මඟහැරියොත් හිරේ තමයි | දිනමිණ

මඟහැරියොත් හිරේ තමයි

 අද අප මේ සටහන ලියා තබන්නේ රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රී ලාංකේය සියලු දෙනාට ම ගෞරවයක් හා අභිමානයක් සඳහා ය. ඊට මූලික වන්නේ මැතිවරණ නීතිය ඔස්සේ රාජ්‍ය සේවයේ පෞරුෂය විදහා දක්වන්නට මැතිවරණ කොමිසම ගෙන ඇති ක්‍රියාමාර්ග යැයි කිව හැකි ය. රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් හා සේවකයන් මැතිවරණ රාජකාරි සඳහා යොදාගැනීම අපේ රටේ නියමයකි. ඉන්දියාව වැනි රටවලද නියමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ඊට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ලබා දී ඇත. ඒ අනුව බලන විට මහජනයාගේ අභිමතය සක්‍රීය කිරීමට පූර්ණ සහයෝගය රාජකාරිමය වශයෙන් ලබාදීමට රාජ්‍ය සේවකයා බැඳී සිටී.

මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර ඇති අන්දමට මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති කිසිවකුට එම රාජකාරි පැහැර හැරිය නො හැකිය. එසේ පැහැරහරින කෙනකු වෙතොත් නීතිය අකුරට ම ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටී. ඒ අනුව මැතිවරණ රාජකාරි පැහැරහරින කෙනකුට වසර ‍තුනක සිරදඬුවමක් නියම කළ හැකි ය. රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද නියම කළ හැකි ය. ඇතැම් විට මේ දඬුවම් දෙක ම නියම කිරී‍ෙම් අවස්ථාව ද තිබේ. අපට හැ‍ඟෙන පරිදි මේ නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් ය. එයින් මහජනයාගේ අයිතිවාසිකම් තහවුරු වෙයි. රාජ්‍ය සේවයේ අභිමානය ද තහවුරු වෙයි.

රාජ්‍ය සේවකයෝ එක්ලක්ෂ හැත්තෑපන්දහසක් දෙනා මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටිති. එම නිලධාරීන්ට හා සේවකයන්ට අවශ්‍ය අනුමත ලිපි ආදිය ලබා දී ඇත. ආයතනවල ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් වගකිවයුතුව තිබේ. මේ හැරෙන්නට එකිනෙක ආයතන මැතිවරණ රාජකාරි සඳහා ලබාදිය යුතු රථවාහන ආදිය පිළිබඳ විස්තර ද එම ආයතන වෙත ලබා දී ඇත. නියමිත වේලාවට නිලධාරීන් හා සේවකයන් අවශ්‍ය ස්ථානවලට වාර්තා කළ යුතු ය. අදාළ රථවාහන ආදිය ද නියමිත වේලාවට නියමිත ස්ථානවලට වාර්තා කර තිබිය යුතුය. එසේ නො වන්නේ නම්; එය වරදකි. එම වරදට එරෙහිව මැතිවරණ කොමිසම ක්‍රියා කරනු ඇත. ඊට අවශ්‍ය බලය ද එම කොමිසමට තිබේ.

රාජ්‍ය සේවය පිළිබඳ යම් සංවාදයක් අපේ රට තුළ පවතී. එම සංවාදයේ ප්‍රධාන මාතෘකා තුනක් ඇතැ’යි සිතන්නට පුළුවන. එක; රාජ්‍ය සේවය කඩා වැටී ඇති බව ය. දෙක; රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය පිරිහී ඇති බව ය. තුන; රාජ්‍ය සේවය අකාර්යක්ෂම බව ය. මේ අදහස් තුනම සමාජගත වී ඇත්තේ හේතු - සාධක සහිතවය. රාජ්‍ය සේවයෙන් මහජනයාට සැලසෙන සෙතක් නැතැ’යි බරපතළ විවේචන පවතී. මේ විවේචන ක්‍රමයෙන් වැඩිවෙනු මිස අඩුවන බවක් පෙනෙන්නට නැත. අපේ රාජ්‍ය සේවයේ ආරම්භය ඉංග්‍රීසි පාලන සමය යැයි කිව හැකි ය. ඉංග්‍රීසි පාලන සමයේ රාජ්‍ය සේවය ඉතා හොඳ මට්ටමක පැවැති බව කව්රුත් පිළිගනිති.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් කෘති කිහිපයක් පළවී ඇත. ඒ අතර එම්. පී. ද සිල්වා, විශ්වා වර්ණපාල හා කේ. එච්. ඒ. විජේදාස වැනි අය රචනා කර තිබූ කෘති වැදගත් යැයි සිතන්නට පුළුවන. මේ කෘතිවල දැක්වෙන අන්දමට ඉංග්‍රීසි පාලන සමයෙන් පසු පශ්චාද් යටත් විජිත යුගයේ අපේ රාජ්‍ය සේවය ක්‍රමයෙන් පිරිහීමට ලක් වී ඇත. නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම, රාජ්‍ය සේවය දේශපාලනීකරණයට නතුවීම හා රාජ්‍ය සේවකයන්ගේ ස්වාධීනත්වය අහෝසි වීමත් ඊට බලපෑ ප්‍රධාන හේතු සාධක ලෙස පවතී. මැතිවරණ කොමිසමේ ක්‍රියාදාමය නිසා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙයි. රාජ්‍ය සේවකයාගේ අභිමානය ද ආරක්ෂා වෙයි.

