කතිරය! | දිනමිණ

කතිරය!

ජනතාවගේ දේශපාලන අයිතිය හා අභිමතය ප්‍රකාශ වන ආකාර දෙකක් ඇති බව අපගේ පිළිගැනීම ය. එක ආකාරයක් වන්නේ මැතිවරණ පවත්වා ජනතාවගේ කතිරයෙන් පාලන තන්ත්‍රයට අදාළ නායකයන් පත්කර ගැනීම ය. තව ආකාරයක් වන්නේ ජනතාව වීදි බැස උද්ඝෝෂණ පවත්වා සටනකින් පසු පාලන තන්ත්‍රයට අවශ්‍ය නායකයන් පත් කර ගැනීම ය. 1931 සිට ශ්‍රී ලංකාවේ ජනතාවට කතිර බලය ලැබී ඇත. දෙවන ආකාරයේ වීදි සටන් ශ්‍රී ලංකාවේ ඇති වී නැත. එහෙත් පසුගිය වසර කිහිපය තුළ ටියුනීසියාවේ සිට යුක්රේනය දක්වා ජනතාවගේ වීදි සටන් ව්‍යාප්ත විය. එහි එක් අදහසක් වන්නේ එම රටවල ප්‍රජාතන්ත්‍රවාදය නැති බව ය.

අපේ පළාත් පාලන මැතිවරණය හෙට පැවැත්වේ. මෙය දේශපාලන වශයෙන් විග්‍රහ කළහොත් ජනතාව ලැබූ ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නියමිත කාලවකවානුවට වඩා වසර කිහිපයක් පමා වීමෙන් පසුව ය. මැතිවරණ නොපැවැත්වීම, මැතිවරණ කල්දැමීම හා මැතිවරණවලට බාධා ඇති කිරීම එක අතෙකින් ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසීමකි. තව අතෙකින් ජනතාවගේ දේශපාලන අයිතිය උල්ලංඝනය කිරීමකි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන අන්දමට ඡන්දය යනු මහජනයාගේ අනුල්ලංඝනීය අයිතියකි. මේ අයිතිය නිසි ලෙස භාවිත කිරීමට ජනතාව උත්සුක විය යුතුය. ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමට රජය හා ආයතන ක්‍රියා කළ යුතුය.

පළාත් පාලන මැතිවරණය ඔස්සේ සක්‍රීය වන්නේ ජනතාවට සමීපත ම දේශපාලන ආයතන සමූහය යි. මහ නගර සභා විසි තුනක්, නගර සභා හතළිස් එකක් හා ප්‍රාදේශීය සභා 276ක් මේ මගින් සක්‍රීය වෙයි. ගම, නගරය හා ප්‍රධාන නගර නියෝජනය කරන ජනතාවගේ කුදු - මහත් ගැටලු විසැඳීමට මේ ආයතන බැඳී සිටී. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මේ ආයතන බැඳී සිටී. ප්‍රදේශයක පොදු පහසුකම් මේ මැතිවරණ සටනේ පොදු සටන් පාඨයක් බවට පත් ව ඇති බවක් ද පෙනෙන්නට තිබේ. ඒ හැර රටේ පොදු ප්‍රශ්න දේශපාලන වේදිකාව තුළ සංවාදයට ලක් වූ බවක් ද දැක ගන්නට ලැබිණි.

ජනතාවගේ පැත්තෙන් ගත් කල ඡන්දය නොහොත් කතිරය යනු ඉතා වටිනා දෙයකි. මේ වටිනා දෙය භාවිත කළ යුත්තේ කෙසේ ද යන්න ජනතාව ම තීන්දු කළ යුතුව තිබේ. ඡන්දය යනු අතිශය පෞද්ගලික හා රහසිගත දෙයක් හැටියට සලකනු ලැබේ. එය එලෙස ම ආරක්ෂා කරගන්නේ නම් වැදගත් ය. එය ගැටුම්කාරී අවස්ථා මඟහැර යෑමේ උපාය මාර්ගයක් ලෙස ද සැලැකිය හැකි ය. කෙසේ වුව ඡන්දය පාවිච්චි නොකර සිටීම තමන්ගේ අයිතිය පාවාදීමක් ලෙස සැලැකිය හැකි ය. ඡන්දය පාවිච්චි කිරීම අතින් ආසියාවේ ප්‍රමුඛ තැනක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එය හොඳ තත්ත්වයකි. එම අයිතිය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා ඡන්දය පාවිච්චි කළ යුතුය.

