ප්‍රමි­ති­යෙන් ඉහළ ගම්මිරිස් පම­ණක් අප­න­ය­නට අවසර | දිනමිණ

ප්‍රමි­ති­යෙන් ඉහළ ගම්මිරිස් පම­ණක් අප­න­ය­නට අවසර

ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලංකා ගම්මිරිස් පමණක් අපනයනය කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා, සිය අමාත්‍යාංශයේ පැවති කුළුබඩු හා ඒ ආශ්‍රිත නිශ්පාදකයන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමීන් ප්‍රකාශ කළේය.

ගම්මිරිස් ප්‍රධාන අපනයන භෝගයක් වන බවත්, එහි අපනයන නිෂ්කාශන කටයුතු සඳහා සතියක් දෙකක් පමණ ගතවන බැවින්, එය අපනයනකරුවන්ට විශාල ගැටලුවක්ව තිබෙන බවත්, එම නිසා ගම්මිරිස් අපනයන නිෂ්කාශන ක්‍රියාවලිය පැය 48 කට පෙර සිදුකිරීම සඳහා පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.මෙහිදී අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.Óඅපේ රටේ කුළුබඩු අතර ගම්මිරිස් හා කුරුඳු අපනයනය ඉහළ මට්ටමක පවතිනවා. 2016 වසරේදී අප කුරුඳු අපනයනයෙන් ඩොලර් මිලියන 159 ක් හෙවත් රුපියල් මිලියන 23,850 ක් විදේශ විනිමය උපයලා තියෙනවා. ඒ වගේම ගම්මිරිස් අපනයනයෙන් ඩොලර් මිලියන 72 ක් හෙවත් රුපියල් මිලියන 10,800 ක් අපි උපයලා තියෙනවා. වර්ෂ 2015 දී වාර්ෂික ගම්මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18,660 ක් වූ අතර එය 2017 දී මෙට්‍රික් ටොන් 25,995 ක් දක්වා වර්ධනය වී තියෙනවා.

මේ නිසා අපගේ ගම්මිරිස් අස්වැන්නට හොඳ අපනයන අවස්ථාවක් උදා කර ගන්න හැකි වී තියෙනවා. ගම්මිරිස් අපේ රටේ පරිභෝජනය 2016 දී මෙට්‍රික් ටොන් 5800 – 6000 ත් අතර පවතිනවා. අපි වැඩිම ගම්මිරිස් ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඉන්දියාවටයි. ඉන්දියාව සප්ටා ගිවිසුම යටතේ ගම්මිරිස් අපනයන බද්ද සියයට 8 සිට 0 දක්වා ශූන්‍ය කර තිබීම නිසා අපිට විශාල ආර්ථික වාසියක් සැලසී තිබෙනවා.ඒ පිළිබඳව අපි ඉන්දියානු රජයට ස්තූතිවන්ත වෙන්න ඕන. අපේ මුළු අපනයන ප්‍රමාණයෙන් සියයට 60 ක්ම ගම්මිරිස් ගන්නේ ඉන්දියාවයි.

අපි මේ ප්‍රමාණය තව දුරටත් වර්ධනය කර ගන්නට ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සඳහන් කළ ආකාරයට බාල ගම්මිරිස් අපනයනය කිරීම ගැනත්, ඒ බාල ගම්මිරිස් අපේ රටේ නිපදවන ගම්මිරිස්වලට කලවම් කිරිමට ඇති හැකියාව සම්බන්ධවත්, අපේ ගම්මිරිස්වල ප්‍රමිතිය සම්බන්ධවත්, මම පාරිභෝගික කටයුතු අධිකාරියේ මෙහෙය වීමෙන් පරීක්‍ෂා කිරීමට වැඩ පිළිවෙළක් යොදනවා.ඒ වගේම පිටරටින් මෙරටට ගම්මිරිස් ගෙන්වා ප්‍රති අපනයනය කිරිම සිදුවන්නේ නම් එය වැළක්වීටත් මම පියවර ගන්නවා.

අපේ පාරිභෝගික විමර්ෂණ නිලධාරීන්ට ඒ කටයුත්ත කරන්න පුලුවන්. ඒ වගේම කුළුබඩු ඇතුළු අපගේ නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීම සඳහා මගේ අමාත්‍යාංශය යටතේ වාණිජ දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන තියෙනවා. ඒ වගේම ඔබ අපගෙන් ඉල්ලා සිටිය පරිදි සියලු ගම්මිරිස් අපනයනකරුවන්ගේ අපනයන අවසරපත් වාණිජ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර, එම ආයතන අපනයනය කරන ගම්මිරිස් ගුණාත්මක බවින් යුක්ත බවට සහතිකයක් ලබා දී අපනයනය කරන්නට පුළුවන් වෙනවා.” යැයි පැවසීය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා, ශ්‍රි ලංකා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ හා ව්‍යාරිකයන්ගේ සංගමයේ සභාපති වර්නන් අබේරත්න මහතා , එම සංගමයේ නිලධාරීන් හා රජයේ වාණිජ දෙපාරතමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.

 

නව අදහස දක්වන්න