ඡන්ද පොළේ සිට මීටර් 400ක් ඇතුළත කිසිවෙකුට රැඳී ඉන්න බෑ | දිනමිණ

ඡන්ද පොළේ සිට මීටර් 400ක් ඇතුළත කිසිවෙකුට රැඳී ඉන්න බෑ

අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පොළ මධ්‍යස්ථානවල සිට මීටර් හාරසීයක ප්‍රදේශයක කිසිම පුද්ගලයකුට රැඳී නොසිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු ඡන්දදායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටියි.

මාර්ගයේ ගමන් කරන අතරතුර දී අත් පත්‍රිකාවක් හෝ දේශපාලන පක්ෂවල හෝ ඡන්ද අපේක්ෂකයන්ගේ යම් ප්‍රකාශන පත්‍රයක් බෙදා දීමද තහනම් වන අතර, ඡන්ද දායකයන්ට කිසිදු බලපෑමක් කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි. මේ නීතිය මේ 11 වැනි දින දක්වාම ක්‍රියාත්මක වන අතර, මේ කාලය තුළ එවැනි ක්‍රියාවන් සිදු නොකරන ලෙසට සියලුම අපේක්ෂකයන්ගෙන් සහ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින අතර, එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පොලිස් මූලස්ථානය දැනුවත් කර තිබේ.

ඡන්ද පොළ මධ්‍යස්ථානවලට බීමත්ව පුද්ගලයන් පැමිණිය හොත් එම අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියත්මක කෙරෙන අතර, මේ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ. තවද මෙවැනි පුද්ගලයකු ඡන්ද මධ්‍යස්ථානයට හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට අපේක්ෂකයකු විසින් රැගෙන එන්නේ නම් එම අපේක්ෂකයන්ට එරෙහිව අනුබල දීමේ වරදට නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අවධාරණය කරයි.

මෙවැනි වරදකට යම් අපේක්ෂකයකු වැරැදිකරුවකු වුවහොත් ආසනය දිනා සිටිය ද පසුව ආසනය අහිමිවීමට ඉඩ ඇත. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් දැඩි විමසිල්ලෙන් සිටින බවත් බීමත්ව ඡන්ද මධ්‍යස්ථානය වෙත හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණීම සපුරා තහනම් බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

එමෙන්ම ඡන්ද පොළ තුළ ජංගම දුරකතන භාවිත කිරීම, වීඩියෝ දර්ශන ලබාගැනීම, ඡායාරූපගත කිරීම සපුරා තහනම් වේ. 

නව අදහස දක්වන්න