මැතිවරණයට අදාළ පසුබිම ගතහොත් සතුටුදායක තත්ත්වයක් දකින්නට ලැබේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීම සඳහා ඇති මධ්‍යස්ථානය පෙන්වා දෙන අන්දමට මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා බොහෝ සෙයින් ම අඩු ය. තව පැත්තකින් බලන විට මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කිරීමට කොමිසම වගබලාගෙන තිබේ. එයින් පැහැදිලි වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය වටපිටාව සකස් වී ඇති බව ය. 2015 ට පෙර එබඳු තත්ත්වයක් පැවැතියේ නැත. එදා නිදහස උල්ලංඝනය වූයේ ද, අසාධාරණය ආරම්භ වූයේ ද මැතිවරණය තීන්දු කළ දවසේ පටන් යැයි කිව හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීම ගැනත්; ජනතාවගේ අයිතිය හා නිදහස භූක්ති විඳීමට ඉඩ ප්‍රස්ථාව ලැබීම ගැනත් පොදුවේ රට වැසියා සතුටු විය යුතුය.

පළාත් පාලන මැතිවරණය සඳහා යොදාගනු ලබන ක්‍රමවේදයට අනුව විශේෂතා කිහිපයක් හඳුනාගත හැකි ය. එක විශේෂතාවක් වන්නේ මනාප ක්‍රමය අහෝසි කර තිබීමය. එකම පක්ෂයේ අපේක්ෂයන් පවා ගහ - මරා ගන්නා මනාප ක්‍රමය අහෝසි කිරීම නිසා ප්‍රචණ්ඩ ක්‍රියා අවම වී තිබේ. කොට්ඨාසයකට වගකියන මහජන අපේක්ෂකයකු පත්වීම ජනතාවගේ පැත්තෙන් බලන විට තවත් වාසියකි. කොට්ඨාසයේ මන්ත්‍රීවරයා සමඟ ඍජු ලෙස ගැටලු සාකච්ඡා කළ හැකි ය. කේවල හා සමානුපාතික යන ක්‍රම දෙක ම මෙහිලා භාවිත වෙයි. ඡන්දය පාවිච්චි කිරීම ද පහසු ය. සරල ය. ඡන්ද දායකයා කළ යුත්තේ පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ ඉදිරියෙන් කතිරය ගැසීම පමණි. මැතිවරණ සඳහා මෙබඳු සරල ක්‍රමයක් පැවැතීම වැදගත් ය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී තවත් වැදගත් සාධකයක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. එනම්; කාන්තා නියෝජනය ය. අපේක්ෂකත්වයෙන් 25%ක් කාන්තා පාර්ශ්වයට හිමි බව කියති. එහි අනිවාර්ය ප්‍රතිඵලය විය හැක්කේ ඉහත සඳහන් ආයතනවල මහජන නියෝජිතයන්ගෙන් 25%ක් කාන්තාවන් විය යුතු බව ය. සංඛ්‍යාත්මක ව ගතහොත් පළාත් පාලන ආයතන තුන්සිය තිස් පහ සඳහා කාන්තා නියෝජිතයන් 1985ක්වත් පත්විය යුතුය. මෙය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමක් ලෙස ද කාන්තාවට නිසි තැන ලබාදීමක් ලෙස ද හැඳින්විය හැකි ය. ජනගහනය අතින් ගතහොත් 51% ක අනුපාතයක් කාන්තා පාර්ශ්වයට හිමි ය. රටේ ජාතික ආදායම ඉපැයීම අතින් ගතහොත් වැඩි ධාරිතාව අයත් වන්නේ ද කාන්තා පාර්ශ්වයට ය.

සමස්තයක් ලෙස ගත් කල පළාත් පාලන මැතිවරණයට අදාළ පසුබිම ඉතා හොඳින් සකස් වී තිබේ. දැන් සිදුවිය යුත්තේ ජනතාවගේ අභිමතය ප්‍රකාශ කිරීම ය. ඡන්ද ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිදහස් වාතාවරණයද ගොඩනැඟී ඇතැ’යි කිව හැකි ය. අවශ්‍ය ආරක්ෂාව සැලැසුම් කර ඇත. ඡන්ද පොළකට ඇතුළු විය හැකි පිරිස ද සීමා කර ඇත. ඡන්ද අපේක්ෂකයන්ට හෝ ඔවුන්ගේ සහායකයන්ට හෝ මධ්‍යස්ථාන කරා පැමිණ බලපෑම් කිරීමේ කිසිදු හැකියාවක් නැත. මේ තත්ත්වය ඇති කිරීම සඳහා මැතිවරණ කොමිසම සැලැකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සිය ප්‍රචාරණය සඳහා කුමන මතවාද ඉදිරිපත් කළ ද මහජනයාට නිදහසේ තීන්දුවක් ගත හැකි ය.

මේ මැතිවරණය සම්බන්ධයෙන් පුරෝකථන කිහිපයක් පළ වී තිබිණි. එහෙත් ඒවා මෙහිලා සටහන් කළ නො හැකි ය. ඡන්ද නීතිවලට පටහැනි බැවින් ය. කුමක් වුව හෙට උදෑසනින් ඡන්ද පොළට ගොස් ස්වකීය අභිමතය ප්‍රකාශයට පත් කිරීම මහජනයාගේ යුතුකම වන්නේ ය. කතිරය යනු වටිනා දෙයකි. එය අපතේ යෑමට ඉඩ නොදිය යුතුය. 



නව අදහස දක්වන්න

Or log in with...