මෙන්ම ගමේ ආණ්ඩුවත් අපට ලබාදෙන්න. ගහේ ගෙඩි හැදුණු පසු 2020 දිනලා 2025 වනවිට දියුණු රටක් ඇති කිරීමට අපිට ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලනවා.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප - හිරන්ත ගුණතිලක, ලන්කින්ද නානායක්කාර සහ ප්‍රියාන් ද සිල්වා 

 

නව අදහස දක්වන්න