සැබෑ ආදරයේ වැලන්ටයින් මුද්‍රාව | දිනමිණ

 සැබෑ ආදරයේ වැලන්ටයින් මුද්‍රාව

 පෙබරවාරි මාසය ආදරය සැමරීමට වෙන් කර ඇත. වැලන්ටයින් දිනය යනුවෙන් එම මාසයේ එක් සුවිශේෂ දිනයක් ද ඒ වෙනුවෙන් වෙන් කර ඇත. සමහරු ඇඟිලි සහ පොකැට් එකේ ඇති සොච්චම ද ගණන් කරමින් සිටින්නේ මෙදින එන තෙක් ය. තවත් සමහරුන්ට එය සාමාන්‍ය දිනයක් වන අතර වැලන්ටයින් සංකල්පය ඔවුහු ප්‍රතික්ෂේප කරති. මේ කොටස් දෙකෙන් එකකටවත් නැති තනිකඩ පාර්ශ්වය විටක හූල්ලති. තවත් විටක ඊර්ෂ්‍යා කරති. සිනාසෙති. තනිකඩයෙකු වීම සැපතෙකි යැයි උදම් අනති. මේ පාර්ශ්ව තුනටත් ඉන් බැහැර අන්‍ය කණ්ඩායම්වලටත් ආදරය අත්‍යවශ්‍ය ය.

ආදර කතා සම්බන්ධයෙන් කෙළ පැමිණි දීපයක් වුවද වැලන්ටයින් සැමරීමේ ආරම්භය අපට අයිති නැති දෙයකි. රෝමයේ පෞරාණික උත්සවයකින් පැවත එන්නක් ලෙස හැඳින්වෙන වැලන්ටයින් දිනය එතරම් දුර ගෙවාගෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා මුසුවීමට තරම් පුංචි හෝ අවකාශයක් තිබී ඇත. මේ සැමරීමත් සමඟ ම සැබැවින් ම ආදරය අගය කෙරෙනවා ද යන්න ගැටලුවකි. දෛවෝපගත ලෙසින් ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරෙන්නේ ද පෙබරවාරි මාසයේ ය. නිදහස් රටක නිදහසේ ආදරය කිරීමට තරම් වටපිටාවක් සහ ආදරය පිළිබඳ පුළුල් දැක්මක් ඇති සංවේදී මිනිසුන් මෙ බිමට අයත් ද යන්න උභතෝකෝටිකයකි.

නමුත් උඩින් පල්ලෙන් පෙනෙන ආකාරයට අපි ආදරය කිරීමට ම උපන් අය වෙමු. කවි, ගීත, නිසදැස්, මාගල් වැනි ආදර කතා ආදරයේ නාමයෙන් ජනිත කරවීමට අපි තරම් සමත්හු තව නැත. ආදරය කිරීමට ජාති, ආගම්, කුල, වයස්, ස්ත්‍රී/පුරුෂ භේදය අදාළ නැති බව ආදරය සම්බන්ධ ඕනැම කතාවක දී මුල්තැන ගන්නා මන්ත්‍රයකි. එය ප්‍රායෝගික අතින් ක්‍රියාවට නැංවීමේ දී ආදරය ලත් තැන ම ලොප් වන්නේ ය. සාහිත්‍ය නිර්මාණවලින් කියැවෙන ආදරය යථාර්ථයක් වී නම් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ අමුතු ආදරණීය ම ඇටය වන්නට ඉඩ තිබුණි. නමුත් ආදරය යනු ලාංකේය ජනයාට විලංගු නැති දඬුවමකි. කෘත්‍රීමව නිර්මාණය කරගත් හිසරදයකි.

හදවතින්ම ප්‍රේම කරන්නන්ට සමාජයෙන් ගැරහුම් ය. ඔවුන්ගේ ප්‍රේම කතා අවසන් වන්නේ තමන්ගේ වැරදි නිසා නොව ජීවිතය අන්‍යයන්ට අවශ්‍ය පරිදි ගත කිරීමට සිදු වන මේ විකෘති මොඩලය නිසා ය. රටක සංස්කෘතිය නිර්මාණය විය යුත්තේ එම රටේ ජනතාවගේ සතුට පරමාර්ථය කරගනිමිනි. ප්‍රේමයක් ඇතත් නැතත් මනුෂ්‍යයකුගේ ජීවිතය විවාහයෙන් අවසන් කිරීම මේ රටේ හැටි ය. එතැන ආදරයේ පැවැත්ම පිළිබඳ වගතුවක් නැති නිසා සිකුරාදා දිනවල උසාවිවල අතුරු සිදුරු නැති ය. සමාජයෙනුත් කිසිදු ඇඟිලිගැසීමක් නැති එහෙත් ආදරයෙන් සිටීමට නොහැකි තවත් පාර්ශ්වයක් ඇත. ඔවුහු ආදරය ලෙස වෙනත් හැඟීම් පටලවාගෙන අවසානයේ ආදර සම්බන්ධතාවලට තිත තබති. කෝටි දෙකක ජනගහනයෙන් වාසනාවන්ත පිරිසක් සිය ආදරය විවාහ ජීවිතය තෙක් රැගෙන යාමට වරම් ලබති. එකම රටක ඉරණම් තුනකි. වැලන්ටයින් සැමරීමට හැක්කේ මේ පාර්ශ්ව තුනෙන් කාටද?

නිදහසේ අභිමානයෙන් සිංහ කොඩියේ පහස ලබමින් සිටි වෙළෙඳසැල් රතුපාට තොරොම්බල් කරත්ත මෙන් සරසා ඇත. සමහර තැන්වල ආදරය ලාබ දෙයකි. සමහර තැන්වල ගිනි ගණන් ය. නමුත් ආදරය ලැබීමේ අමුතු නිදහසක් නිර්මාණය කර ඇත. එසේ වී ඇත්තේ ඒ වෙනුවෙන් මුදලක් වැය කළ යුතු නිසා විය යුතු ය.

රටේ දේශපාලනඥයන් හට, කලාකාරයන් හට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ආදරයේ පැවැත්ම වෙනුවෙන් කළ හැකි දෑ බොහෝ ය. ආදරයට බකපණ්ඩිත අර්ථකථන දීමෙන්වත්, වාණිජ පරමාර්ථ පෙරදැරිව එහෙත් ප්‍රේමයේ අස්වනු නෙලනවෝ යි කියා සංගීත ප්‍රසංග සංවිධානයෙන්වත්, නාට්‍ය නිර්මාණය කිරීමෙන්වත් ආදරයට අරුත් එක් කිරීම විහිළුවකි. මෙ ලොව ආදරය කරන්නේ තමන් පමණක් ම නොව එය තවත් කෙනෙකුගේ මානව අයිතියකට එහා ගිය සුන්දර හැඟීමක් යන්න සෑම මනුෂ්‍ය ප්‍රාණියෙක් ම දත යුත්තකි. ආදරය විකිණීමට දරන ප්‍රයත්නය ම ආදරය ලබන සහෝදර ලාංකිකයා වෙනුවෙන් සැමගේ සිත්වල ඇති වන දින ලංකාවටත් වැලන්ටයින් ය.

තිසරණී විජයබණ්ඩාර 
@Thizuu


නව අදහස දක්වන්න

Or log in with...