කොට්ඨාස ක්‍රමයෙන් මනාප ක්‍රමයට ආ රූබට් අයියා | දිනමිණ

කොට්ඨාස ක්‍රමයෙන් මනාප ක්‍රමයට ආ රූබට් අයියා

පුංචි ඡන්ද මැද වසර 50ක්

ගම්සභාවට , නගර සභාවලට එදා තරග කළේ ඉහළ පැළැන්තියේ පිරිස්ය. ටයි කෝට් ඇඳ ගත් ඉංග්‍රීසි බස මුල් කර ගත් මොවුහු නිරායාසයෙන්ම නගර සභාවේ ගම් සභාවේ මුල් පුටුවට පත් වූහ. මුල් පුටු හෙබවූ තවත් අය ප්‍රභූ පවුල්වල අය වූහ. මේ තත්ත්වය වෙනස් වූයේ 1956 ඇති වූ සමාජ පරිවර්තනයත් සමගය. එම පරිවර්තනයේ ප්‍රතිඵල වශයෙන් සමග ගමේ පුංචි මිනිසුනටද ගම් සභාවට නගර සභාවට පිවිස එහි ඉහළ පුටු හෙබවීමට වරම් ලැබුණි. එදා ගරු සේවයක් වූ මෙම තනතුරු නිසා පුද්ගලයන් බැබලීම වෙනුවට සිදු වූයේ තනතුරු බැබලීමය. මෙසේ පත්වන තනතුර එක දිගට ආරක්ෂා කර ගැනීමත් ජනතා පිළිගැනීම දිගටම ආරක්ෂා කර ගැනීමත් අතිශය දුෂ්කර කාර්යක් විය. ඒ ආකාරයට අඛණ්ඩව ජනාදරය ආරක්ෂා කර ගත්තෝ සිටියද එවැනි අය හමු වන්නේ දුර්ලභවය.

කණුවන ගම් කාර්ය සභාවට 1957 දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස මුල් වරට තරග කරන රූබට් ඇන්තනී මහතා වැඩිම කාලයක් ප්‍රාදේශීය දේශපාලනය තුළ අපරාජිතව සිටි නියෝජිතයන් කිහිප දෙනාගෙන් පළමු තැනට නම කියැවෙන කෙනෙකි.1957 දී ස්වාධීනව දේශපාලන බිමට පැමිණෙන රුබට් එක්සත් ජාතික පක්ෂය හරහා විත් සිය දේශපාලනය නිමා කරන්නේ 2008 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු ලෙසය. ඒ වන විට ඔහුගේ ක්‍රියාකාරී දේශපාලන ජීවිතයට අවුරුදු පනහකි මහජන නියෝජිතයකු ලෙස පත්වී අවුරුදු හතළිහකි.

මම 2008 දී දේශපාලනයෙන් සමුගන්නවා නොවෙයි පළාතේ සිටි ප්‍රධාන සංවිධයකවරයා මගේ දේශපාලනය අවසන් කරනවා.“ රූබට් ඇන්තනී මහතා තම අතීත දේශපාලන මතක ගැන කතා කරන්නේ සොම්නසිනි. 2008 සිට අද දක්වා ඇන්තනී මහතා මන්ත්‍රී ධූරයක් හෝ දේශපාලන බලයක් නොමැතිව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු රැසක් සිදු කර තිබේ.ඒ පක්ෂ විපක්ෂ භේද නොමැතිව ඔහු ගොඩ නගා ගෙන ඇති සබඳතා ජාලය නිසාය.

“ දේශපාලනයට එන්න හිතුණේ ඇයි.? අප රුබට් ඇන්තනී මහතා ගෙන් විමසුවෙමු. දැන් තමයි සල්ලි හම්බ කරන්නෙ දේශපාලනය කරන්නේ. එදා මොන පක්ෂෙන් තරග කළත් හැමෝගෙම අරමුණ වුණේ ජනතා සේවය . මට එදා ගමට වැඩක් කරන්න ඕනෑ කියලා ලොකු උණක් තිබුණා ඒ හින්දමයි දේශපාලනයට එන්නෙ..මගේ පළමු තරගකාරයා වුණේ කණුවන ගම් කාර්ය සභාවේ සභාපති ෂෙල්ටන් අමරසේකර මහත්තයා. පළමු වතාවට මම ඡන්ද අනූවකින් පැරදුණා. එහෙමයි කියලා මම පසු බැස්සෙ නැහැ අවුරුදු හතරකින් ආයෙ මැතිවරණයක් ආවා.. එතකොට රාගමට සුළු නගර සභාවක් ලැබුණා..ඒ පාරත් මගෙ තරගකාරයා සභාපති ෂෙල්ටන් අමරසේකර මහත්තයා මට පුළුවන් වුණා ඡන්ද හැත්තෑවකින් පරාජය කරන්න ඒ විතරක් නොවෙයි රාගම සුළු නගර සභාවේ සභාපතිවරයා වෙන්න. මම තමයි එදා හිටිය ළාබාලම නගර සභාපතිවරයා වුණේ. ඒ දවස්වල ඔබ නියෝජනය කළේ මොන දේශපාලන පක්ෂයද.?