ඉතිහාසයේ සිද්ධීන් නිරීක්ෂණය කළහොත් මැතිවරණ ක්‍රියාදාමය තුළ විවිධ අපචාර හා දූෂණ සිදු වී ඇත. ඒවා බොහොමයකට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී ඇත. නැතහොත් බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන ඇත. අතීත මැතිවරණවලදී ඡන්ද පෙට්ටි අතුරුදන් වී ඇත. ඇතැම් ඡන්ද පෙට්ටිවල සීල් කඩා නැවත සකස් කර ඇත. පොලිසියට ඒවා ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. නැතහොත් පොලිසිය එබඳු අවස්ථාවන් මඟහැර ඇත. එය ඡන්ද කොල්ලයක් ලෙස සැලැකිය හැකි ය. එම ඡන්ද කොල්ලයට මැතිවරණ නිලධාරීන් වගකිව යුතු ය. මැතිවරණ රාජකාරියෙහි යෙදී සිටින පොලිස් නිලධාරීන්ට තුවක්කු ලබා දී ඇත්තේ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට බව නැවත සිහිපත් කළ යුතුය.

කිසියම් රාජ්‍යයක නිදහස් මැතිවරණයක් පැවැත්විය නොහැකි නම්; එම රාජ්‍යයෙහි ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ යැයි සහතිකයක් ලබාදිය නො හැකිය. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රාජ්‍යයක් ලෙස හඳුන්වන්නේ වුව මැතිවරණ දූෂණ දිගින් - දිගටම පැවැතී ඇත. වයඹ මැතිවරණය ඊට ලබාදිය හැකි එක් නිදසුනකි. එය මහ දවල් සිදු වූ ඡන්ද කොල්ලයක් ලෙස සැලැකිය හැකි ය. එම කොල්ලයට එරෙහි වූ රාජ්‍ය ‍ෙස්වකයකු ගැන වාර්තාවක් දැකගන්නට නැත. එහි අර්ථය වන්නේ දේශපාලකයන් පමණක් නො ව; රාජ්‍ය නිලධාරීන් ද මැතිවරණ දූෂණ චක්‍රයේ හවුල්කාරයන් බව ය. දැන්වත් එය වෙනස් විය යුතු ය. යහපාලනය යටතේ එය කොහොමටත් වෙනස් විය යුතුය.

මැතිවරණ කොමිසම සක්‍රීය කිරීමෙන් මේ රජය රටේ ස්වාධීනත්වය හා මහජන නිදහස ස්ථාපිත කිරීම සඳහා සැලැකිය යුතු වැඩ කොටසක් ඉටුකර තිබේ. මැතිවරණ කොමිසම සක්‍රීය නොවන්නට මේ මැතිවරණයේ ස්වාභාවය හා ආකෘතිය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණි. කොමිසම ස්ථාපිත වීමෙන් පසු ගෙන ඇති තීරණ හා තීන්දු ඉතා වැදගත් බව පිළිගත යුතු ය. මීට පෙර බොහෝ මැතිවරණවල ස්වාභාවය තීරණය වූයේ බලයේ සිටින පක්ෂයේ, ආණ්ඩුවේ හා එහි නායකයන්ගේ අත්තනෝමතික තීන්දුවලට අනුවය. කොමිසම සක්‍රීය වීමෙන් පසු එම ක්‍රමය මුළුමනින්ම ආපස්සට හැරිණි. එය සැලැකිය හැක්කේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් හැටියට ය.

ස්වාධීන හා නිදහස් මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකස් කිරීමත්, රාජ්‍ය සේවයේ අභිමානය ස්ථාපිත කිරීමත් කොමිසමේ දඬුවම් ක්‍රියාවලියෙන් මතුවන ප්‍රතිඵලය ලෙස සඳහන් කළ හැකි ය. මැතිවරණ කොමිසම මේ සඳහා බලවත් පරිශ්‍රමයක් දරා ඇති බව ද අපගේ පිළිගැනීම ය. රටේ ඉදිරි ගමන තීන්දු කරන එක් ප්‍රධාන සාධකයක් ලෙස ද මැතිවරණ කොමිසම හැඳින්විය හැකි ය. රටේ බුද්ධිමතුන් පමණක් නො ව; සාමාන්‍ය පුරවැසියන් පවා මැතිවරණ කොමිසමේ ක්‍රියාදාමය අගය කරනු ඇත.


නව අදහස දක්වන්න

Or log in with...