ජපානයේ 'මාකෝ' කුමරියගේ විවාහය කල්යයි | දිනමිණ

ජපානයේ 'මාකෝ' කුමරියගේ විවාහය කල්යයි

 මේ වසරේ නොවැම්බර් මාසයේ සිය විවාහ මංගල්‍යය සැලසුම් කරමින් සිටි ජපානයේ 'මාකෝ' (Mako) කුමරිය එය 2020 වසර තෙක් කල් තැබීමට පියවර ගනිමින් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

සිය හදවත දිනූ පෙම්වතා සමඟ විවාහවීම කුමරිය විසින් කල් තබනු ලබන්නේ ඊට සූදානම් වීමට ඇති කාලය මදිවීම නිසා බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

විසිහය හැවිරිදි 'මාකෝ' කුමරිය ජපානයේ 'අකිහිතෝ' අධිරාජයාගේ මිනිබිරියකි.

කුමරිය පෙමින් බැඳී සිටින්නේ නීති උපදේශන සමාගමක සේවකයකු වෙන කෙයි කොමුරෝ (Kei Komuro) සමඟය.

සූදානම් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් විවාහය ප්‍රමාද කෙරෙන බව 'මාකෝ' කුමරිය සහ කෙයි කොමුරෝ පවසන බව 'ජිජි' (Jiji) පුවත් සේවය වාර්තා කරයි.

අකිහිතෝ අධිරාජයා සිහසුන අත්හැර දමනු ලැබීම සිදු කෙරෙන්නේ ලබන වසරේ වන හෙයින් එම කාල පරිච්ඡේදය ජපානයේ රාජකීය පවුලට කාර්ය බහුල වකවානුවක් වනු ඇත.

"අපගේ විවාහය සඳහා අවංක ලෙස උදව් කළ සියලු දෙනාට අපේ විවාහය කල් තබනු ලැබීම මගින් ඇති වූ අමතර කරදරය සහ වියවුල සම්බන්ධයෙන් මම බෙහෙවින් කනගාටු වෙනවා"යි මාකෝ කුමරිය ප්‍රකාශ කළ බව AFP පුවත් සේවය වාර්තා කරයි. 

නව අදහස දක්වන්න