“මම එදා හොඳ යූ ඇන් පී කාරයෙක්. මගේ අතින් එදා පැරදුනේ ජා- ඇල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධයක අමරසේකර මහත්තයා..

රූබට් ඇන්තනී තරුණයා ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තලයේ නායකයන් සමග සබඳතා ඇති කර ගෙන සිටියේ එවකට ජා - ඇල ආසනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වූ ෆාරිස් පෙරේරා මහතා හරහාය. එවකට එක්සත් ජාතික පක්ෂ නායක ජේ ආර් ජයවර්ධන මහතාට තමාගෙන් පසු ජා - ඇල ආසනය භාර දෙන ලෙස පෙරේරා මහතා නම් කර තිබුණේද රුබට් ඇන්තනී මහතාවය.

“ මම ඒ වෙද්දී ජා - ඇල එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩලයේ , තරුණ පෙරමුණේ වගේම තරුණ භට හමුදාවේත් මුල් පෙළේ හිටි. ආසනයේ නියෝජ්‍ය සංවිධායකවරයෙක් විදිහටත් මට පක්ෂය වගකීම් පවරා තිබුණා..

ඇන්තනී මහතාට ඒ වන විට ජාතික දේශපාලනයට අවතීරණ වීමට තිබුණේ ඉතාමත් කෙටි දුරකි. ජා-ඇල මන්ත්‍රී ෆාරිස් පෙරේරා මහතා ගේ හදිසි වියෝව නිසා ජා - ඇලට අතුරු මැතිවරණයක් කැඳවන්නේ 1976 වසරේය. “ ඒ වෙද්දි රණසිංහ ප්‍රේමදාස මහතා සහ මා අතර ලොකු සම්බන්ධයක් තිබුණා දවසක් ප්‍රේමදාස මහත්තය මාව හොයා ගෙන ගෙදරටම ආවා..රූබට් මට බැහැ නොකිය දෙයක් දෙනවද.? කියලා ඔහු ඇහුවා. “ සර් මගේ පණ හැර ඕනැ දෙයක් දෙන්නම් මම ත් විහිළුවෙන්ම උත්තර දුන්නා. ප්‍රේමදාස මහත්තයා මගේ අත් දෙක තදින් අල්ලන් කීවා“ මම ඔයාව බලා ගන්නම් අතුරු මැතිවරණයට නායකතුමා ටිකට් එක දෙන්න හිතන් ඉන්නේ ඔයාට ඒක ඔයාට නැතුව ජෝෂප් මයිකල්ට දෙන්න කියලා කියන්න .

“ මොකක්..? මට නිකම්ම කියවුණා ඒත් ප්‍රේමදාස මහත්තයාට බෑ කියන්නත් බෑ..අන්තිමට මම හා කීවා. වචනෙ පිට වුණා විතරයි මාව වාහනේ දාගෙන ජේ ආර් ජයවර්ධන මහත්තයාව මුණ ගැහෙන්න ගියා..

මාව දැක්ක විතරයි ජයර්ධන මහත්තයා කියනවා “ ආ ..රූබට් ලෑස්තියි නේද කියලා ඡන්දෙට කියලා..මම ඇඹරෙද්දි ප්‍රේමාදාස මහත්තයා කිව්වා රූබට් කියනවා ජෝසප් ව දාන්න කියලා.. ජයවර්ධන මහත්තයා නළන රැළි කරගෙන ඇහුවා මොකක් කියලා..මාත් ප්‍රේමාදාස මහතාගේ වචනය තහවුරු කළා..“ සර් අපි එකම ගමේ එකම පක්ෂෙ එකම සංවිධානෙ අය අනික එයා මගෙ යාළුවා ජොෂප්ට දෙමු කියලා. ටිකක් කල්පනා කළ ජයවර්ධන මහත්තයා වගකීම භාර ගන්නවා නම් හා කියලා කීවා..

එතැන් සිට 1976 ජා - ඇල අතුරු මැතිවරණය මෙහෙය වීමේ වගකීම භාර ගත්තේ රුබට් ඇන්තනී මහතාය. “ තමුන්ට ජා- ඇල කී දහකින් දිනවන්න පුළුවන්ද .? වැඩි ඡන්ද 8000 කින් දිනවන්න පුළුවන්. ඇන්තනී මහතා ජේ ආර් ඉදිරිපිට ප්‍රතිඥා ලබා දුන්නේය. හ්...බලමු මම නම් හිතන්නේ නැහැ. ජයවර්ධන මහතා රූබට් ගේ වචනය පිළිගත්තේ නැත.

1976 ඡන්ද ගණන් කරද්දි මමයි ප්‍රේමදාස මහත්තයයි ඡන්ද පොළේ මුල් හරිය ගණන් කරද්දි අපි සියයට තිහක ප්‍රතිශතයක හිටියෙ ප්‍රේමදාස මහතාත් තුෂ්නින් භූත වෙලා රුබට් අපි පරාදයි.ඔහු කීවා මම කිව්වා තාම ගණින්නෙ බටුවත්තෙ ඡන්ද කොහොමත් බටුවත්ත කියන්නෙ වමට බර පැත්තක් පොඩ්ඩක් ඉන්නකො කියලා.. කඳාන , රාගම , ජා- ඇල ඡන්ද ගණන් කරද්දි වේගයෙන් අපි උඩට ආවා. අවසාන ප්‍රතිඵලය එද්දි යූ ඇන් පී එක වැඩි ඡන්ද 8500කින් දිනුම් මගේ අනාවැකිය ගැන ප්‍රේමාදාස මහතා පවා පුදුම වුණා . එදා සහ අද දේශපාලනයේ වෙනස සහ එදා මහත්මා ගුණය ගැනද පැහැදිළි කිරීමක් කළේය.“ අතුරු මැතිවරණයේ ප්‍රතිඵල අනුව එජාපයේ ජයග්‍රහණය කළ විට එක්සත් ජාතික පක්ෂයේ ජයගත්ත අපියි පරාජිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයයි එකට විස්කෝතු කාලා තේ බීලා තමයි වෙන් වුණේ. එදා අපි ප්‍රතිපත්ති අනුව වෙන්ව සිටියත් එකම ගමේ එක පිරිසක් විදිහටයි වැඩ කළේ..

එදා සුහඳශීලී සහ වැදගත් දේශාපාලන වටපිටාව ගැන තවත් උදාහරණයක් ඇන්තනී මහතා අප වෙත ගෙන හැර පෙන්වීය. “ එදා නගර සභා ඡන්දයෙන් මට පැරදුන අමරසේකර මහත්තයා හරිම වැදගත් කෙනෙක් තරුණයකු වූ මට පැරදුනා කියලා කිසිම කහටක් හිතේ තියා ගත්තේ නැහැ..අපි දෙන්නම ඡන්දෙන් පස්සේ රාගමදී එකට එකතු වෙලා එකට රැස්වීමක් තියලා ජයග්‍රහණය සැමරුවා.මේ දේවල් අද දේශපාලනය එක්ක සසඳනකොට අලුත් පරපුරට හීනයක් වගේ ඇති.“ එදා මැතිවරණ ප්‍රචාරය හෙවත් කැන්වසින් කළ ආකාරයද අපූරුය. “ මම තනිවම ගෙවල්වලට ගිහින් කීවා මම ඉල්ලනවා ඡන්දය දෙන්න කියලා හිතුනොත් වන් කලර් පෝස්ටරයක් හෑන් බිල් එකක් බෙදනවා. සල්ලි බෙදිලි ගහ ගැනිලි බඩු බෙදිලි එදා තිබුණේ නැහැ.හරිම සරළ සුන්දර විදිහට තමයි දේශපාලනය කළේ.

ඇන්තනී මහතා පැරැණි ක්‍රමයට මෙන්ම සමානුපාතික ඡන්ද ක්‍රමයටද ජා -ඇල ප්‍රාදේශීය සභාවට තරග කර සිව්වරක් ජයගහණය කර තිබේ. මේ හැම අවස්ථාවකම මනාප ලැයිස්තුවේ ඉහළින්ම සිටි අපේක්ෂකයා වූයේද ඇන්තනී මහතාය.“ ඒත් අනුපාත ක්‍රමයට වැඩිය කොට්ඨාස ක්‍රමය හොඳයි ආයෙත් පැරැණි ක්‍රමය නිසා ගමට නියෝජනය ලැබුණා. ඇන්තනී මහතා වර්තමාන ඡන්ද ක්‍රමය ගැන දක්වන්නේ ප්‍රසාදයකි.

එක්සත් ජාතකි පක්ෂයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයකුව සිටි රූබට් ඇන්තනී මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ දේශපාලනය වෙත අවතීරණ වන්නේද අහඹු ලෙසය. “ අපි මැදිහත් වෙලා මන්ත්‍රීකම් ඇමැතිකම්වලට පත් කළ අයම පසුව අපිට පිටුපාලා ගියා. එතැනදී ජා- ඇල යූ ඇන් පි යම හෙල්ලුනා . අන්තිමට අපි කට්ටියක් තනතුරුවලින් අස්වෙලා ගෙදර ගියා. ඒත් මම දේශපාලනයට තදින් ඇබ්බැහි වෙලා හිටියෙ. ඒ නිසා මට දේශාපාලනය කරන්න තැනක් ඕනෑ වුණා..අන්තිමට මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක වෙලා හිටිය ජයමාන්න මහත්තයා මුණ ගැහුණා.

“ සංවිධායක තුමා මම කැමැතියි ශ්‍රි ලංකා එකට එන්න..

මගෙන් මොනවද ඕනෑ ජයමාන්න මහත්තයා ඇහුවා. මට මොකවත්ම එපා මම එහෙම කීවාම ජයමාන්න මහත්තයා පුදුම වුණා. අන්තිමට මාව සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය හම්බ වෙන්න එක්ක ගියා. “මැඩම් මේ රාගම රූබට් ..කිව්ව විතරයි මැතිනිය ඇහුව මේ අපේ ෂෙලී පරද්දපු එක්කෙනා නේද කියලා. ඇත්තෙන්ම මැතිනියට පුදුම මතකයක් තිබුණේ. ජයමාන්න මෙයාට ජා - ඇල ඉහළ වගකීමක් පවරන්න මැතිනිය කීවා.එදා ඉඳන් මම ශ්‍රී ලංකා නිදහස් පක්යේ දේශපාලනය කළේ.

“1987 දී සමානුපාතිකව පැවැත් වූ පළමු පළාත් පාලන මැතිවරණය ආවා මේ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ජනය කළා මට පිස්සු වගේ තරග කරන්න තැනක් නැති හින්දා. අන්තිමට මම තීන්දු කළා ස්වාධීන කණ්ඩායමක් දාන්න..ඒත් අවසානයේදී මේ මැතිවරණය කල් ගියා පළාත් සභා මැතිවරණයක් ආවා ඒ මැතිවරණයත් පක්ෂය වර්ජනය කළා මම යූ ඇන් පී විරෝධි කඳවුර විදිහට පෙනුන මහජන පක්ෂයේ ෆීලික්ස් පෙරේරා මහතාට උදව් කළා .

කල් ගිය පළාත් පාලන මැතිවරණය යළිත් පැවැත් වූයේ 1991 වසරේදීය එදා ජා - ඇල පෙරළියක් කරන්නට ඇන්තනී මහතා නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි විය. අත ලකුණින් තරග කර ජා ඇල ප්‍රාදේශීය සභාවේ බලය අල්ලන්නට ඔවුනට හැකියාව ලැබුණි. මෙය එදා තිබු දේශපාලන වටපිටාව තුළ හාස්කමක් ලෙස විශ්ලේශකයෝ සඳහන් කළහ.

අවුරුදු හතලිහකදී කරපු සේවා මොනවාද.? අප ඇන්තනී මහතාගෙන් විමසුවෙමු. “ඔයාට පත්තරේ පිරෙන්න ලිව්වත් මගේ මැදිහත් වීමෙන් කළ ප්‍රජා සේවා ගැන ලියලා ඉවර කරන්න බැරි වේවි. රූබට් ඇන්තනී මහතා අප සමග කීවේ පුරුදු සැහැල්ලු ලීලාවෙනි. “ මම හැබැයි කිසිම දේකින් සතයක් වංචා කරලා නැහැ..මගේ ආර්ථිකය මගේ පුද්ගලික ව්‍යාපාර එක්ක බැඳිලා තිබුණේ. ඔහුට තමන්ගේ දේශපාලන ජීවිතය ගැන මෙන්ම පුද්ගලික ජීවිතය ගැන ඇත්තේ තෘප්තියකි. දශක හතරක් ගම්සභා මැම්බර් මහතෙකු නාගරික මන්ත්‍රීවරයකු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඇන්තනී මහතා මෙරට ප්‍රාදේශීය දේශපාලනයේ නොමැකෙන චරිතයක් ලෙස සඳහන් කළ හැකිය.

සටහන උදිත ගුණවර්ධන
ඡායාරූප-රංජිත් අසංක

නව අදහස දක්වන්න